සල්ලාල අඬහැරය

 ඡායාරූපය:

සල්ලාල අඬහැරය

මේ කාලෙකට කලින් වෙච්ච සිද්ධියක්. රාත්‍රියේ යෙදිලා තිබුණු වෘත්තීයමය සාකච්ඡාවකට සහභාගි වෙන්න හිතාගෙන බස් එකට නගිද්දි වෙලාව හවස 7.30ට වගේ ඇති. ඒක දුර ගමන් බස් රථයක් වුණත් කාර්යය බහුල වෙලාවක් නොවන හින්දා වෙන්න ඇති බස් එකේ ආසන, සැලකිය යුතු ගාණක් හිස්වයි තිබුණේ. මම පසුපස දොරට ඉදිරියෙන් තියෙන සීට් එකේ වාඩි වුණේ පැයක විතර නින්දක් ලබා ගැනීමේ අරමුණෙන්. වැඩිම වුණොත් විනාඩි විස්සක් ගතවෙන්න ඇති. අඩ නින්දක හිටපු මම තිගැස්සිලා ඇහැරුණේ කවුරු හරි යටි උගුරෙන් නැගූ ශබ්දයකට. ඒත් එක්කම පසුපස දොරට යාබඳ අසුනේ හිටපු ගෑනු කෙනෙක්, බස් එකෙන් කවුද වැටුණා කියලා කෑ ගහන්න වුණා. මහ හයියෙන් දාලා තිබුණු සංගීත ප්‍ර‍සංගයක කඨෝර සද්දෙත් එක්ක ඔට්ටු වෙලා බස් එක නවත්ත ගද්දිම අඩුම තරමේ බස් එක මීටර් පන්සියයක් වත් දුර ඇවිත් ඉවරයි.

නවත්තපු බස් එකෙන් බැහැගත්ත අපි කිහිප දෙනෙක් ආපහු දිව්වේ අර පුද්ගලයව හොයාගෙන. හිතේ හෝදිස්සියට, ශබ්දය ඇහිච්ච හරිය අනුමාන කරගෙන හොයා බලද්දි අන්තිමට ඒ පුද්ගලයා හමුවුණා. කාණුවක් ඇතුළේ. සිහියක් පතක් නැතිව. ඇහැ යටින්, කටින් සහ ශරීරයේ තැන් කිහිපයකින් ගලන රුධිරය සහිතව.

ඊට පස්සෙ තිබ්බේ සුපුරුදු යුද්ධය. මමත් තවත් නාඳුනන තරුණයකුත් වාහනයක් නවත්වාගන්න නොගත් උත්සාහයක් නැහැ. ඇතැම් වාහන ෂටර් පාත් කරල මොකක්ද සිද්ධිය කියල ඇහුවත් රෝගියා ගැන කිව්ව ගමන් පාත් කල ෂටර්ෂ් නැවත් ඉස්සු‍ෙණ් විදුලි වේගෙන්. අන්තිමට අපේ හිතට පුංචි සැනසීමක් දැනුණේ එතනට ට්‍රැෆික් බයික් එකක් එනවා දැක්කම.

අපි හිතුවා ඒ ආපු නිළධාරීන් දෙන්න හැකි විගස රෝගියව රෝහල් ගත කරන්න කටයුතු යොදයි කියලා. නමුත් අපිට වැරදිලා. ඔවුන්ට, සියක් පතක් නැතිව පාර අයිනේ වැතිරිලා ඉන්න රෝගියා ගැන වගක්වත් තිබුණ නෑ. ඔවුන්ට ඕනේ වුණේ, බස් එකේ රියදුරාට විරුද්ධව නීතිමය රාජකාරී කිරීම පමණයි. අවසානයේ පොලිස් නිළධාරීන්ට රෝගියා ගැන මතක් වුණේ කවුදෝ බීමත් පුද්ගලයකු ගේ ආමන්ත්‍ර‍යත් එක්ක.

“ වාහනයක් නවත්තලා ලෙඩා යවන්න බැරිද? තමුසෙලා ........... ඕයි... මේ ලෙඩා මෙතන මැරෙනකන්ද ඉන්නෙ. ”

ඒ මොහොත වෙද්දි මමත් අර තරුණයත් මෝටර් රථයක් නවත්වාගෙන හිටියේ. වාහනය පදවගෙන ඇවිත් තිබුනෙ තරුණ වෛද්‍යවරයෙක්, ඉදිරිපස අසුනෙ හිටිය තරුණිය(වෛද්‍යවරියක් විය යුතුයි) බැහැලා රෝගියගේ තත්වය මොකද කියලා අහලා බලන්නත් කාරුණික වුණා. අපි සූදානම් වුණේ රෝගියව ඒ මෝටර් රථයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට යවන්න. ඒ මොහොතේ හදිස්සයේ ක්‍රියාත්මක වෙච්ච පොලිස් නිළධාරීන් දෙන්නා පාරේ ගමන් කර ත්‍රීරෝද රථයක් නවත්වාගෙන තිබුණා. ඉතාම බුද්ධිමත් තීරණයක් අරගනිමින්, හදිස්සියට වෛද්‍යවරයෙක් වත් සිටීදැයි සැක හිතෙන, සාලාව ප්‍රාදේශීය රෝහලට, රෝගියා පිටත් කර හැරීමට කටයුතු කළා... ඒ, පැය කාලක පමාවෙන්, ඉතා හොඳ හදිසි ප්‍ර‍තිකාර ඒකකයක් සහිත, අවිස්සාවේල්ල මූලික රෝහලට රෝගියා ගෙන යාමට හැකියාව තිබෙද්දී. කරන්න ඉතුරු වෙලා තිබ්බේ එක දෙයයි. ඒ සොබා දහම තුළ කිසියම්ම වූ බලවේගයක් පවතින්නේ නම් ඒ සෑම බලවේගයකම ආරක්ෂාව රෝගීයාට ලැබෙන්න කියලා පාර්ථනා කරන එක.

එක තනි සිද්ධියක්. හැබැයි පාඩම් ගොඩක්. අනතුරකදී වාහන නොනැවැත්වීම ගැන නම් ආයේ කතා කළ යුතු නැහැ. ඒක ඒ තරමටම සාමාන්‍යකරණය වුණ සිද්ධියක් නිසා.

ඇත්තටම මේ අනතුරට ලක් වුණු තරුණයා, විහින් ඒ අනතුර සිදුකරගත්තා යැයි කීම අසාධාරණ නැහැ. මන්ද බස් රථයේ හිස් ආසන ඕනේ තරම් තියෙද්දියි ඔහු අනතුරුදායක ලෙස පා පුවරුවේ ඉඳගෙන තිබුණේ. ඔහු කරපු හිතුවක්කාර කමින් විඳවන්නේ ඔහුම විතරක් නෙමෙයි. ඒ තරුණයගේ සමීපතමයෝ කී දෙනෙක් නම් කම්පා වෙයිද? කිසිදු වරදක් නැති බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර, ඇතැම් විට තාමත් උසාවි ගානේ යනවා ඇති. ඔවුන්ගේ පවුල් වල කී දෙනෙක් ඒකෙන් අපහසුතාවයට පත් වෙයිද? බස් එකේ ආපු මගීන් කී දෙනෙක් එක් අයකුගේ ක්‍රියාවක් නිසා අපහසුවට පත් වුණාද?

ඔය සිද්ධිය ඊයේ ආපහු මතක් වුණේ පසුගිය සතියේ මුහුණ දීපු අත්දැකීමක් එක්ක. මම හිටියේ මීගමුව-මිනුවන්ගොඩ මාර්ගයේ. පාර ඉතාම පැහැදිලි හින්දා මමත් වාහනය පැදෙව්වේ තරමක වේගයෙන්. ඉදිරියෙන් මෝටර් බයිසිකලයක් වේගයෙන් ආපු තරුණයෙක්, මට මීටර් කිහිපයික් ඉදිරියෙදී එකවරම බයිසිකලයේ ඉදිරිපස රෝදය ඉස්සුවේ හරියට සර්කස් එකකදි වගේ. නමුත් අවසානාවට ඔහුට බයිසිකලය පාලනය කරගන්න බැරිවුණා. තනිරෝදෙන් කරකැවුණු බයිසිකලේ ඊළඟ මොහොතේ මගේ වාහනයට දශමයක් දුරින් පාරේ අනෙක් පසට ඇදුණු බයිසිකලය කාණුවේ තිබුණු වැල් ගොල්ලකට පෙරළුණා. හැබැයි ඒක එහා මෙහා වුණා නම් අද වන විට ඒ තරුණයා රෝහලකත් මම බන්ධනාගාරයකත් ඉන්ඩ ඉඩ තිබුණා..

ඔබ වීරයෙක් වෙන්න ඇති. ඔබ අවදානම් ගන්න බය නැතිව ඇති. ඒත් ඔබේ පුංචි අතපසු වීමකින් විඳවන්නේ ඔබ විතරක්ම නෙමෙයි. ඒ හින්දා ඔයා වෙනුවෙන් නෙමෙයි, අනෙක් අසරණ මිනිස්සු ගැනවත් හිතලා කල්පනාවෙන් වැඩ කරන්න.

[රන්සර බන්ඩාර]

මාතෘකා