ගමේ නායකයෝ දෙදෙනාගේම අරමුණ දුප්පත්කම තුරන් කිරීමයි

 ඡායාරූපය:

ගමේ නායකයෝ දෙදෙනාගේම අරමුණ දුප්පත්කම තුරන් කිරීමයි

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ 
අමාත්‍ය තලතා අතුකෝරළ

"පොලීසිය, රාජ්‍ය සේවය අද අපි ස්වාධීන කර තිබෙනවා. මේවා කරන කොට සමහර අය කැමති නැහැ. අපි රජයේ වියදම් අවම කරන්නේ මේ රටේ දූෂණය නාස්තිය අවම කරන්නයි. සමහර අය කෝටි ගණන් වියදම් කරලා කරන උත්සව නතර කරන්න කැමති නැහැ. උද්ඝෝෂණ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් අපි ජනතාව රට වෙනුවෙන් හරි දේ හරි වෙලාවට කරනවා. පසුගිය වසර 20 තුළ සමෘද්ධි ව්‍යාපාරය හරහා අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවන්න මොනවාද කළේ කියලා අපි සොයා බැලිය යුතුයි."

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩ සටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාඹුළුවල දකුණු පනාපිටිය ලගබ්බෙල ග්‍රාම සේවක කොට්ඨාසවල ජනතාවට කෘෂි උපකරණ බෙදාදීමේ වැඩ සටහනකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අධිකරණ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

ඉතිහාසයේ නොයෙකුත් වැඩ සටහන් රජයන් මගින් දියත් කොට තිබෙනවා. අඩු ආදායම්ලාභී ජනතාව නගා සිටුවන්න ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ජනසවියේ සිට විවිධ වැඩ සටහන් දියත් කළා. රටක් ලෙස ගත්තහම අපි වගේ රටවල්වලට දියුණු වෙන්න නම් මේ වගේ වැඩ සටහන් දියත් වෙන්න ඕන. පසුගිය වසර 20 තුළ සමෘද්ධි ව්‍යාපාරය හරහා අපේ රටේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන්න මොනවාද කළේ කියලා අපි සොයා බැලිය යුතුයි. මොකද දුප්පත්කම අඩු වෙලා නැහැ. අද වන විට ලක්ෂ 14ක් සමෘද්ධිය ලබනවා. නමුත් මේ ව්‍යාපෘතීන් තුළින් ජනතාව සවිබල ගැන්වීමක් සිදුව නැහැ.

ජනාධිපතිතුමාගේ රජයේ අරමුණ ඔබගේ ගෙවත්තේ වැඩ පළේ කෘෂි කාර්මික වගාවන් ව්‍යාප්ත කරවීමයි.

වසර තුනක් පුරාවට අපි රජයක් ලෙස මේ රටේ වැරදි විදිහට ක්‍රියාත්මක වු දේවල් නිවැරදි කරන්න ක්‍රියා කළා. හැබැයි එහෙම නිවැරදි දේ කරනවාට ගොඩාක් අය කැමති නැහැ වගේ පේනවා. රජයේ මුදල් කෝටි ගණන් වියදම් කරලා බොරුවට උත්සව තියලා මුල්ගල් තියනවාට විවෘත කරනවාට ගොඩාක් අය කැමතියි.

උත්සවවලට වියදම් කරන්නේ ඔබේ බදු මුදල් කියන එක මතක තබා ගත යුතුයි. අපේ රටට අද වන විට ආදායම් ලබන කර්මාන්ත නැතිවෙමින් යනවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ ආරම්භ කළ ඇඟළුම් කර්මාන්තය පසුගිය වසර 20 තුළ විනාශ කළා. තේ කර්මාන්තයත් එහෙම, විනාශ වුණා අද අපේ රටට ආදායම් නැති තත්වයට පත් කර තිබෙනවා.

දැන් මට අද බය නැතිව කියන්න පුළුවන් අධිකරණයට කවුරුත් ඇඟිලි ගහන්නේ නැහැ. විනිශ්චයකාරවරුන්ට ස්වාධීනව තීරණ දෙන්න පුළුවන්. අද මහෙස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉහළට යාමේ අවස්ථාව විනිසුරුවරුන්ට තිබෙනවා. පිටින් එක එක්කෙනා ගෙනත් අධිකරණයට පත් කරන්නේ නැහැ. එදා එයාලට ඕන දේ කළේ නැහැ කියලා හිටපු අගවිනිසුරුතුමිය ඉවත් කළා. ඕන නම් ගුවන් තොටුපළ වහලා හිටපු අගවිනිසුරුතුමිය නැවත පත් කරලා නඩු අහලා ඔක්කොම වැරදි කරපු අය හිරේ දාන්න තිබුණා. රජයක් ලෙස එහෙම කරන්න අපට අවශ්‍ය නැහැ. අපි එහෙම දේශපාලන පළිගැනීම් කරන්නේ නැහැ.

අපි රජයක් ලෙස සංවර්ධන කටයුතු වලට රජයේ වියදම් සදහා යොදවන්නේ බදු මුදල්. ඒ මුදල් ජනාධිපතිතුමාගේවත් අගමැතිතුමාගේවත් මගේවත් නොවේ. ඔබේ මුදල්, ඒ සියල්ල වැය කරන්නේ 2014 වසරේදී අපේ රටට ණය දෙන්න ලෝකයේ රටවල් කැමති වුණේ නැහැ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණයේ ස්වාධීනත්වය මානව හිමිකම් නැහැ කියලා ලෝකයා අපිව ප්‍රතික්ෂේප කළා. ණය ආධාර දුන්නේ නැහැ. අද ඕනම කෙනෙකුට තමන්ගේ නඩුව වෙනුවෙන් අසාධාරණයක් වෙනවා නම් අපි පෙනී සිටිනවා. අද පොළීසිය රාජ්‍ය සේවය ස්වාධීනයි. අපි මේවා සියල්ල ස්වාධීනව හදලා තබෙනවා. සමහර අය ඒවාට කැමති නැහැ. කැමති වුණත් අකමැතිවුණත් සියල්ල කරන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් කියලා මතක තබා ගත යුතුයි.

අපි අදවන විට හොරකම නාස්තිය දූෂණය වංචාව අඩු කරලා තිබෙනවා. ඒවාට දඩුවම් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මම කියන්නේ නැහැ සම්පුර්ණයෙන්ම නැති කරලා තිබෙනවා කියලා. ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාත් අල්ලස් අර ගෙන අහුවුණා. අපේ අගමැතිතුමා පත් කරපු මහ බැංකු අධිපතිතුමා වංචා කළා. ඒවාට දඩුවම් ලැබෙයි. අපි ගොඩාක් මහන්සි වෙලා විශේෂ අධිකරණ ගෙනාවේ දිනපතා නඩු අහලා දුෂිතයින්ට දඬුවම් දෙන්නයි. සමහර වෙලාවට අපි එක්ක එකතු වෙලා මේ අධිකරණ හදපු අයටත් වැරදි කළොත් දඩුවම් ලැබෙයි. අමාත්‍යවරිය වැඩිදුරටත් ෙම ෙස්ද පැවසීය.

අද අපි සමෘද්ධි ව්‍යාපාරය නිවැරදි තැනට ගේන්න කටයුතු කර ගෙන යනවා. සමහර අය මේවාට විරුද්ධව උද්ඝෝෂණය කරන්න පුළුවන්. ඒක ඒ අයට තිබෙන අයිතියක්. නමුත් අපි ජනතාව රට වෙනුවෙන් හරි දේ හරි වෙලාවට කරනවා. බඩු බෙදපු යුගය, නිකන් දුන් යුගය අපි අවසන් කළ යුතුයි. ඔබ වෙනුවෙන් රජය ලබා දෙන දේවල් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. එහෙම වුණොත් අපිට රටක් ලෙස ඉදිරියට යන්න පුළුවන්. ගමේ රටේ ජනතාව වශයෙන් ඔබ එක දෙයක් මතක තබා ගන්න 2020 වෙනකල් මේ රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමායි. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ගමේ නායකයෝ දෙදෙනාගේම අරමුණ දුප්පත්කම තුරන් කිරීමයි.

මාතෘකා