ලුණුමිරිස් කතා

 ඡායාරූපය:

ලුණුමිරිස් කතා

හේනේ පැලට අනවසරයෙන් රිංගාගත් කොටියෙකුට ගිනි තපින්නට සලස්වා දී උගේ හොරි කහන්නට සිද්ධ වූ ගමරාළ කෙනෙකුගේ කතාව මට කියාදුන්නේ ආතාය. උන්දැගේ උපන්ගම වලපනේ හරස්බැද්දය. ඒ කතාවේ ගමරාළ උන්දෑ හැමදාම හේනට ගියේ ඇඹේනියන්දෑට කියා කුරක්කන් රොටී පුලුස්සාගෙන ඒවා කන්නට ලුණුමිරිසක්ද තනවා ගෙනය. කොයි රොටියත් විතරක් නෙවෙයි, තවත් ගොඩක් ජාති බුදින්නට කදිම මුසුවක් වූ ලුණුමිරිස බටහිරයන්ට සෝස් වාගේ අපේ කෑම ජාතිවලට උගුරෙන් පහළ බහින්නට කණවැල ඇල්ලු බව ආබම්බරයෙන් කියන්නට පුළුවන. ලුණු මිරිස හදාගන්නට ලේසියෙන් පුළුවන. මහ හුඟක් ජාති ඕනෑ වෙන්නේද නැත. හදිස්සියටත් නැති බැරි කමටත් දෙකටම ඔට්ටුය.

ලුණුමිරිසේ ඇත්තේ රස තුනකි. ඒ මිරිස් රහ, ලුණු රහ සමග ඇඹුල් රසය. ලුණු තිබුණත් නැතත්, උම්බලකඩ දැම්මත් නැතත් අඩුවක් නැති නමුත් ඒවාත් මුහුවුණා නම් වැඩි ලකයක් තියෙයි. ලුණු මිරිසේ ළඟ නෑයෙක් නමුත් වනේ ලා කොටා ගන්නා කට්ට සම්බලය වෙනම එකකි. ලුණුමිරිස නම් මිරිස් ගලේ අඹරා ගත යුත්තකි. මිරිස් ගල මත්තේ ලන මිරිස් කරල්, ලුණු හා තක්කාලි ගෙඩියක් හුරුබුහුටිවට අඹරාගත් විට එය ලුණුමිරිසකි. හැබැයි ලුණුමිරිසේ නිසි පදම ගන්නට නම් අත්ගුණයකුත් වුවමනා බව අපේ ගමේ ඇත්තන් විශ්වාස කළෙන්, ඇතැම් ගැමි ගැහැනියක ගැන කිව්වේ, ඒකි හදන ලුණුමිරිස ගෑවුණු පිඟානෙත් කන්න පුළුවන් කියාය. රොටී, කිරිබත් කන්නට කොහොමත් ලුණුමිරිස නැතිවම බැරිය. මොනතරම් ව්‍යාංජන තිබුණත් ‘ලුණුමිරිස් ඩිංගක් අඹරලා ගනිං’ යැයි කියන පුරුද්දක් අපේ ගැමියාට තිබුණි.

ලුණුමිරිසට අමු තක්කාලි ගෙඩියක් අඹරා ගන්නවාට වඩා පුලුස්සාපු තක්කාලි ගෙඩියක් අඹරා ගත්විට රසය. ළිපේ අඟුරු මත්තේ තබා පැත්ත පෙරළමින් පුලුස්සා ගන්නා තක්කාලි ගෙඩියේ හම ගලවාගෙන අනෙකුත් අඩුමකුඩුම එක්ක අඹරා ගැනීම ගැමි ගෘහණියගේ සිරිතයි. මේ විදියටම ‘ගස් තක්කාලි’ ලුණුමිරිසද තනා ගත හැකිය. ඒවා වැවෙන්නේ බණ්ඩාරවෙල, හපුතල, නුවරඑළිය වගේ සීතල පළාත්වලයි. මේ ගස් තක්කාලි ලුණුමිරිස අපූරු සුවඳක්ද සහිත අති ප්‍රණීත කෑමකි. ගස් තක්කාලි ගෙඩිය ඉදුණු විට රතුපාට පුවක් ගෙඩියක හැඩය ගත් ගෙඩියකි. හේන්වල වැවෙන රටබටු නමැති තිබ්බටු ගෙඩි තරමේ කුඩා තක්කාලි අඹරා හදන ලුණුමිරිසේ රසය වෙනස්ම එකකි. මේ කොයි ලුණුමිරිසත් අඹරාගෙන වතුර ටිකක් වැඩියෙන් දමා දියාරු කරගෙන තෙම්පරාදු කරගත හැකිය. එවිට ඒවාට ඕනෑම සෝස් වර්ගයක් එක්ක තරග කරන්නට පුළුවන් බව නොඅනුමානය. වුවමනා නම් රත්වුණු තෙලෙහි අබ, සුදුළූණු ස්වල්පයක් බැද ගැනීමෙන් සියුම් සුවඳක්ද ලැබේ.

සමහරු ලුණුමිරිස අඹරද්දී රතුලූණු ගෙඩි දෙකතුනක් එකතු කරති. ඉන් වෙනස්ම රසයක් ලැබෙන අතර සුදුලූනු දමා අඹරාගත් විට රස වෙනස් වේ. සුදුලූනු සමග දළු කරපිංචා දමා අඹරන ලුණුමිරිස පන්සලේ මුර දානෙට තියන්නට තරම් වටින්නේය. දැන්නම් ඒවා නිතර බුදින්නේ කොලෙස්ටරෝල් දියවෙන්නටද ගුණ බව කියමිනි. මේ විදිහටම සියඹලා දලු හෝ ඇඹරැල්ල දළු ඩිංගක් එකතුකර අඹරාගන්නා ලුණුමිරිස්ද ගම්මුන්ගේ ලුණුමිරිස් කලාවේ තිබේ. හීන්බෝවිටියා දළු ස්වල්පයක් මුහුකර අඹරා ගන්නා ලුණුමිරිස ගුණ බව කියන්නේ අක්මාවේ දෝෂවලටය. මින්ට් හෙවත් මිංචි කොළ සීතල පළාත්වල සුලබ භෝගයකි. ඒවා මුසු කර අඹරාගන්නා ලුණුමිරිස බතට බෙදන ගමන් අපේ අම්මා කියන්නේ "අනාගෙන කාපං මේක බඩට ගුණයි" යනුවෙනි. ගුණ කෙසේවෙතත් සුවඳැති මිංචි ලුණුමිරිස කන්නට බොහෝදෙනා පෙරේතය. වියළි මිරිස් අඹරා හදන ලුණුමිරිසට වඩා අමුමිරිස් අඹරා හදන ලුණුමිරිසේ ඇත්තේ වෙනම රස කලාවකි. කොළ පැහැ අමුමිරිස් යොදා තනාගන්නා ලුණුමිරිස් කොළපාට තායි සෝස් වාගේ රස කරගන්නට පුළුවන් වන්නේ සුදුලූනුද දමා අඹරා ගත් විටය. ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අවන්හලක ආප්ප කන්නට දෙන ලුණුමිරිස අඹරාගන්නේ අමු එහෙත් රතු පැහැති ඉඳුණු මිරිස් යොදාගෙන බව අසන්නට ලැබුණි. සමහරු කොච්චි හෝ නයිමිරිස් දමා ලුණුමිරිස් අඹරන අතර ඇඹුලට දෙහි දමති. ඉස්සර අපේ තාත්තා වෙනුවෙන් අම්මා අඹරා දෙන කදිම ලුණුමිරිසක් තිබුණි.

එයට පුලුස්සාගත් තක්කාලි වගේම ගිනි අඟුරු මත තබා පෙරළමින් පලහා ගත් කරවල කෑල්ලක්ද මුසුකර අඹරා ගැනුණි. තක්කාලි වෙනුවට ඇට ඉවත්කරගත් සියඹලා ටිකක් දමා අඹරාගන්නා ලුණුමිරිස වෙනම අත්දැකීමකි. මං මුලින්ම අමු ගම්මිරිස් ලුණුමිරිස කෑවේ බලංගොඩදීය. අපේ බෙලිගහේ ගිය ගම්මිරිස් වැලෙන් කරලක් කඩාගෙන එය ඇඹරුවේ පහල ගෙදර උදවියය. අවුරුදු බොහෝ ගණනකට ඉස්සර මං පුංචිම සන්දියේ අපේ ගමේ ගුණ්ඩත් මාමාලාගේ ගෙදර කොළොම්බ උඩ වාඩි වී සිටියදී නැන්දා පත බත් පිඟානක් ගෙනත් දුන්නේ "කාපං පුතා රහයි" කියමිනි. ඒ බත කන්නට තිබුණේ කට දන ලුණුමිරිසක් විතරය. සැබවින්ම රස ඒ ලුණුමිරිසේ ඇඹුලට මුහුකර අඹරා ගෙන තිබුණේ අමු අඹය.

ඉතින් සීයක් විතර වට්ටෝරු කිව්වා නොවැ. එහෙනම් හදල බලන්න.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා