‘කහට’- රජ බොජුන

 ඡායාරූපය:

‘කහට’- රජ බොජුන

ගමෙන් ගමට ඇවිද ගිය ගමන්වලදී විතරක් නෙමෙයි ගැමි ගැහැනියක වූ අපේ අම්මාගේ ඇසුරේදී පවා මට දැනුණු දෙයක් තිබුණා. ඒ අපි ආහාර සංස්කෘතියක් කියලා හඳුන්වන දෙයක් තියෙනවා නම් එය ගොඩනැ‍ගෙන්න හේතු වෙන්නෙ ජීවත්වීමේ වුවමනාව කියන එක. සමහරවිට ආහාර අහේනියත් ඒකට හේතුවෙන්න ඇති කියලා කිව්වම කවුරුවත් මාත් එක්ක අමනාප වෙන එකක් නෑ. මං එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඒ හැත්තෑ ගණන්වල කෑම බීම හිඟ වුණු කාලේ කාපු දේවල් ගැන කථා ගොඩක් මං අහලා තිබීමයි. හැබැයි ඒවත් කදිම වට්ටෝරු හැටියට සලකන්න පුළුවන් දේවල්. ඒව ගැනත් අපි ඉදිරියේදී පුළුපුළුවන් හැටියට කථා කරමුකො.

ඉතිං අපේ ගම්වල ඇත්තන්ගෙ එහෙම කෑම වට්ටෝරු වැඩි හරියක තිබුණෙ මස් මාළු නම් නෙමෙයි පලා පල. ඒ හැම එකක්ම වගා කරපුවත් නෙවෙයි. සමහරක් වනන්තරෙනුත් තව සමහරක් පතන් වලින් හෙමත් නෙළා හදාගන්න පුළුවන් වුණා. මෙහෙම කියද්දී මට මතක් වෙනවා මොනරාගල පැත්තේ ඈත ගම්වල මිනිස්සු වගේම සපරගමුවෙ දුම්බර මිනිස්සුත්. දුම්බර කැටේපොල ජයසේන මාමා කියාපු වන වට්ටෝරු හුඟක් තියෙනවා ඔබට කියන්න.

ඉතිං මං පුංචි කාලෙත් වන පතන් භෝග නෙළන්න ගිය අන්දම තවම මතකයි. මේ කියන්නෙ දශක තුනකට විතර එපිටහ. අපිට ඒවට නිදහස තිබුණා. බාගෙදා අධ්‍යාපන රටාව මේ තරම් යුද්ධයක් නොවුණු හින්දා වෙන්න ඇති. නිකිණ්නට පස්සෙ පෝය හඳ ගෙවුණම අම්මා කියනවා “ඊයෙ හඳ පායපු හින්දා අද ලුණුවරණ කොටවල ලේන බිම්මල් පිපිලා ඇති” කියලා. හඳ මේරිල්ලයි බිම්මල් පිපිල්ලයි අතරෙ සම්බන්දෙ කොයික වුණත් අවුරුද්දෙ එක කාලෙක පිහිල්ලෙ කැලේ ලේන හතු පිපෙන බව ටක්කෙටම කියන්න පුළුවන් කම උන්දැලාට තිබුණා. සමහරවිට ඒ දැනුම ලැබෙන්න ඇත්තෙ අර මං මුලින් කිව්වා වගේ ජීවත්වෙන්න නම් මොනවහරි කන්න ඕන වීම නිසා වෙන්නත් ඇති. වලපනේ හරස්බැද්දෙ යුකැලිප්ටස් වනාන්තර හෙවණෙ බිම්මල් පිපුණු කාලෙට අත්තල කකුල් කෙඩෙත්තුව හැදෙනකම් ඇවිද්දලු ඒව කඩන්න. කැලේ හැදුණු කොකටිය ගස්වල ඇටවලින් මාගරින් වගේ ජාතියක් හදාගන්නත් ඒ පරණ මිනිස්සු දැනං හිටියෙ ඒකනෙ.

