බැලුම්ගල නටබුන් සහ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නීතිය

 ඡායාරූපය:

බැලුම්ගල නටබුන් සහ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නීතිය

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බැලුම්ගල පුරාවිද්‍යා භූමිය බැකෝ යන්ත්‍ර යොදාගනිමින් විනාශ කළ බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ වුණා. නිවාස අධිකාරිය මඟින් සැලසුම් කර ඇති නිවාස යෝජනා ක්‍රමයක් සඳහා මෙම භූමිය සකස් කිරීමේ කටයුතු සිදු කළ බවද එහිදී අනාවරණය වුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නිවාස අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ, ‘කවර හෝ හේතුවක් නිසා, අදාළ නිවාස ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද භූමියේ සීමාවෙන් පිටත ඉපැරණි නටබුන් සහිත බිම්පෙදෙස හෑරීමක් සිදු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වග කිව යුතු නිලධාරීන් ගේ වැඩ තහනම් කරන ලද බවත්’ය. කෙසේ වෙතත් එකිනෙකා මත වරද පැටවීමෙන් සහ වගකීම් ධූරාවලියේ අග සිටින කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමෙන් අනතුරුව මෙම පුවත මාධ්‍යයෙනුත් ගිලිහි ගියා. නමුත් එහිදී විජිතපුර පුරාවිද්‍යාත්මක නටබුන් සහිත භූමි පරිශ්‍රය නැවත පූරණය කළ නොහැකි අයුරින් විනාශ වූ බව නම් රහසක් නොවේ.

ශ්‍රී ලංකාව වැනි පුරාවිද්‍යාත්මක ඝනත්වය බෙහෙවින් වැඩි රටක සංවර්ධන ව්‍යාපෘති හා පුරාවිද්‍යාත්මක සංරක්ෂණය යන විරුද්ධභාසය යම් මට්ටමකින් හෝ විසඳා ගැනීම සඳහා දැනටමත් තිබෙන නීති වත් ක්‍රියාත්මක නොකරන තාක්, විජිතපුර වැනි සිදුවීම් ඉදිරියටත් සිදුවීම නොවැළැක්විය හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ පුරාවස්තු සම්බන්ධ නීතිය වඩාත් විධිමත්ව ‘1940 අංක 9 දරනපුරාවස්තු ආඥාපනත’ මඟින් කලානූරූපීයව නිර්වචනය වූ අතර එහි තිබූ වඩා ලිහිල් තැන් අවසන් වරට 1998 අංක 24 දරන සංශෝධන පනත මඟින් සංශෝධනය විය.

මෙවැනි අර්බුදකාරී තත්ත්ව ඇති වීම වළක්වා ගැනීම සඳහා ගතහැකි පුර්ව ක්‍රියාමාර්ග එමඟින් පැහැදිලිව දක්වා ඇත. එම පනතේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලතල හා කාර්යයන් යටතේ 40 (උ) වගන්තිය ප්‍රකාරව ‘ආණ්ඩුව හෝ යම් තැනැත්තකු විසින් කිරීමට යෝජිත සංවර්ධන, කාර්මික හෝ වෙනත් ව්‍යාපෘතිවලින් බලපෑමක් සිදු විය හැකි ප්‍රදේශ පිළිබඳ පුරාවස්තු හානි අගැයුමක් කිරීම හා අවශ්‍ය පරිදි හානි අඩු කිරීමේ වැඩ පිළිවෙළවල් ක්‍රියාවේ යෙදවීමට’ බලය පවරා ඇත්තේ, පුරාවිද්‍යා අධක්ෂ ජනරාල්වරයාටය. ඔහුගේ එම බලතල හා කාර්ය 43 (1) වගන්තිය ප්‍රකාරව ‘යම් දිස්ත්‍රික්කයක හෝ ප්‍රදේශයක් ඇතුළත පිළිවෙළින් ඒ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ දිසාපති හෝ දිසා ලේකම්වරයා හෝ ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හෝ විසින් ක්‍රියාත්මක කිරීමේ, හෝ ඉටු කිරීමේ බලය සාමාන්‍ය වශයෙන් හෝ විශේෂ වශයෙන් විමධ්‍යගත කර ඇති’ පසුබිමක් මත, ඉපලෝගම ප්‍රදේශීය ලේකම්වරිය සෘජුවම මේ සඳහා වරදකරු වන අතර අවසන් වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාද එහි වගඋත්තර කරුවෙකු බවට පත් විය හැකිය.

එයට හේතුව නම් සංශෝධන පනතේ 43 (අ) (1) වගන්තියෙන් වඩාත් නිවැරදිව දක්වා ඇති පරිදි ‘යම් ඉඩමක් හෝ නියම කරනු ලැබිය හැකි යම් ඉඩමක් භාවිතයට ගැනීම, අයුතු ලෙස ඈඳාගැනීම හෝ ජලයෙන් යට කිරීම සිදුකෙරෙන යම් සංවර්ධන හෝ කාර්මික යෝජනා ක්‍රමයක් හෝ ව්‍යාපෘතියක් ආණ්ඩුව හෝ වෙනත් ආයතනයක් හෝ තැනැත්තෙකු විසින් යෝජනා කරනු ලැබූ සෑම අවස්ථාවක දීම, ඒ ඉඩමට හෝ ඒ ඇතුළත වූ පුරාවස්තු කිසිවකට, ඒ යෝජනා ක්‍රමය හෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන තුරු, ඒ යෝජනා ක්‍රමය හෝ ව්‍යාපෘතිය අනුමත කිරීම හෝ ඊට අවසර දීම කරනු නොලැබිය යුතුය’ යන්න දක්වා ඇති නිසාය.

මෙහිදී බලය පවරන ලද නිලධාරීන් මෙම සිදුවීමේ සෘජු චූදිතයන් වන්නේ, 43 (අ) (2) වගන්තිය ප්‍රකාරවය.එහිදී ‘අදාළ ඉඩම හෝ ඒ මත වූ පුරාවස්තු පිළිබඳ පෞරාණික, ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක ස්වභාවය හෝ වටිනාකම හේතුකොටගෙන අති විය හැකි ප්‍රතිඵල ඇගයීම සඳහා ඒ ව්‍යාපෘතියේ හෝ යෝජනා ක්‍රමයේ අනුග්‍රාහකයන්ගේ වියදමින්, හානි අගැයුම් සමීක්ෂණයක් කරවීමට අවශ්‍ය පියවර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නොදන්වා සිටීම’ යන හේතුව මතය.

සිදුවීමට අදාළ වගකිවයුත්තන් කිහිපදෙනෙකු මේ වන විට වැඩතහනමට ලක්ව සිටියත් පනතට ප්‍රකාරව යම් පුරාවස්තුවක් ඕනෑකමින් විනාශ කරන, හානියට පත් කරන, විරූප කරන නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් පලුදුකරන යම් තැනැත්තෙකු මේ ආඥාපනත යටතේ වරදකරුවන් අතර අවුරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා දෙයාකරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට ලක්කළ හැකි බවත්, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය හෝ වෙනත් යම් ලිඛිත නීතියකට පටහැනිව කුමක් සඳහන් වුවත් , මේ ආඥාපනත වටතේ වරදකට චෝදනා ලැබූ හෝ චූදිතයකු වූ කිසිම තැනැත්තකු ඇප මත මුදා හැරිය නොහැකි බවද පැහැදිලිව දක්වා ඇත.

[දිනේෂ් දේවගේ]

මාතෘකා