ඉතිහාසගත චරිත දෙකක හමුවීමක්

 ඡායාරූපය:

ඉතිහාසගත චරිත දෙකක හමුවීමක්

ඇල්බට් අයින්ස්ටයින් යනු ලෝකයේ බිහි විශිෂ්ඨතම විද්‍යාඥයෙකු බව නොදන්නා කෙනෙකු නැති තරම්ය. චාර්ලි චැප්ලින් යනු ලෝකයේ බිහි විශිෂ්ටතම විකට නළුවා බවත් නොදන්නා කෙනෙකු නැති තරම්ය.

අයින්ස්ටයින් වතාවක් කියලා තියෙනවා, යම්කිසි දවසක තමන් වැඩියෙන්ම හම්බ වෙන්න අදහස් කරන පුද්ගලයා චාර්ලි චැප්ලින් බව..

මේ විශිෂ්ටතම චරිත දෙක වතාවක් එකට හමු වෙනවා.

ඔවුන් මුලින්ම හමුවන්නේ, චාර්ලි රඟපෑ විශිෂ්ටතම චිත්‍රපටියක් වන "City Lights" චිත්‍රපටිය තිරගත කිරීම් ඇරඹීමට පෙර දීය.

මොවුන් දෙදෙනා එකිනෙකාට හඳුන්වලා දෙන්නේ, එකල යුනිවර්සල් ස්ටූඩියෝ හි සභාපති Carl Laemmle විසින්. දෙදෙනාම එකිනෙකා හඳුනා ගන්නා අතර රසබර කතාවකටත් වැටෙනවා.

ඔවුන් දෙදෙනාගේ කතාව හොඳම යාළුවන් දෙදෙනෙකු බවට පත්කරන්නට සමත් වෙනවා.

මේ නිසාම චාර්ලි විසින් අයින්ස්ටයින්ට හා ඔහුගේ බිරිඳ Elsa සමඟ චාර්ලිගේ නිවසේ දී රාත්‍රී ආහාරයකට පවා ආරාධනා කරන්න ඔහු කටයුතු කරනවා.. මේ හමුවීම් තුළින් ඔවුන් දෙදෙනා අතර ශක්තිමත් මිතුරුකමක් ඇති වුණු බව සඳහන්.

අයින්ස්ටයින් චැප්ලින් නිවසට තවදුරටත් ආගන්තුකයෙකු නොවීය. දෙදෙනා එක්ව විවිධ දේවල් පිළිබඳව රසවත් පිළිසඳරක යෙදුනු බවටත් සඳහන් වෙනවා.

අයින්ස්ටයින් කියන්නේ හරිම තැන්පත්, සිත් ගන්නාසුළු, අතිවිශිෂ්ට දැනුමක් ඇති, තරහ මෙන්ම ඉක්මණින් දුකට පත්වෙන චරිතයක් බව චාර්ලි වතාවක් පවසා තිබුණා.

මොවුන් දෙදෙනා "City Lights" චිත්‍රපටිය තිරගත කරන වර්ෂ 1931 ජනවාරි 20 වෙනිදා උත්සව අවස්ථාවට එක් වන්නේ එක විටය.

කළු ඇඳුමින් කාගෙත් සිත් ඇදගන්නා සුළු ලෙස සැරසී සිටි චාර්ලි හා අයින්ස්ටයින්, එල්සාගේ මඟ පෙන්වීම යටතේ උත්සව ශාලාවට ඇතුල් විය.

වාඩි වී සිටි සියලු දෙනා නැගිට මේ විශිෂ්ටතමයන් දෙදෙනාට අත්පොළසන් දී පිළිගත්තෝය.

මේ අවස්ථාවේ දී ඉතිහාසයේ වාර්තා වූ අපූරුම දෙබසක් ඔවුන් දෙදෙනා අතර සිදු විය,

ඇල්බර්ට් අයින්ස්ටයින් :

"මම ඔබේ කලාව අගය කරනවා, එය අද්වීතියයි, ඔබ එක් වචනයක්වත් කියන්නේ නෑ, නමුත්... ලෝකය ඔබව තේරුම් ගන්නවා..."

...චාර්ලි ද එයට නොදෙවෙනි පිළිතුරක් දුන්නේය...

චාර්ලි චැප්ලින්:

"ඔව් ඒක ඇත්ත, ඔබේ දැක්මත් අති විශිෂ්ටයි.. ලෝකයම ඔබව අගය කරනවා, ඔබ කියන දේවල් එයාලාට නොතේරුණත්..." යැයි ඔහු පවසා තිබුණා.

මේ ඉහත දෙබස පිළිබඳව ලෝකය පුරාම විවිධ කතා පවතින බව සඳහන් වෙනවා. මෙම සංවාදය සැබැවින්ම සිදු වුණාද යන්න පවා දැඩි ලෙස සමාජය තුළ සංවාදයට ලක් වුණා.

කොහොම වුණත් එදා මේ සංවාදය සිදු වු බවට ප්‍රබලම සාක්ෂිකරුවා වුණේ අයින්ස්ටයින්ගේ ළඟම මිතුරෙකු වූ pathologist කෙනෙකු වන Janos Plesch ය. අයින්ස්ටයින්ගේ චරිතාප්‍රදානය තුළ ද ‘one of the most memorable scenes in the era of celebrity.’ ලෙස මේ ගැන සඳහන් වන බව වාර්තා වෙනවා. නමුත් බොහෝ දෙනා පවසන්නේ අයින්ස්ටයින් හා එල්සා බොහෝ හිත මිතුරන් ප්‍රමාණයකට ඔවුන්ගේ නිවසට ආරාධනා කළද, චාර්ලි ඔහුට වඩාත් කිට්ටු අයට පමණක් ආරාධනා කළ බවයි.

චාර්ලිගේ "City Lights" ආදයම් වාර්තා ඉහළින්ම තිබූ චිත්‍රපටියක් ලෙස සලකන අතර එය එකළ ඩොලර් මිලියන 5ක ආදයමක් උපයා ගත් බව සඳහන් වෙනවා.

කතාව කොහොම වුණත් චාර්ලිගේ අනිකුත් නිහඬ චිත්‍රපටි වඩා "City Lights" චිත්‍රපටිය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නා අතර එය චාර්ලි චැප්ලින්ගේ විශිෂ්ටතම ජයග්‍රහණයන් අතර එක් විය.

එදා එම ජයග්‍රහණය සමරන්නට ඔහුගේ හොඳම මිතුරෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් ද චාර්ලි සමඟ සිටියේය.

මුලාශ්‍ර/ඡායාරූප: thevintagenews.com ඇසුරිණි.

[සංජේ රණවක]

මාතෘකා