තිලකරත්න ඩිල්ෂාන්ගේ "බැට්" කිරීම සහ "ඇක්ට්" කිරීම

 ඡායාරූපය:

තිලකරත්න ඩිල්ෂාන්ගේ "බැට්" කිරීම සහ "ඇක්ට්" කිරීම

"නොදන්නා දේට ගිහිං වරිගෙ නහගන්න එපා" යැයි අපේ පැරැන්නන් දුන් උපදේශය මට මුල්ම වරට සනාථ වූයේ මීට වසර පහළොවකට පමණ පෙරය. ඒ කිසිඳු දැනීමක්, අවබෝධයක් නැති වෙළෙඳාමක් කරන්නට ගොස් මා ආර්ථිකවත්, මානසිකවත් පරාජය වූ වකවානුවකදීය. මෑත වකවානුවේ මට එය යළි සිහි කැඳවූයේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ටෙලි නාට්‍ය රූප රාමු දෙකක සිටගෙන සිටිනු දැකීමෙනි. පළමුවැන්නා චාමර කපුගෙදරය. දෙවැන්නා තිලකරත්න ඩිල්ෂාන්ය. චාමර කපුගෙදරගේ පෙනී සිටීම "දෙවෙනි ඉනිම" ටෙලිනාට්‍යයෙනි. අවමඟුලකට සහභාගි වී සිටින ඔහු ,පවුලේ නෑදෑයන්ට නැඟිට ආචාර කර හිඳගනී. "මිතූ" ටෙලිනාට්‍යයේ ප්‍රධාන නළුවාගේ පියාගේ චරිතයට තිලකරත්න ඩිල්ෂාන් හිටගෙන මෙන්ම ඉඳගෙනද රංගනයේ යෙදෙයි.

එක් අතෙකින් චාමර කපුගෙදර වාසනාවන්ත යැයි මට සිතුණි. සමන් එදිරිමුණි ඔහු වෙනුවෙන් එකදු දෙබසක්වත් ලියා තිබුණේ නැත. සාරංග මෙන්ඩිස් කළේ ඔහුව නැගිටුවා "ආයුබෝවන්" යන්න හඟවා නැවත ඉන්ඳවීම පමණි. එහෙත් තිලකරත්න ඩිල්ෂාන්ගේ තත්ත්වය තරමක් බැරෑරුම්ය. මහේෂ් රත්සර මද්දුමආරච්ව් සුපුරුදු ලෙස පිය චරිතය ටිකක් සැරට, බරට ලියා තිබේ. මවට රඟපාන්නේද වෘත්තීය නිළියක වන නයනා කුමාරිය. තිලකරත්න ඩිල්ෂාන් කට පාඩමින් දෙබස් ටික කියා ඉවර කර ඉඳගනී. එක්කෝ හිටගනී. ඔහු පෙනී සිටි පළමු රූපරාමුවේදීම මා අසළ එය නරඹමින් හුන් තරුණයා " හයියෝ... ඩිල්ෂාන්..." කියා නළලේ අත ගසා ගත්තේය. මුලින්ම මට එකී තරුණයා කෙරෙහි හටගත්තේ නොරිස්සුමකි. පසුව මට සිතුණේ ඔහු නිවැරදි බවය. කිසිවෙකු ඩිල්ෂාන්ගෙන් ක්‍රිකට් මිස මෙවැනි විකට් බලාපොරොත්තු නොවීම සාධාරණය. ලෝක පූජිත පන්දු යවන්නන්ට පවා නොබියව මුහුණ දිය හැකි තමන්ටම ආවේණික "ඩිල්ස්කූප්" එකක් ඇති ඩිල්ෂාන්, ශාන්ත සොයිසාගේ "යෝකරයට" ඇඹරෙමින් පිට, පිට දැවී යනවා ක්‍රිකට් ලෝලීන් ටෙලි ප්‍රේක්ෂකාගරයේ සිට කම්පාවෙන් බලා සිටින්නට ඇතැයි මට නිකමට මෙන් සිතුණි.

"ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත" යන කියමන බොරුවක් කළ උදාහරණ ලෝක ඉතිහාසයෙන් අපමණ සොයාගත හැකිවූවත්, ඒ සියල්ලෝම මතුව ආයේ, ප්‍රකට වූයේ තමන් වඩාත් ප්‍රගුණ කළ විෂයෙන් බව නොරහසකි. මක් නිසාද යත් කිසිවෙකුට තම විෂයෙන් පරිබාහිර විශේෂ ඇරයුමක් හෝ පිළිගැනීමක් හිමිවන්නේ නම්, ඊට සෘජු හේතූව ඔහු හෝ ඇය විෂය තුළ ප්‍රකට කළ දක්ෂතා නිසා ලබාගත් කීර්තිනාමය වීමය. විෂයෙහි අවබෝධයෙන් සැරිසරන්නෝ කිසිම විටෙක තම විෂයෙන් ලද කීර්තිය අන් කුමන විෂයකදීවත් හෑල්ලුවට ලක් කර නොගන්නෝය.

