සුගන්ධිකාලාගේ නීතීය අතහැර ගිහානිලාගේ රූපය අල්ලා ගැනීම

 ඡායාරූපය:

සුගන්ධිකාලාගේ නීතීය අතහැර ගිහානිලාගේ රූපය අල්ලා ගැනීම

මේ සටහනට ඇරඹුම ගනිද්දීම මට අපේ ජනතාව අතර ඇති ප්‍රකාශයන් දෙකක් සිහියට නැගේ. එකක් යටත් විජිත සමයේ ඉංග්‍රීසින් විසින් කියූවේ යැයි කියන්නකි. අනෙක පසුගිය යුද සමයේ ප්‍රභාකරන් විසින් කියූවේ යැයි කියන්නකි. පළමුවැන්න "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා" යන්නයි. දෙවැන්න "සිංහලයාට හැමදේම මතක තියෙන්නේ සති දෙකයි.. ඒ නිසා සති දෙකෙන් දෙකට පහරදෙන්න" යන්නයි. මේ ප්‍රකාශ දෙකම "ලු" ප්‍රත්‍යයෙන් සමාජගත වූ ඒවා මිස, හේතූ සාධක සහිතව ඔප්පු කළ ඒවා යැයි නොසිතමි. එබැවින් අපේ අල්ලා ගැනීමේ ගුණය ප්‍රකට කර "සිංහලයා" "මෝඩයා" "ප්‍රභාකරන්" යන වචන කිහිපය තදින් අල්ලාගෙන, මේ කියන්නට යන කතාවේ හරය අත් නොහරින්නැයි ඉල්ලමි.

යටත් විජිත සමය මෙන්ම තිස් වසරක යුද සමයද, අප රටක් ලෙස පීඩනය උරුමය කරගත් කාල වකවානුය. මේ පීඩන සමය තුළ පවා පීඩකයන් අපගේ ආකල්පමය දුර්වලතා හොඳින් හඳුනා සිටි බවට හොඳම සාක්ෂිය කටවහරේ එන ඉහත කියමන් දෙකයි. ඇතැම් විට මේ කියමන් දෙක ඉංග්‍රීසින් හෝ ප්‍රභාකරන් කියා නැතුවා විය හැකිය. මේවා තනිකර ප්‍රබන්ධ වූවද, ඒ ප්‍රබන්ධ තුළ ප්‍රශ්න කරන අපේ ආකල්පමය දුබලතා වටහාගැනීම මැනවයි මට සිතේ. "කැවුම්" සහ "යෝධයා" යනු අපේ සංස්කෘතිය තුළ බුහුමනට පාත්‍රවන වචන දෙකකි. මේ කියමනට අනුව අප යෝධයන් වී ඇත්තේ කැවුම් කෑමටය. මේ කියන්නේ කෙතරම් ආදරය කළද, සංස්කෘතික කාරණා වුවද අනවශ්‍ය ලෙස පුම්බා දැමීම නොකළ යුතු බව විය නොහැකිද..? ප්‍රභාකරන් අපේ පරම හතුරෙකි, ම්ලේච්ඡ ත්‍රස්තවාදියෙකි. ඔහු ගැන සාධනීයව කතාකිරීම පවා ජාතිද්‍රෝහී කමකි. මේ ප්‍රභාකරන් කීවා යැයි කියන කතාවෙන් කියන්නේ ත්‍රස්තවාදය පරාජය කරන ගමන්ම, තවත් ප්‍රභාකරන් කෙනෙකු බිහිවීමට හේතුවිය හැකි පුහු ආකල්ප වලටද අප තදින් පහර දිය යුතුය යන්න විය නොහැකිද..?

බණ්ඩාරනායකගේ වියෝවෙන් සිරිමාවෝද, විජයගේ වියෝවෙන් චන්ද්‍රිකාද, භාරතගේ වියෝවෙන් හිරුණිකාද අප රටේ දේශපාලන චරිත බවට පත්වූහ. සාමාන්‍ය ලෝකයේ පුරුෂාධිපත්‍යය, කාන්තා හිංසනය ගැන කොතෙක් වැල් බයිලා ගැසූවද, දේශපාලන ලෝකයේදී ගැහැනුන්ගේ කඳුළුවලට අනුකම්පාවේ උසාවි තිබේ. අතීතයේ සිට අද දක්වා එම උසාවි මගින් ඔවුනට ඉහළම වරප්‍රසාද, වරදාන ලබා දී තිබේ. නමුත් ඒ සියලු දේ ඔවුන් තමන්ගේ බලය තහවුරු කරගන්නට යොදාගත්තා මිස, තමන් සමඟ කඳුළු බෙදාගත් මිනිසුන්ගේ කඳුළු පිසීමට යොදාගත් බවට ඇත්තේ කෙතරම් අල්ප උදාහරණද..? බලය ලබාදුන් සහ ලබාගත් මිනිසුන්ගේ අතහැරීමේ ගුණයට ඊට වඩා තර්ක,විතර්ක කුමටද..?

