හොඳම දේ දරුවන්ට නම්

 ඡායාරූපය:

හොඳම දේ දරුවන්ට නම්

හොඳම දේ දරුවන්ට දෙන ලෝකයක් මේක. ඒත් ලෝකය වෙනුවෙන් දරුවකු මිස දරුවකු වෙනුවෙන් ලෝකයක් මෙහි නැත. හොඳම දේ දරුවන්ට නම් නරකම දේ කාට විය හැකිද? නරකම දේ ලැබෙන්නේ දරුවන් නොවන අනෙකාට නම් ඔවුන් මාර්ගයෙන් එය පෙරළා දරුවාට ලැබෙන්නේ නැතැයි විශ්වාසයෙන් කියන්නෙ කොහොමද?

ඒ නිසා, හොඳම දේ, වටිනාම දේ හෝ මිලෙන් වැඩිම දේ හෝ දරුවෙකුට ලබා දීමට පෙර නැවතී සිතිය යුතු දෑ බොහොමයි. හොඳම දේ ලබා ගන්නට හුරුවන්නා අතින් නරකම දේ තුළ ඇති වටිනාකම මඟහැරීමට පුළුවන. මේ ලිවීම, ' හොඳම දරුවන්ට ' දීමට දතකන සියල්ලන්ටමය.

දරුවෙකු සිටින ඕනෑම ස්ථානයක් මිහිපිට දිව්‍යලෝකයකි. එය එසේ නොවේ නම් මහා සමාජයේ වගකීම, එය එසේ කිරීමයි. ඒ ස්ථානය සුඛෝපභෝගී නිවහනක් වියහැකිය; ජරාජීර්ණ මුඩුක්කුවක් වියහැකිය ; මහා වීදියක කොණක් ද වියහැකිය. තැන කොතැන වුවත් ඇත්තේ දරුවන්ය. අප දන්නා පමණින් ඔවුන්ගේ හීනවල ඉන්නේ ජපන් රටේ බෝනික්කන්ය. රෝද හතරෙ බයිසිකල්ය. ශීඝ්‍රගාමීව දිවෙන පුංචි පුංචි කාර්ය. ඒත් හැම දරුවෙකුගේ හීනයකම එවැන්නක් පැලපදියම් වන්නේ නැත. ඒ කිසිවක් නැතිව මිහිපිට දිව්‍යලෝක තනනා අපූරු පුංචි එවුන් ද ලෝකයේ ඇත. ඒ ලෝකවල මුතුමැණික් හෝ සුරඟනන් හෝ නැත. එහි ඇත්තේ අතිශයින් අව්‍යාජ හා සුපහන් ආකල්ප විතරමය.

අවුරුදු හතක අයියෙක් සහ අවුරුදු 5ක නංගියෙක්. දෙන්නම ඉන්නෙ ඉස්කෝලෙ යන වයසෙ. අයියට ඉස්කෝලෙ තියෙන්නෙ උදේ, නංගිට හවස. මේ අයියා හැමදාම ඉස්කෝලෙ ඉවරවුණු ගමන් අධිවේගීව දුවන්න පුරුදු වෙලා ඉන්නවා. කෙනෙකුට හිතෙයි කොල්ලො එහෙම තමයි කියලා. ඔව්, කොල්ලො එහෙමයි. ඒත් මේ කොල්ලගෙ උවමනාව ඉක්මනින් ගෙදර යෑම නෙවේ. ඔහු එනතුරු මඟ වීදි කොණක නංගී මඟ බලාගෙන.

එහෙමං මෙයා යන්නෙ නංගි බලං ඉන්න නිසා ද? ඔව් ඒක තමා ඇත්ත. ඒත් අපිව තප්පර කිහිපයකට දෙදරවා හරින සිද්ධියක් එතන වෙනවා. ඒ මොකක් වෙන්න පුළුවන් ද?

ඇත්තටම ඔවුන් දෙන්නටම තියෙන්නෙ එකම එක සපත්තු කුට්ටමක්. ඔහු වේගයෙන් දුවන්නෙ, නංගිට පාසල් යන්න තමන්ගෙ සපත්තු දෙක ගලවා දීමේ ඒකායන පරමාර්ථයෙන්. ඒක කවුරුවත් නොදන්න, ඔවුන් දෙන්න විතරක්ම දන්න සහෝදරත්වයේ රහසක් වෙනවා. දවසක් ඉස්කෝලෙදි අයියට පුළුවන් වෙනවා ඒ ගමේ අන්තර් පාසල් වාර්ෂික මැරතන් තරගයේ අවසන් වටයට තේරෙන්න. අනෙක් හැමදේටම වඩා (ඉගෙන ගන්නවාටත් වඩා) ඔහුට ඕන වුණේ මේ තරගෙට තේරෙන්න. ඔහු වෙනුවෙන් මුලු පාසලක්ම මේ ගැන සතුටු වෙනවා. පාසලේ පුහුණුකරුවාට ඕන කරන්නෙ කොහොම හරි ප්‍රථම ස්ථානය පාසලට අරං දෙන්න.

තරගය අවසානයේ අයියා ජයග්‍රහණය කරනවා ප්‍රථම ස්ථානය හා රන් කුසලානය ද සමඟින්. පුහුණුකරු ඉන්නෙ ඉහේ මල් පිපිල. ඒත් මේ කොලුවගෙ මූණෙ තියෙන්නෙ මලානික දුකක්. ඒ ඇයි? ඒකට ලැබෙන පිළිතුර, ක්ශණයකින් ඔබව මාව කම්පාවට පත්කරන්නෙ නොහිතන විදියකට. ඔහු යනවා නංගි ලඟට. ඇය සිටින්නෙ අයියා ගැන ලොකු ප්‍රීතියකින්.

" මට සමාවෙන්න නංගි . මට තුන්වෙනියා වෙන්න බැරිවුණා "

ඒ පුංචි කෙල්ලට අයියගෙ වචන කිසිවක් තේරෙන්නෙ නෑ. ඇය ඔහේ බලා ඉන්නවා.

" සපත්තු කුට්ටම හම්බවුණේ තුන්වෙනියට "

මජීඩ් මජිඩි Children of heaven හදන්නෙ ඔය විදියට. දරුවො හරිම සරළයි. ඔවුන්ගෙ හැඟීම් දිව්‍යමයයි. නිරහංකාරයි. නිර්ව්‍යාජයි. මිහිපිට දිව්‍යලෝක තැනිය හැක්කේ දරුවන්ටම පමණයි. ඔවුන්ගේ කිරි සිහින වලට විතරමයි. ඒවා හරි ලස්සනයි. සුවඳයි.

[සසංකා විතානගේ]

මාතෘකා