‘ඇඹුල් කතා’ සහ සියඹලා මල් තෙම්පරාදුව

 ඡායාරූපය:

‘ඇඹුල් කතා’ සහ සියඹලා මල් තෙම්පරාදුව

 

හේන් බෝගයක් විදියට ගොරක තක්කාලියි, රටබටු කියලා කියන පුංචි ටීක් බෝල තරමේ තක්කාලියි ගෙවතු පිරෙන්න හැදුණට හැම තක්කාලිම වගේ ඒවාත් යුරෝපීයයන්ගේ ආගමනයත් එක්ක අපේ කෑම රහ කරන්න ආපු ඇඹුල් කාරකනෙ. උඩරට පළාත්වල තියෙනවා කැන්ද කොළ වගේ ලොකු කොළ තියෙන බහුවාර්ෂික ශාකයක් ගස් තක්කාලි කියලා. ඒවත් ඇඹුල් රසැති වෑංජනයක් හදාගන්න වගේම පුළුස්සලා රස නහර පිනන ඇඹුල් ලුණුමිරිසක් තලා ගන්න කදිමයි. කොහොමත් අපේ කෑමවල ඉස්මතු වුණේම කටුසර රහක්නෙ. ඇඹුල, මිරිස් සැර, දිවට දැනෙන නොදැනෙන කහට ගතියකුත් එක්ක. තුනපහ චුට්ටක් දිවගාලා බලන්න. ඒ අමුතු කහට යම්තමට දැනෙයි. කොයිහැටි වෙතත් ඒක වෙන්න ඇති තවමත් යුරෝපෙන් ආපු සෝස් වර්ගවලට අපේ දිව ඒ තරම්ම ළෙංගතු නැත්තෙ. තක්කාලි පුච්චලා ගලේ අඹරලා හදාගන්න ලුණුමිරිසනෙ අපේ සෝස් එක.

පුංචි බණ්ඩාර සන්නස්ගල මහත්තයා සංස්කරණය කරපු මහනුවර රජ්ජුරුවන්ගේ දිව සනහපු සූප ශාස්ත්‍ර වට්ටෝරු විධි තියෙන පොතෙත් ඒ කාලේ ඉඳලා භාවිතා කරපු ඇඹුල් ජාති ගැන හොයාගන්න කරුණු තියෙනවා. හැබැයි දෙහි දොඩම් වර්ග පවා තිබුණට කෑම වට්ටෝරුවල ඇඹුල් අගසව්වො දෙන්න නම් ගොරකයි, සියඹලයි කියලා මට හිතෙන්නෙ. දැන් ගොරක හරි ජනප්‍රියයි කෙට්ටු වෙන්න බෙහෙතක් විදියට. ඉස්සර වගේ නෙවෙයි හුඟක් උදවිය විශේෂයෙන් කාන්තාවෝ බත්පතේ තියෙන තැම්බුණු ගොරක පෙත්ත කට ඇඹුල් කරගෙන හපලා ගිලින්නෙ ඒකනෙ. සියඹලත් හොඳ බෙහෙතක්. තැම්බුම් හොද්දෙ ප්‍රධානම සමහරවිට එකම ඇඹුල් කාරකය සියඹලා තමයි. බඩ ටිකක් වේළලා තියෙන වෙලාවක නම් යහමින් සියඹලා දාලා හොද්දක් හදලා දෙනවා. ඒ වගේම උණ හැදිලා සනීප වෙන කොට ආයෙමත් බඩ බතට හුරු කරන්න දෙන දුරුමිරිස් හොද්දටත් සියඹලා ටිකක් මුහු වෙනවා. වැදගත්ම දේ ගොරකයි සියඹලයි වෙන්කර‍ගෙන ඉන්න හැටි. ගොරක නම් මාළුවලට. සියඹලා දාන්නෙ මස්වලට. ඒ කතාවේ තර්කයකුත් තියෙනවා. ගොරකාවලින් කෙරෙන්නෙ තද වෙන එක සියඹලාවලින් කෙරෙන්නෙ බුරුල් වෙන එකලු. ඉතිං මාළුවලට ඕන තද වෙන්න. මස්වලට ඕන බුරුල් වෙන්න. මේ කතාව ඔය දිරාපු කොට්ට පුලුන් ලී කෑලි වගේ තියෙන බ්‍රොයිලර් කුකුළු මස්වලට නම් ඒ තරම්ම අදාළ නොවෙන්න පුලුවන්.

සියඹලා ඉන්දියාව නිජබිම කරගත්තු ගහක්ලුනෙ. අපේ රටේ වගේම භාරතෙ දකුණු කලාපෙත් හරියට සියඹලා පරිභෝජනය කරනවා. එහේ මහා සියඹලා වතුත් තියෙනවා. අපෙත් කඳුකරයෙ වගේම උතුරෙත් දෙමළ ජනයා සියඹලා කන්න රුසියො. උඳු වඩේ, තෝසෙ කන්න හදන සාම්බාරුවට වගේම පොල් අඹරලා හදන චට්නි වලටත් සියඹලා ටිකක් මුහු වුණාම රස බව ඒ ඇත්තො අත්දැකීමෙන් දන්නවා. ඉඳුණු සියඹලා කරල කදිම පලතුරකුත්නෙ. ඒවායින් හරිම රහ දිවුල් කිරි වගේ බීමක් හදාගන්න පුළුවන්. අමු සියඹලා කරල් ලුණු කැට දෙක තුනක් එක්ක අපූරු කටගැස්මක්. ඒ හින්දා ඕං කරන්න පුවන් පොඩි වැඩක් තියෙනවා මෙන්න මෙහෙම. අමු සියඹලා කරල් කීපයක් අරගෙන පොතුයි ඇටයි ඉවත් කරගන්න. දැන් ඉතිරි සියඹලා මද කැබලිවලට ලුණුයි, කෑලි මිරිස් ටිකකුයි, රතු ලූනු බික් දෙක තුනකුයි එකතු කරලා මේ සේරම ගලේ දාලා හොඳට අඹරගන්න. මේක විශේෂ ලුණු මිරිසක් උණුවෙන් බත් ටිකක් කන්න.

අපි පුංචි කාලේ විනෝදෙට වගේ සියඹලා දලු අහුරක් හප හපා හිටපු වෙලාවල් තිබුණා. ඒ දලුවල රස කිහිපයක මුසුවක් දැනුණා. ඉතිං ඇයි ඒ රස හරිම පහසුවෙන් කෑම මේසෙට ගේන්නෙ නැත්තෙ. සියඹලා දලු මිටක් හීනියට ලියල අමුමිරිස් , රතු ලූනු, උම්බලකඩ, ලුණු මුහුකරලා දෙහි බිංදුවකුත් එකතු කරලා ගත්තම කදිම සම්බෝලයක් සූදානම්.

ඔක්කෝටම වඩා උණු සුදු බතට රහ ඒවගේම කිරිබත් කන්නත් කියාපු වෑංජනයක් තමයි සියඹලා මල් තෙම්පරාදුව. මතක් වෙනකොට කටට කෙළ උනනවා. ඈත ගම්බද පොළවල ඒවා විකුණන්නෙ හුණ්ඩු ගාණට. සියඹලා ගස්වල මල් පිපෙන කාලෙට හෙවණෙ පැදුරු එලලලු එක්කාසු කරගන්නෙ. කොහේදි හරි දැක්කොත් ගන්න හදන්නෙ මෙහෙමයි. සියඹලා මල් ටික හොඳට හෝදලා දිය බේරෙන්න තියන්න. දැන් තමයි අඩුවැඩිය එකතු කරන්නෙ. කැබලි මිරිස්, තුනපහ, කහ කුඩු, ලුණු, ලියාගත් ලොකු ලූනු ස්වල්පයක් හා අමුමිරිස් කරලක්, කැමතිනම් උම්බලකඩ කුඩු ටිකක්. මේ මිශ්‍රණය අතගාලා පැත්තක තියන්න. දැන් මැටි ඇතිලියකට පොල්තෙල් ස්වල්පයක් දාලා ළිප තියන්න. තෙල් රත්වෙනකොට තලාගත් සුදුලූනු බිකක් දෙකක්, කරපිංචා ස්වල්පයක් හා අබ ටිකක් දාලා බැදුනම අපේ සියඹලා මල් කලවම දාලා වහලා මදගින්නෙ තෙම්පරාදු කරගන්න. හැබැයි පරිස්සම් වෙන්න ටිකක් වැඩිපුරත් බත් කැවෙන්න පුළුවන් එදාට. මොකද අපේ දිව ඉල්ලන රහ මුසුව තියෙනවා.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා