සභ්‍යත්ව විඤ්ඤාණය සහ සංහිඳියාව

 ඡායාරූපය:

සභ්‍යත්ව විඤ්ඤාණය සහ සංහිඳියාව

1948 සිට බ්‍රිතාන්‍යයට යටත් ඩොමීනියන් රාජ්‍යයක්ව පැවති ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් නිදහස ලැබුවේ 1972 මැයි 22 වැනිදාය. ශ්‍රී ලංකාව තුළ තිස්අවුරුද්දක් පමණ පැවති ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම සමරමින් සිටියේද මේ හා ආසන්න දවසකය. එනම් මැයි 19 වැනිදාය. මැයි 22 වැනිදා සමරන ලද ජාතික වීර දිනය චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය වශයෙන් කටයුතු කරන කාලයේ රජයේ නිවාඩු දින අඩුකිරීම යටතේ කපාහරින ලද අතර මෙවර මැයි 19 වැනිදා සැමරීමද අත්හිටුවන ලදි.

‘යුද්ධයකදී පළමු ව ඝාතනය වන්නේ සත්‍යය’ බව ‘හිරාම් ජොන්සන්’ නම් ඇමරිකානු දේශපාලනඥයා වරක් ප්‍රකාශ කළේය. ඒ හා සමාන වැදගත් ප්‍රකාශයක් මෑතකදී රජයේ අමාත්‍යවරයෙකු විසින් ද සිදුකරනු ලැබුවේය. එනම් ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදය මැඩලීමේ යුදකටයුතුවලදී සිවිල් වැසියන්ද ඝාතනය වූ බවය. අවි අත දරන්නන් කෙරම් නිර්දෝෂී වුව ඔවුන් අත දරන අවිය සහ එයින් පිටවන උණ්ඩ කෙතරම් නිර්දෝෂී දැයි අප නොදන්නා නිසා ඉහත ප්‍රකාශය පිළිබඳ කිසිඳු ආකාරයක විසංවාදයක් නැත. එම ප්‍රකාශය සිදු කර ඉසුඹුවක් නොලබාම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් ‘යාපනය පුස්තකාලය ගිනිතැබීම පිළිබඳ ජාතියක් වශයෙන් අප ආඩම්බර විය යුතු බව’ද දක්වන ලදි. මෙම ප්‍රකාශ දෙකම ජනප්‍රියවාදී, යම් ප්‍රමාණයකට සත්‍ය ආලේප වී ඇති ප්‍රකාශ වුවද එමඟින් රට තුළ නිර්මාණය වියයුතු සංහිදියාව පිළිබඳ (සැබවින්ම මෙම ව්‍යවහාරය අද්‍යතන සමාජය තුළ නිර්වචනය වී ඇති සාවද්‍ය ආකාරය පසකින් තබා වුවද) කිසිදු අර්ථාන්විත සංවාදයක් (constructive discussion) බිහි කරන්නේ නැත.

මෙම ප්‍රකාශ මුල්කරගනිමින් මුහුණු පොත හරහා විවිධ පුද්ගයින් විසින් තම අදහස් ප්‍රකාශකරමින් සිටින අතර එම ප්‍රකාශ තම ආවේණිය පිළිබඳ සංත්‍රාසයකින් (Patroiophobia) පසුවන්නන්ගේ හුදු හිතලු සේ සලකා බැහැර කිරීම වඩාත් ඔබින බව දැනෙන්නේ, එම අදහස්වලද කිසිඳු හරයක් ඇති බවක් නොපෙනෙන නිසාමය. යුදබියෙන් සහ ව්‍යාකූලත්වයෙන් හෙම්බත්ව සිටි සමාජයකට තවදුරටත් එබඳු ව්‍යාකූල අදහස් මුක්ත කිරීමෙන් දැඩි සේ ගිලන්ව තිබෙන ශ්‍රී ලාංකීය සමාජ දේහය සුවපත් වන්නේ නැත. අවශ්‍ය වන්නේ විසුරුණු සමාජය යළිත් සංයුක්ත කිරීමයි. පසුගිය සතියේ වූ සිදුවීම් පසුබිමේ තබාගෙන ඒ සඳහා මෙවැනි සාකච්ඡාවක්ද ආරම්භ කළ හැකිය.

