අයන්න කියන්න ලොවටම ඇහෙන්න

 ඡායාරූපය:

අයන්න කියන්න ලොවටම ඇහෙන්න

'ලේ හැලුනේ නෑ, සුද්දා තරහ වුණෙත් නෑ; යන්න ගියෙත් නෑ, නොගිහින් හිටියෙත් නෑ.' ඒ නන්දා මාලිනී අසූව දශකයේ අග භාගයේ එළිදැක්වූ 'පවන' ප්‍රසංගයේ ජනප්‍රිය ගීතයක මතකයේ රැඳුනු වචන කිහිපයක්. මේ 'නිදහස් බයිලාවට' සුනිල් ආරියරත්න මෙහෙමත් දෙයක් එකතු කරලා තිබුණා: 'නෑ බැට කෑවේ නේරු පාටෙල් වාගේ, නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ.'

නිදහසේ කතාව ඔහොමයි එයාලා අපට කිව්වේ. එතකොට 1815 දී, 1818 දී, 1848 දී සහ ඒ අතර සහ ඉන් පසුව කව්රුවත් බැට කාලා නෑ, කව්රුවත් දිවි දුන්නේ නෑ, ලේ හැලුනෙත් නෑ, පන්සල් විනාශ වුණෙත් නෑ, පොත්ගුල් ගිනිබත් වුණෙත් නෑ, මුඩුබිම් පනතක් ගෙනාවෙත් නෑ, හරිද?

ඉතිහාසය ලියන්නේ ඔහොමයි. අංක ගණිතය වගේ. සමහර දේවල් එකතු කරනවා, සමහර දේවල් අඩු කරනවා, වැඩිකරනවා. සුනිල් ආරියරත්න, නන්දා මාලිනී වගේම වෙනත් අයත් මේ ඉතිහාස කතා බෙදනවා. බෙදපු දේවල් අහුලා ගන්න අය ඒවා වළඳනවා, වමාරනවා.

'ජනවාර්ගික අර්බුදය' කියන එකත් මේ අපූරු සුත්‍රයට අවනතයි. මුල කොතනද කියල ඇහුවොත් එක එක උත්තර ලැබෙනවා. මේ වගේ:

එළාර-දුටුගැමුණු සටනින් නේ පටන් ගත්තේ. අසූව දශකය පුරා ආරක්ෂක අංශ විසින් ඉතා දරුණු විදිහට ඉවක් බවක් නැතිව දෙමළ තරුණයින් ඝාතනය කරපු නිසා. කළු ජූලියෙන්. නෑ, 1983 ජුලි 23වෙනිදා සොල්දාදුවෝ 13 දෙනෙක් මරපු නිසා. පිස්සුද, ඕකට මුල 1976 මැයි 14දා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වඩුකොඩ්ඩේයි (බටකොට්ටේ) හිදී ඊලාම් කියල වෙනම රටක් වෙනුවෙන් සටන් කිරීමට ගත්ත තීන්දුවයි.

නෑ බං, යාපනේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෛප්පා ඝාතනය කෙරුවේ ඊට කලින්නේ; ඒ කියන්නේ 1975 ජූලි 27. එතකොට ඊට කලින් විවිධ අගමැතිවරු විවිධ දෙමළ නායකයින් එක්ක ගහපු ගිවිසුම්, ධර්මපාලගේ සිංහල ජාතිවාදය? ඔය කියන ගිවිසුම්වල බොහෝ දේවල් පසු කාලයේ ක්‍රියාත්මක වුණා.

ධර්මපාලගේ සිංහල බෞද්ධ පුනරුදයට ගොඩාක් කලින්නේ අරුමුගම් නාවලර් ගේ දෙමළ හින්දු පුනරුද ව්‍යාපාරය පටන් ගත්තේ. ඕව වැඩක් නෑ නිදහස කියන්නේ හැමෝම එකතුවෙලා දිනාගත්ත දෙයක්. පොන්නම්බලම් අරුනාචලම්, පොන්නම්බලම් රාමනාදන්, ටී.බී. ජයා, රසීක් ෆරීඩ් වගේ අය ඩී.බී. ජයතිලක, ඩී.එස් ලා එක්ක එකටයි සටන් කෙරුවේ.