උපේක්ෂා ස්වර්ණමාලි ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එන්නේ, එවකට එම දිස්ත්‍රික්කයේ දේශපාලන පතාකයෙකු වූ කරූ ජයසූරියවද පරාජය කරමිනි. ඇයට ඒ සඳහා ජන්ද පදනම සකසා දෙන්නේ ඈ රඟපෑ එකම එක ටෙලි නාට්‍යයකි. එවකට එම දිස්ත්‍රික්කයේම පදිංචි වී සිටි මා " අනේ දුක් විඳින අහිංසක පබා කෙල්ල.." යනුවෙන් පවසමින් උපේක්ෂාට ජන්දය දැමූ අපේ දුක් විඳින අහිංසක ජනතාව සියැසින් දිටිමි. එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලා, පොදුජන එක්සත් පෙරමුණට කරණමක් ගසා ඈ මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විඳිද්දී, අනේ අපේ දුක් විඳින ජනතාවට දුක නිවාගන්නට දැන් ඇගේ ටෙලිනාට්‍යයක්වත් පෙනෙන්නට නැත. ඈ මන්ත්‍රීවරියක කළේ තමන්යැයි එදවස කයිවාරු ගැසූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු පවා දැන් සියල්ල අතහැර ටෙලියක් කරගෙන පාඩුවේ සිටිති.

ඉතාම මෑතක වේදිකාගතවූ චරිත වූයේ සුගන්ධිකා ප්‍රනාන්දු සහ ගිහානී වීරසිංහ දෙපලයි. දැන් අපේ අතහැරීමේ ගුණාංගයට ක්‍රමයෙන් නතුව පැවතුණත්, අධිකරණය පිළිබඳව සුගන්ධිකා මතුකළ කරුණු ඉතා බරපතල ඒවාය. සුගන්ධිකා නම්,ගම් වාසගම් සමග වැරදිකරුවන් එළියට අදිද්දී ,අපි බලා සිටියේ ගිහානිගේ ළැමත්,නිතඹත්, වටොරත් දෙසය.

2020 තෙක් තාම මැතිවරණයක සේයා නැතත්, සුගන්ධිකා සිය ප්‍රකාශයේදී 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නාගානන්ද කොඩිතුවක්කු ගැනත්, තමන්ට මේ ප්‍රකාශ සෘජුව ඉදිරිපත් කිරීමට උත්තේජනය රන්ජන් රාමනායක සැපයූ බවත් හෙළි කළාය. මේ ප්‍රකාශයෙන් පසුව එළැඹි පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදීම රන්ජන්ගේ ඇමති පදවියේ කොටසක් හැලී ඇත. මේ රටේ පුරවැසියන්ට වඩා හොඳින් පාලකයන් අතහැරීම ප්‍රගුණ කර ඇති බව ඉන් ඔප්පු විය. එබැවින් 2020 දී මේ රටේ සුගන්ධිකාලා, රන්ජන්ලා, නාගානන්දලා හිටියත් නැතත් ගිහානිලා නම් හිඳිනු ඇත.

අපේ ආකල්පවල නිල හරියටම අල්ලාගත් ගිහානි වීරසිංහලා ගැන ඇයම රඟපෑ "සල්සපුනා" ටෙලි නාට්‍යයේ 246 වන කථාංගයේ එන මේ සංවාදය සටහන් කර මගේ සටහන නිමා කරමි.

සිය බිරිඳගෙන් දික්කසාද වීමට යන තරුණ මන්ත්‍රීවරයාට ඇය මෙසේ කියයි.

"ඔයා එයාට දෙන වන්දියෙන් කොටසක් ඔයාගේ ජන්දෙට යොදවන්න එයා කැමතියි. දෙන්නත් එක්කම උසාවි ගියා නම් ගොසිප් වලින් හොඳට හිට් වෙනවා.. ඒක ජන්දෙටත් වාසියි..."

තරුණ මන්ත්‍රීවරයා තම බිරිඳට ගැන මෙහෙම කියනවා.

"මං ඔයාට අවසානෙට එක උපදෙසක් දෙන්නම්.. ඉදිරියට හරි ජීවිතේ ගොඩ දාගන්න ඕනේනම්, සීනිබෝල වගේ මිනිස්සු ආශ්‍රය කරන එක නවත්‍තන්න..."

[ධනුශ්ක බස්නායක]

මාතෘකා