ඊඩිපස් පුරා කතාව

 ඡායාරූපය:

ඊඩිපස් පුරා කතාව

කලා ඉතිහාසයෙහි මේසා කතාබහක් ඇති වුණ තවත් කතාවක් නොමැති තරම් ය. එපමණක් නොව, දර්ශනය, මනෝවිද්‍යාව ආදී කතිකාවත්වලදී සෑම විටම මතු වූ කතාවක් වන්නේ ද ඊඩිපස් කතාවයි. ග්‍රීක මහා නාට්‍යකරුවකු වන සොෆක්ලීස් විසින් ඊඩිපස් රජ, කොලොන්නස්හි ඊඩිපස්, ඇන්ටිගනී යන විශිෂ්ට නිර්මාණ බිහි කරන ලද්දේ ද මෙම පුරා කතාව පදනම් කරගෙනය. ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී පමණ ග්‍රීසියේ විසූ මහා දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් විසින් ට්‍රැජඩි විග්‍රහය ඉදිරිපත් කරන ලද්දේ එසේ නිර්මාණය වූ ඊඩිපස් රජ නාට්‍යය නිදර්ශනයට ගනිමින්ය. නූතන මනෝවිද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් ඊඩිපස් සංකීර්ණය නමින් මව හා පුතා අතර ඇතිවන්නා වූ මානසික බැඳීමත් පියා කෙරෙහි ඇතිවන්නා වූ මනෝමූලික වෛරයත් හෙළි කරන ලද්දේ මෙම ඊඩිපස් පුරා කතාව පදනම් කරගෙනය. මෙවැනි පුරා කතා සිය ගණනක් ග්‍රීකයෙහි තිබේ. බහු දේවවාදී වූ ග්‍රීකයෙහි පැවැති විශ්වාසයන්, පාලන තන්ත්‍රයන්, දාර්ශනික මතවාදයන් බිහිවීම කෙරෙහි මෙම පුරා කතාවන් ඉවල් වී තිබේ. ග්‍රීක ශිෂ්ටාචාරය නූතන ලෝකයට කර ඇති බලපෑම කොතරම් ද ඒ හා සමාන බලපෑමක් ක්‍රි.පූ. 30 වැනි සියවසෙහි ඇතිවුණා වූ සිදුවීම් සමග බැඳුණු මෙම පුරාකතා ලෝකයේ කලාව හා නිර්මාණ කෙරෙහි බලපා තිබේ.

ලායියස් සහ ජොකැස්ටාගේ පුත් ඊඩිපස් උපතේදීම ඔහු කිසියම් දිනක පියා මරා මව සමග විවාහ වන බව දේව අනාවැකි අනුව කියැවිණි. ඒ අනුව ඉපදුණු ගමන් ඔහුගේ දෙපා බැඳ කඳු මුදුනට ගෙනගොස් මරා දමන ලෙස ගොපල්ලකුට පැවරීය. ඔහුට කුමාරයා කෙරෙහි අනුකම්පාවක් ඇති වී කොරින්ත් දේශයේ සිට ආ ගොපල්ලකුට ඊඩිපස් කුමරු බාර දුනි. ඔහු විසින් කරන ලද්දේ එරට රජු වූ පොලිබස්ට කුමරු හදා ගැනීමට දීමයි.

ඊඩිපස් තරුණ වියට පත්වන විට ඔහු සෙසු අයට වඩා නිර්භීත වූ හෙයින් ඔහුගේ සමානයෝ, පොලිබස් ඔහුගේ අභිමතය පරිදි ඔහුට වැඩෙන්නට ඉඩ දී ඇති නිසා ද, ඔහුගේ නොහික්මුණු ගති නිසාද ඔහු පොලිබස්ගේ හදාවඩා ගත් දරුවෙකුයි ඔහුට සරදම් කරන්නට වූහ. ඔහු එම නිසා ඔහුගේ සැබෑ දෙමාපියන් කවුදැයි සෙවීමට ඩෙල්ෆි බලා පිටත් විය.

ලායියස් ඉතා නුදුරු දිනකදීම මරණයට මුහුණ දීමට සිදුවන බව අනාවැකි මගින් හෙළි විය. ලායියස් ඩෙල්ෆි දේවස්ථානයට ගිය අවස්ථාවේ ඊඩිපස් ඔහුට මුහුණට මුහුණ මුණගැසෙයි. ඊඩිපස්ට මාර්ගයෙන් ඉවත්වන්නට කීවත් ඉවත් නොවූ නිසා ලායියස්ගේ රථයෙහි රෝදයක් ඊඩිපස්ගේ කකුල මතින් පදවයි. කුපිත වූ ඊඩිපස් ඒ ඔහුගේ පියා බව නොදැන ලායියස් මරා දැමීය. ඉන් පසුව මෙනොයිකියස්ගේ පුත් ක්‍රියෝන් රජ විය. ඒ ඊඩිපස්ගේ මවගේ සොහොයුරා විය.

මේ අතර ටයිෆන්ගේ දියණිය ස්ෆින්ක්ස් තීබයට පැමිණ වතුපිටි විනාශ කරන්නට විය. තමන් ඉදිරිපත් කරන ප්‍රහේළිකාව රජු විසදිය යුතු බවත් එසේ නොකරන්නේ නම් රජුව මරා දමන බවටත් අභියෝග කළාය. මෙයට බිය වූ ක්‍රියෝන් මෙම ප්‍රහේලිකාව විසදන්නෙකු හට ඔටුන්නත් ඔහුගේ සොහොයුරිය වූ ජොකැස්ටා පාවා දෙන බවටත් ප්‍රචාරය කරනු ලැබීය. කිහිප දෙනකු ඉදිරිපත් වුවුත් විසඳීමට නොහැකි වූ නිසා ස්ෆින්ක්ස් විසින් ඔවුන්ව කා දමනු ලැබීය.

ඊඩිපස් එම ප්‍රහේළිකාව විසඳා පියාගේ රාජ්‍ය භාරගත් අතර මව වූ ජොකැස්ටා මව බව නොදැන ඇය සමඟ විවාහ විය. ඇයට දාව එටියොක්ලීස්, පොලිනයිසීස්, ඇන්ටිගනී, ඉස්මෙන් යනුවෙන් දරුවන් සිව්දෙනකු ලැබිණි. ඊඩිපස් කළ පාපය හේතුවෙන් තීබය දුර්භීෂයකට ගොදුරු වූ අතර පවිටා මිය ගියහොත් දුර්භීක්ෂය නිමවන බව ටිරේසියෑස් නම් අනාවැකි කරු ප්‍රකාශ කළේ ය. මේ බව කණ වැකුණු ජොකැස්ටාගේ පියා ප්‍රකාරයෙන් පැණ සියදිවි නසා ගත්තේය.

මේ අතර කොරින්ත් දේශයේ රජු පොලිබස් මිය ගියේ ය. ඒ මිය ගියේ තම පියා බව සිතා ඊඩිපස් කනස්සලු වූ අතර ඔහු ඊඩිපස්ගේ පියා නොවන බව පෙරිබොයියා හෙළි කළේය. ඊඩිපස් කුඩා කාලයේ දී කඳුකර ප්‍රදේශයට ගෙනගොස් මරා දැමීමට බාරගත් මෙනෙයිටීස් ඊඩිපස්ගේ ඉදිමුණු දෙපාවලින් ඔහු ලායියස්ගේ පුත්‍රයා බව හදුනා ගත්තේය.

මේ අනාවරණයත් සමඟ තමා විසින් කරන ලද අපරාධ ඉවසා ගැනීමට නොහැකිව මවගේ ඇඳුමෙන් හාරිච්චියක් ඇද ඇනගෙන දෙනෙත් අන්ධ කර ගත්තේය. රාජ්‍යත්වය පුතුන් දෙදෙනාට පවරා දියණියන් දෙදෙනා සමඟ ඔහු නගරයෙන් පිටුවහල් වෙයි.

ග්‍රීක යුගයේ සිට නිර්මාණ සිය ගණනකට මූලාශ්‍ර වූ මෙම පුරා කතාව අද දක්වාම නිර්මාණ කරුවන්ට නිර්මාණ බිහිකිරීම සඳහා නොසිඳෙන දිය උල්පතක් වී ඇත.

[ගාමිණි බස්නායක]

මාතෘකා