එහෙමද? එතකොට රාමනාදන් ලංකාවේ පළමු විශ්වවිද්‍යාලය යාපනේම හදන්න ඕන කියල කිව්වේ ඇයි? 1815 ඉඳල 1948 වෙනකල් සිංහල මිනිස්සුම ඝාතනය වුණේ ඇයි? ඔය

බහු-ජාතික, බහු-ආගමික කතාන්දරයට අනුකූලව අඩුම තරමින් වාර්ගික අනුපාතවලටවත් ඝාතන සිද්ධ නොවුණේ ඇයි?

පොඩ්ඩක් ඉන්න. මේ කිසිම දෙයක් වැදගත් නෑ. එකම දෙයයි මේ අර්බුදයට අදාළ වෙන්නේ. බණ්ඩාරනායක ගෙනාපු භාෂා පනත.

ඔන්න ඔහොමයි කතාව ඉවර වෙන්නේ. හරියට සුනිල් ආරියරත්නගේ 'ලේ හැලුනේ නෑ' කතාව වගේ ජනවාර්ගික අර්බුදයේ 'අයන්න' ඕකයි කියල අපට කියල දෙනවා සමහර ඉතිහාසාඥයින්. ඉංග්‍රීසි වෙනුවට සිංහල රාජ්‍ය භාෂාව විය යුතුයි කියපු ඒ කතාවේ 'ඉංග්‍රීසි වෙනුවට' කියන කෑල්ලත් හලනවා. ඒ පනත හරහා දෙමළ ජනතාවට කළ අසාධාරණය පසුව නිවැරදි කරපු බවත් හලනවා. ඉතුරු වෙන්නේ සිංහල ජාතිවාදී 'අයන්නක්'.

අවුරුදු 131ක් ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව හැටියට තිබුණ ඉතිහාසයත්, ඒ ඉතිහාසය තුළ සිංහලයින් දසදහස් ගණනක් ඝාතනය කළ බවත් මේ රාජ්‍ය භාෂා දේශපාලනය අදාළ නැද්ද එතකොට? ඒ කාලය තුළ විවිධ පීඩා වින්ද සිංහලයින්ගේ වේදනාව හඳුනාගෙන දේශපාලන බලය ලබාගැනීම සඳහා බණ්ඩාරනායක එය පාවිච්චි කරපු බැවින් සිංහලයින් ජාතිවාදී කියල කියන්න පුළුවන්ද? නැත්තම් බණ්ඩාරනායක කියන්නේ පට්ට කපටි තුට්ටු දෙකේ දේශපාලනාඥයෙක් කියල ද හිතන්න වෙන්නේ?

ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව හැටියට තිබුණ ඉතිහාසය අදාලම නැද්ද, අප නැවත අසමු. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමෙන් වගේම සුද්දගේ ආගම වැළඳ ගැනීමෙන් වාසි ලබාගත් අය ඒ හරහා සමාජයේ අත්පත් කරගත් දේ ආරක්ෂා කිරීමට කටයුතු කළ බව මෙතැනදී අමතක කරමු ද? එතකොට ඉතිහාස පොතේ කොළ කීයක් අඩු වෙයි ද?

බණ්ඩාරනායක භාෂා පනත ගෙනෙද්දී දෙමළ භාෂාවට අසාධාරණයක් නොකරා නම්, ඒ එක්කම ඉංග්‍රීසි භාෂාව ඉවත් නොකරා නම් මේ කතාන්දරය වෙනස් විදිහකට දිග හැරෙන්න තිබුණා, ඇත්ත. අරක කෙරුවනම්, මේක නොකෙරුවා නම් වගේ කතා ශතවර්ෂ ගණන් කියව කියව ඉන්න පුළුවන්.

ඒත් 'ඉතිහාසයට' ඕව වැදගත් නැහැ. වැදගත් වෙන්නේ අකුරු. හෝඩිය. අකුරු මකල නැති හෝඩියක්. විශේෂයෙන්ම 'අයන්න' තියෙන හෝඩියක්. විශේෂයෙන්ම 'අයන්න' හරියටම හඳුනාගන්න උවමනාවක්. නැත්තම් ඉතින් ඉතුරු වෙන්නේ වියන්නයි, කයන්නයි, රයන්නයි.

[ මාලින්ද සෙනෙවිරත්න]

මාතෘකා