ශ්‍රී ලංකාව නමින් දූපතක් ලෝකයේ වෙතැයි කියා හෝ ලෝකයේ ඇතැම් රටවල් දැනගන්නේ 1996 ලෝක කුසලානයට පිං සිදු වන්නටය. ලෝකයේ ක්‍රිකට්වලට ඇති උන්මාදය සහ වටිනාකම අපේ ක්‍රීඩා ලෝලීන් හඳුනාගන්නේද ඉන් පසුවය. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, රොමේෂ් කළුවිතාරණ, අසංක ගුරුසිංහ, කුමාර ධර්මසේන වැනි ක්‍රීඩකයන් ලෝකයම ආදරය කරන ක්‍රිකට් තරු වන්නේ එහෙයිනි. ඔවුන් අප රටේ සළකුණුය. මේ ලකුණු කළ සළකුණු ඔවුන් කිසිවිටෙක නිළකුණු බවට පත්කළේ නැත. පිටිය හොඳින් හඳුනන්නෝ පිත්ත හසුරුවන්නට පෙර පන්දුව තේරුම් ගනී.

ජනප්‍රිය සහ කීර්තිධර පුද්ගලයන් වෙළෙඳ උපක්‍රම ලෙස භාවිත කිරීම ලෝකයේ සාමාන්‍ය ස්වාභාවයකි. අප රටෙහි ක්‍රිකට් තරුද එසේ වූ අවස්ථා එමට තිබේ. අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්ගේ සිට කුමාර සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස් දක්වා ඊට අයත් වේ. ඇතැම්හු වෙළෙඳ සන්නාම තානාපතිවරු ලෙසද, ඇතැම්හු තමන්ගේ ව්‍යාපාර නැංවීම සඳහාද සිය කීර්තිය උපයෝගී කර ගත් බව නොරහසකි. එහෙත් අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් එකකි. අද නාලිකා සහ නිර්මාණකරුවෝ සිය සිල්ලර උවමනාවන් වෙනුවෙන් පවා ප්‍රකට චරිතයන්හි කීර්ති නාම අලෙවි කරමින් පවතී. මිල මුදල්, නම්බු නාම කෙතරම් තිබුණද ප්‍රසිද්ධිය එකම ආභරණය යයි කියන කලාව දැන් නාලිකාවල විලාසිතාව වී තිබේ. නිර්මාණකරුවෝද නාලිකාවල හොරණෑ වෙමින් විකිණිය හැකි සියලුම දේ තරාතිරම නොබලා විකුණමින් සිටිති.

කලාව, ක්‍රිකට් සහ දේශපාලන එක ඉත්තේ පොල් වැනිය. විජය කුමාරණතුංග පවා දේශපාලන චරිතයක් වන්නේ කලාවෙන් තමා ලැබූ කීර්තිය නිසාවෙනි. ඒ තෝරාගැනීම විජයට අවාසනාවන්ත මරණයක් සහ කලාවට මානවවාදී කලාකරුවෙකු අහිමි කරවීය. ඉන් පසු බුරුතු පිටින් කලාකරුවන් දේශපාලන නලාකරුවන් වූවද, ඒ සියල්ලෝම ගාමීණී ෆොන්සේකා කළාක් මෙන් දේශපාලනය කළේ ඇඟ බේරාගැනීමේ කලාවක් ලෙසය. අර්ජුන රණතුංග, සනත් ජයසූරිය පවා දේශපාලනයට එන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඔවුන්ට ලැබූ කීර්තිය හේතූවෙනි. අර්ජුන රණතුංගට පවුලේ තිබූ දේශපාලන පසුබිම නිසා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හඬක් හෝ නඟන්නට අවකාශය සැලසුනද, සනත් ජයසූරිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුවක් රත් කර ඉන් බැස යන්නේ සිය කීර්තිනාමයේ මඩ පැල්ලම්ද තවරාගෙනය. ඉතිහාසයම එසේ තිබියදී තිලකරත්න ඩිල්ෂාන් ටෙලියක නළුවෙකු වී විහිළුවක වීමට දොස් නැඟිය නොහැකිය. නමුත් "මිතූ" ටෙලිනාට්‍යයේ ඔහුගේ චරිතයට හදිසි පපුවේ අමාරුවක් හෝ වැළඳී මිය යනවා නම්, එය මෙරටෙහි කලාව සහ ක්‍රීඩාව වෙනුවෙන් නිර්මාණකරුවකු අතින් සිදුවන මෙහෙයක් ලෙස මතු දිනෙක ප්‍රේක්ෂකාගරයේ ඇගයුමට පාත්‍ර වනු ඇත.

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා