බුද්ධි ගලනයේ හරයාත්මක ප්‍රශ්නය

 ඡායාරූපය:

බුද්ධි ගලනයේ හරයාත්මක ප්‍රශ්නය

තුන්වෙනි ලෝකයේ රටවල්, එහෙමත් නැත්නම් මේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වශයෙන් හඳුන්වනු ලබන රාජ්‍යවලට මුහුණ දීමට සිදුවන බරපතළ ඛේදවාචකයක් තමයි "බුද්ධි ගලනය"

රටකට, සමාජයකට තිබිය හැකි විශිෂ්ඨතම සම්පත තමයි "මානව සම්පත"... මේ මානව සම්පතෙහි හොඳම කොටස, එහෙමත් නැත්නම් අග්‍රඵලය හැටියට අපි හඳුනා ගන්නේ බුද්ධි ප්‍රජාව...නො-එසේ නම් යම් කිසි වෘත්තිමය හෝ ශාස්ත්‍රිය නිපුණතාවයක් සහිතව, තමන් තෝරාගත් විෂය ක්ෂේත්‍රයන් තුළ විශාල සේවයක් කරන්න සුදුසුකම් සහ අධ්‍යයනයක් සහිත ප්‍රජාව.

බුද්ධි ගලනය යන ප්‍රපංචයට "මරියාම් - වෙබ්ස්ටර්" කියන සමාජ විද්‍යාඥයන් බහුලව භාවිත කරනු ලබන ශබ්ධ කෝෂයේ දෙන අර්ථ නිරූපණය තමයි " බුද්ධි ප්‍රජාවට අයත් උගත් සහ වෘත්තික පුද්ගලයන් වඩා හොඳ ජීවිතයක් ලබා ගැනීමේ අරමුණින්, ආර්ථික හේතු මත උත්තේජනය කරනු ලදුව, යම් රටකින් සමුගෙන වෙනත් රටක ආර්ථික සේවයට එකතු වීම" යන්න.

මේ අර්ථ නිරූපණය වඩා සරලව සඳහන් කරතොත්, දිළිඳු රටවල, පහසුකම් සහ සංවර්ධනය අතින් වඩා පසුගාමී සමාජයන් අත්හැර සංවර්ධිත ලෝකයට සංක්‍රමණය වී, එහි වඩා සුපැහැදිලි අනාගතයක් සහිත ජීවිතයක් ගත කිරීමට යන බුද්ධිමතුන්, උගතුන් සහ වෘත්තිකයන් යන අයගේ සේවය අදාළ දිළිඳු රටවලට අහිමි වීමේ ඛේදවාචකය එයයි.

මේ ඛේදවාචකයේ තීව්‍රතාවය වඩාත් වැඩි වන්නේ, එබඳු උගතුන්, බුද්ධිමතුන් සහ වෘත්තිකයන් නිර්මාණය කිරීම සඳහා අදාළ සංවර්ධනය වෙමින් පවතින සමාජ සංස්ථා අයත් රාජ්‍යයන් ඔවුන්ගෙන් කිසිදු මුදලක් ඊට අය නොකර, ඔවුන්ගේ සම්පූර්ණ අධ්‍යාපන පිරිවැයම රාජ්‍ය මට්ටමෙන් හෝ රාජ්‍ය මැදිහත් වීම් ඔස්සේ දරා ඇති අවස්ථා වලදීයි.

එහිදී බොහෝ විට එම පිරිවැ‍ය දරනුයේ රජයන්, එරට ජනතාවගෙන් අය කරගනු ලබන රාජ්‍ය ආදායම හෙවත්, ආදායම් බදු, සහ වෙනත් බදු වර්ගවලින් ලැබෙන මුදලින් හෝ, ජනතාවට අදාළ පහසුකම් සපයා දීමේ අරමුණින් රජය මැදිහත් වී වෙනත් රටවලින් හෝ ජාත්‍යන්තර මූල්‍ය ආයතන හරහා ලබාගනු ලබන ණය සහ ආධාර මුදල්වලින්.

මේවායින් අපේක්ෂා කරනුයේ, ශිෂ්‍ය වයස් ඛාණ්ඩ වල සිටින දරුවන් සහ තරුණ තරුණියන් අතුරින්, ජාතික සංවර්ධන ක්‍රියාන්විතයට අවශ්‍ය වෘත්තිමය දායකත්වය සහ බුද්ධිමය උපදේශනය ලබාදිය හැකි මානව සම්පතක් ස්වදේශිකව සකස් කර ගැනීම. මේ අරමුණු බොහෝ විට දිගු කාලීන අරමුණු වන අතර, මානව සංවර්ධන දර්ශකයේ ස්ථාන අතුරින් වඩා ඉහළ තැනකට සිය දේශය ගෙන යෑමේ සෘජු සහ වක්‍ර දායකත්වය රජයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා.

