මේවා ඔක්කොම සාමාන්‍යයි

 ඡායාරූපය:

මේවා ඔක්කොම සාමාන්‍යයි

අරලියා කොළ කීපයක් එක්ක අරලියා මලක් තියලා පුංචි කෙන්දකින් ගැටගහන්න ඕන. අරලියා අතු ගොඩක්

බිම තිබුණට කෝ එකම මලක්වත් නෑ

පේන තෙක් මානයක.එකමෙක අරලියා ගහක් වත් නෑ. එහෙනම් කොහෙන්ද මේ කැපූ අතු...?

ඒ කොහොම උනත් අරලියා මලක් ඕනෙමයි හදන්න නම් පුංචි මල් පොකුරක්. හීනෙ මැද්දෙන්ම ඇහැරලා බලද්දි මම කොම්බුවක් වගේ

වකුටු වෙලා ඇඳ උඩ. හීනයක් ..?...

ඒ නමටයි ඒ නමින් උපද්දන හැඟීමටයි මම කැමතිම නෑ. ඒකෙන් ඇති කරවන්නෙ අපේක්ෂා බිඳුණු ගතියක්. තවත් කෙනෙකුගෙ හිතේ සානුකම්පිත යමක් ඉතුරුකරවන හැඟීමක්. ඇත්තටම ඒක හීනයක් නෙවෙයි. මම හිටියේ සම්පූර්ණයෙන්ම අවදියෙන්. කොටින්ම මට දැනුණා ඒ කපලා දාලා තිබුණා අරලියා අතුවලින් වෑහුණු අමු කිරි සුවඳ පවා. ඒ තද කොළපාට කොළවල තිබුණු පුංචි පුංචි රේඛා ගොන්න පවා මට මතකයි. ඇයි මගෙ වටේ කැරකුණු ලා හුළඟ ?. මේ බලන්න මේ කෙස් ගස් එහෙට මෙහෙට ඇදලා දැම්මෙ ඒ හුළඟමයි.

පංකාවටත් මුරණ්ඩු දාඩිය බිංදු දෙක තුනක් නළල මැද්දේ. බොහොම සංවර නිහඬතාවයක් මගෙ වටේටම. තත්පර කටුව පිනුම් ගහන සද්දේ විතරයි. මෙච්චර නිරාමිස සැහැල්ලුවක් ...? මන්දා ...

ටිකක් අසාමාන්‍යයි වගේ තමයි. ඒත් සාමාන්‍ය ඇතුළේ අසාමාන්‍ය වෙන් කරගන්න එක ටිකක් අමාරුයි. අපි ඒවා තීරණය කරන්නෙ හරි ආත්මාර්ථකාමී විදියට. එහෙම නැතිනම් අපි දකින්න කැමති විදියට . ඉතින් මේ දේවල් යහපත්ව දැනෙන හින්දා මම කියන්නෙ මේවා ඔක්කොම සාමාන්‍යයි.

මට අත පය හොලවන්න ඕන උනෙ නෑ. (ඇත්තටම මට ඒක කරගන්න බෑ කීවොත් තමයි හරි ). හැම දෙයක්ම තිබුණේ හසුරුවන්න බැරි තරම් දුරක. සියලුම පාලන ක්‍රියාවලීන්ගෙන් වියුක්තව. බැඳීම්වලින් තොර මිනිස්සුන්ට දැනෙනවා ඇත්තෙ මෙන්න මේ සාමකාමී ගතියම වෙන්න ඇති.

මම පුළුවන් සීමාවෙ ඇස් දෙක රෝල් කෙරුවා. කොහෙන්දෝ රිංගපු ඉර එළිය ඕවලාකාර ලොකු පුංචි රවුම් හැඩ ඇඳලා බිත්ති පුරාම. ඒවා එන්න ඇත්තේ නොයෙක් නොයෙක් හැඩ අස්සෙන්. ඒත් දැන් ඕවලාකාරයි.. රවුම් .....ඒකට තියෙනවා විද්‍යාත්මක හේතුවක්.

මට ඒක මතක් කරගන්න ඕනෙ නෑ.

සමහර ඇබිත්තං දේවල් විඳින්න ඇත්ත හේතු එක්ක බෑ. බාධාවක් ඒක. එහෙම නැත්නම් ඇත්ත විඳින්න පුරුද්දක් නෑ මට හරියට...

අහසේ "තරු " වගේ....

ඇත්ත කාරණය ඒවා තරු නෙවෙයි. ඒ ඔක්කොම අපේ සූර්යයා වගෙම තවත් සූර්යයෝ. අතරින් පතර ග්‍රහලෝක. උපග්‍රහයින්. ග්‍රාහක කැබලි. ඊළඟට අපි.

"හඳ එළිය" ගැන කතා කරනවා වගේ.....

හඳ කියන්නෙ අඳුරු ගෝලයක්. හඳට ස්වයංව ආලෝකයක් නිපදවන්න බෑ. ඒ හිරුගේ ත්‍යාගශීලීත්වය විතරයි.

" හදවතින්ම " ආදරෙයි කියනවා වගේ..

මන්දා ... මම නම් හරියටම දන්නෑ අපි ආදරේ කරන්නෙ හදවතින්ද උණ්ඩුක පුච්ඡයෙන්ද, අක්මාවෙන්ද කියලා. ඒක වැදගත් නෑ. මොකද ආදරේ කියන්නෙ ආදරේට. ඒක එක්තරා උමතුවක්. අසිරියක්. පණ පිහිටුවීමක්. අත ළඟටම වැටිලා තිබුණු හුරුබුහුටි හිරු ළපයක් දිගේ මම උඩට නැග්ගා. වහළෙනුත් උඩට.... හිස් අවකාශය දිගේ.... හිස්.....?

නෑ හිස් නෑ. කිසිම දෙයක් හිස් නෑ. ඔක්කොම තිබුනෙ පිරිලා. නිය තුඩින් තට්ටුවක් දැම්මොත් පුපුරන ගානට.

උඩට....තවත් උඩට... නිහාරිකා.. කළු කුහර දූවිලි කුණාටු උල්කා වැහි අතරමැද්දෙන්. ඊට පස්සෙ

මම පිපිරෙනවා සංගීතමය හඬකින්. පියානෝ දස දහසක... වයලීන දස දහසක.. බටනළා දස දහසක් මියුරු තානයෙන්. පොළොව සහ අහස අතර මැද්දේ කම්පන සරැළි ප්‍රවාහයක් ගලායන්නට සලස්වමින්. ඊට පස්සෙ මගෙ හැම සෛලයක්ම වෙන් වෙයි. පුංචි මල් වෙඩිල්ලක දිලිසෙන අංශු වගේ ආලෝක වර්ෂ බිලියන ගාණක් දුරට විහිදෙයි. ඒ හැම සෛලයක් ගානෙම මටම අයිති රහස්‍යමය සලකුණක් තියයි. සමහරවිට මාව හොඳින්ම දන්නා කෙනෙකුට ඒවා අඳුනගන්නත් පුළුවන් වෙයි. මම ඒකට නමක් දෙනවා.

" කාලයේ පියාසැරිය"... තාත්වික ලෝකයේ නීති රීති වලංගු නැති නමක්. ආයෙත් හීනෙ මතක් වුණා.( නෑ හීනයක් නෙවෙයි )

මම කාටද උනන්දුවෙන් නොඉවසිල්ලෙන් අරලියා මල් පොකුරක් හදමින් හිටියේ....මතකෙට එන්නෙම නෑ. සමහර විට එයා බලන් ඇති. ආපහු ඒ මිහිරි මිනිත්තුවට යන්න ඇත්නම්..

ඔව්... එයා තාමත් බලන් ඉන්නවා ඇති

ඒත්, සමාවෙන්න .. එකම අරලියා

මලක්වත් හොයාගන්න

බැරි වුණා මට....

[දිනූ රාජගුරු]

මාතෘකා