එනම් ආවේණිය නැතිනම් උරුමය වශයෙන් සලකා බැලු කරුණ ඔස්සේ ඉදිරියට යමින් ඒ ගැන කතාබහ කිරීමයි. මම මෙහිදී උරුමය වශයෙන් සලකනුයේ, ඉතිහාසය විසින් සීමා දක්වන ලද, සුවිශේෂ වූ සංස්කෘතියක් හා ඉතිහාසයක් සහිත ප්‍රජාවක් සතු එම සභ්‍යත්වය ඇසුරුකොට මතුවෙන ‘ස්වවිඤ්ඤාණය’යි. එය සිංහල, දෙමළ සහ අන් ජාති භේදයකින් තොරව ‘ලාංකීය වීම’ නිසා දැරිය හැකි පොදු ස්වවිඤ්ඤාණයකි.

ජනවර්ග විවිධ වුවද ඒ සෑම දෙනෙකුටම එක් පොදු ඒකල ‘ස්වවිඤ්ඤාණයක්’ දැරීමට ඇති හැකියාව මතුකිරීමට මත්තෙන් ‘රූපට් එමර්සන්’ නම් දේශපාලන විද්‍යාඥයා ‘ජාතිය’ පිළිබඳ කළ ප්‍රකාශය උපුටා දැක්වීම වටනේය. එනම් ‘ජාතිය යනු පොදු, ඉතිහාසයක ගැඹුරු වූ අංග සමසේ උරුම කරගත්තෝ වෙමු යන අදහසත්, අපි එක් පොදු අනාගතයක ඉරණමක හිමිකරුවෝ වෙමු යන අදහසත් යන දෙයාකාර හැඟීම නිසා එකම ජන සමූහයක් වීමේ විශ්වාසය දරන්නා වූ පිරිසකි’ යන්නය.

සැබවින්ම මෙම පොදු ‘ස්වවිඤ්ඤාණය’ ගුණදාස අමරසේකර මහතා අනුව යමින් ‘සභ්‍යත්ව විඤ්ඤාණය’ යන ව්‍යවහාරයෙන්ද හඳුන්වා දිය හැකි අතර ශ්‍රී ලංකාව තුළ පැවති එකී සභ්‍යත්ව විඤ්ඤාණයේ ඉතිහාසය සොයා යෑම වෙනම හැදෑරීමකි.

එමර්සන්ගේ ගේ අදහස් නූතන ප්‍රස්තුතයට වඩාත් අදාළ වන්නේ ඔහු විසින් ‘ඉතිහාසය’ පිළිබඳ දක්වන අවධාරණය නිසාය. අනෙක් කාරණය නම්, යම් පොදු එකඟතාවක් වටා යම් නිශ්චිත භූමියක වෙසෙන පිරිසක් (ඔවුනො’වුන් අතර වෙනස්කම් පැවතියත්) තමන් සියලු දෙනා විසින් බෙදාහදාගන්නේ එක් පොදු අතීතයක්ය යන හැඟීමෙන් සාමූහිකව එකට ජීවත් වීම සඳහා පොදු ගිවිසුමකට එළඹ ඇති නිසාඑම සමූහයාට අතීතයෙන් උරුම වූ ඓතිහාසික දායාදයට අනාගතයේදීද පොදු හිමිකමක් දැරිය හැකිය යන හැඟීම වර්ධනය කිරීමෙන් පැවත එන අඛණ්ඩතාව පිළිබඳ අවධාරණයද වැදගත්ය.

සැබවින්ම සංහිඳියාව සුරැකීමට අප උත්සහ කරනවා නම්, අප කළ යුත්තේ එම අඛණ්ඩතාව සුරැකීමට කටයුතු කිරීමට තරම් වගකීම් සහගත වීමයි.

මෙම ලිපියෙහි දෙවැන්නමී ළඟ ‘පැතිකඩින්’ බලාපොරොත්තු වන්න.

[දිනේෂ් දේවගේ]

මාතෘකා