නමුත්, බොහෝ විට මෙසේ අධ්‍යාපනය ලබන අය අධ්‍යාපනය අවසන් කර වෘත්තිමය ප්‍රායෝගිකත්වයට ප්‍රවිෂ්ඨ වන විට, ස්වකීය පෞද්ගලික අභිලාෂයන් සහ අරමුණු, ඔවුන් වෙත අධ්‍යාපන වරම් දුන් ජනතාවගේ ජාතික අරමුණු හෝ සාමූහික අරමුණුවලට වඩා ඉස්මතු වී ප්‍රමුඛතාවයට පත්වීම සුලබව සිදුවන්නක්.

තුන්වෙනි ලෝකයේ දිළිඳු රටවල, දිළිඳු ජන සමාජයේම ඉපිද හැදී වැඩෙන, බොහෝ ඌණතාවයන් සහිතව ජීවිතයේ මුල් අවදි ගෙවා පසුව වෘත්තිකයන්, උගතුන් බවට පත්වන අය සම්බන්ධව, බොහෝ විට මේ පෞද්ගලික අපේක්ෂාවන්ට නිවාස, යාන වාහන, ආවාහ විවාහ බඳු සංරචකයන් ඔස්සේ වැටුණු "පන්ති අතික්‍රමණය" හෙවත් නිර්ධන පන්තියේ හෝ පහළ මධ්‍යම පාන්තික ස්ථරයක සිට ඉහළ මධ්‍යම පන්තියෙන් ඔබ්බට තම ජීවන මට්ටම උසස් කර ගැනීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ වෙනවා.

එහිදී තමා ජීවත් වන රටෙහි පවතින ආර්ථික රාමුව තුළ සහ ජීවන මට්ටම තුළ එම අභිලාශයන් ඉටුකර ගැනීම දුෂ්කර බව පෙනී ගියහොත්, හෝ, එම අභිලාෂයන් කරා යන ගමනේ ඊළඟ සැලසුම ලෙස බොහෝ විට පෙරට පැමිණිය හැක්කේ අදාල සමාජය අතහැර, ලෝකයේ සංවර්ධිත කලාපයක් කරා සංක්‍රමණය වීමයි.

තුන්වෙනි ලෝකයේ රටවල උක්ත අපේක්ෂාවන් ඉටු කර ගැනීමේ බාධක ලෙස, සාපේක්ෂව කුඩා හෝ සෘණ මට්ටම්වල පවතින විදේශ සංචිතයන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රධාන අරමුණු සහිතව රජයන් විසින් මෝටර් රථ වාහන රට තුළට ආනයන කිරීමේදී අය කරනු ලබන අසාමාන්‍ය ලෙස විශාල බදු ප්‍රතිශතයන් හේතුවෙන් උගතුන්ට තම සිතැඟියාව සංතෘප්ත කර ගත හැකි අන්දමේ මෝටර් රථ වාහන මිලට ගැනීම දුෂ්කර වීම හෝ ආර්ථික වශයෙන් කළ නොහැක්කක් බවට පත්වීම උදාහරණයක් ලෙස ගත හැකියි. (ශ්‍රී ලංකාව වැනි රටවල් බොහෝ විට බදු වශයෙන් සාමාන්‍ය සාධනීය සුඛෝපභෝගී ලක්ෂණ සහිත වාහනයක මිළ මෙන් 200% ගුණයක් පමණ තීරු බදු ලෙස අය කරනු ලබනවා)

වෘත්තිකයන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිපුණයන් තම ජීවිත කාලයෙන් වැඩි කොටසක්, (සමස්ත යෞවනයම පාහේ) කැප කරන්නේ මෝටර් රථ වාහන, නිවාස ආදී සුඛ විහරණ අවශ්‍යතා අරමුණු වශයෙන් තබාගෙන. ඉන් පසුව තමා ජීවත් වන සමාජය තුළ ඒ අරමුණු කරා යෑමට බරපතළ ලෙස බාධක පැන නගින විට ඔවුහු ඉච්ඡා භංගත්වයට පත්වෙනවා. ඒ ඉච්ඡා භංගත්වය බොහෝ විට පුපුරා යන්නේ තමන්ගේ රට හෝ සමාජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් සහ ඉන් ඉවත් වීමේ ක්‍රමවේදයන් සකස් කර ගැනීමෙන්.

මේ වූ කළී බුද්ධි ගලනයේ හරයාත්මක ප්‍රශ්ණයයි.

[මධුක තක්සල ප්‍රනාන්දු]

මාතෘකා