අපේ පළාත්වල පතන්බිම් මළගම් යන්න පටන් ගත්තෙත් හැත්තෑ ගණන්වල. කාගෙ හරි අදූරදර්ශී තීරණයක ප්‍රතිඵලයක් විදියට ෆයිනස් වවන්න පටන් ගත්තම. ඒ හැටි දැන උගත්කමක් නැතත් රුපියල් දෙකේ දවස් පඩියට පතන්වල ෆයිනස් හිටවන්න ගියපු අත්දැකීම් තියෙන අපේ අම්මලාගේ සමෝසමේ ඇත්තො කියනවා ඉස්සර ඒ මහා බිම් මොනතරම් සාර සුබාවට තිබුණද කියලා. ගෝන්නුන්ට විතරක් නෙමෙයි ඕනෙනම් මිනිස්සුන්ටත් කන්න පුළුවන් නෙලු, කොකුපලා කියන වැරැල්ල වර්ග, රට තිබ්බටු, තිත්ත තිබ්බටු වගේම අවුරුද්දෙ එක කාලෙක වැවෙන කහටත් පතන්වල තිබ්බා. මං දැනට අවුරුදු දෙක තුනකට ඉස්සරිනුත් අඹගහකඳුරෙ තවම නොනැසී තියෙන පතනකට වැදුණා කහට ගෙඩි කඩාගන්න. වන බූටෑව අස්සෙන් එහෙම ගමනක් යනකොට දැනෙන්නෙ දඩයම් ගමනක සතුට. ඉස්සර තිබ්බටු කඩාගෙන එන්නත් ඔහොම ගියා. එතකොට වැඩිහිටියො කියනවා “හොඳට බලාලා කඩාපල්ලා මීගොන් තිබ්බටු හෙම කඩන්න එපා. ඒවා කන්න බෑ” කියලා. කොළ ගෙඩි දෙකම ලොකු එහෙම වර්ගයක් ඇත්තටම තිබුණා.

දැන්නම් මේ පතන් බෝග සමහරක් ගම්බද පොළවල්වලට ගේනවා. ඒ හින්දා කහටත් පොළෙන් ගන්න පුළුවන්. කහට මධ්‍යම ප්‍රමාණයේ පතන ශාඛයක්. කොළ පළල් ලස්සන ගහක්. සිවුරු පඬු පොවන්න වගේම බුලත් වෙනුවට කන්නත් ගත්ත කහට ආයුර්වේදයේ ඔසුවක්. මේ තමයි කහට හැදෙන කාලේ. හැබැයි කහට ගෙඩි රබ්බඩ පුවක් තරමේ ඌරු කහට වෙන්න කලියෙන් කඩාගන්න ඕන. නැත්නම් කන්න බෑ. ඉතිං මුලින්ම කරන්න ඕන මේ ගෙඩියේ අග්ගිස්සෙ තියෙන මනිපත්‍රයි, කීලයයි සමහර විට ඉතුරු වෙලා තියෙන මල්පෙතියි කඩලා අයින් කරන එක. බලංගොඩ පැත්තෙනම් කරන්නෙ ඊටපස්සෙ කපාගන්න එක. මං ඉහළ ඌවෙ වට්ටෝරුව ලියන්නම්. මේවා අවුරුද්දකට සැරයක් කන්න ලැබෙන අරඤ්ඤක භික්ෂූන් වහන්සේලාට පවා පූජා කරපු දේවල් කියලත් මතක තියාගන්න. මුලුමනින්ම කාබනික ඇන්ටිඔක්සිඩන්ට් බහුල.

හරි, දැං සුද්දබුද්ද කරගත්ත කහටගෙඩි ටික ඇතිලියක දාලා තම්බාගන්නවා ඇඹුලට පොළොස් තම්බනවා වගේ. තැම්බුණයින් පස්සෙ මිරිස් ගලේ දාලා තලා ගන්නවා. තළාගත්ත කහටවලට ලියාගත් ලොකු ලූනු නැත්නම් රතුලූනු, අමුමිරිස් කරල් පලපුවා, කහ, ගම්මිරිස් ස්වල්පයක්, රම්ප, කුරුඳු, ලුණු, උළුහාල් එක්කහු කරගන්නවා. ඇඹුල් හැටියට ගොරක බික් දෙක තුනක් සමහරු නම් තක්කාලි කෑල්ලකුත් දානවා. දැන් ඇතිලියක් ළිපේ තියලා තෙල් ස්වල්පයක් දාලා රත් වෙනකොට කරපිංච, තළාගත්ත සුදුලූනු බිකක් දානවා බැදෙන්න. මිරිස් තුනපහ ටිකත් ඒකටම දාලා බැදෙන්න ඇරියම රසයි. දැන් අපේ කහට ගෙඩි අඩුම කුඩුම ටික තෙලට දානවා. සමහරු හාල් පොල් කළුකුඩු ටිකක් එකතු කරනවා උකුවට කළුවට ඉදෙන්න. ඒක අනිවාර්ය නෑ. ඉතිං තෙලට නම් තැම්බුණම බා ගන්නවා. කිරට නම් බාන්න කලිං මිටි කිරි ටිකක් එකතු කරනවා. කොහොම වුණත් මේක රජ බොජුනක්.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා