මිනිසුන් දහයකින් නවයක් දූෂිත වායු ආශ්වාසයේ

 ඡායාරූපය:

මිනිසුන් දහයකින් නවයක් දූෂිත වායු ආශ්වාසයේ

ජීවීන්ට සිය පැවැත්මට වඩාත් උවමනා වන්නේ මොනවාදැයි විමසුවොත් දිය හැකි අවිවාදාත්මක පිළිතුරක් තිබේ. ඒ 'හුස්ම'යි. ජීවයේ හොඳ - නරක වාගේම එහි භෞතික පැවැත්ම තීරණය කරනු ලබන්නේද ජීවීන්ගේ ආශ්වාස ක්‍රියාවලිය විසිනි. තමන් විසින් ආශ්වාස කරන වායුවේ තිබෙන ඵලදායිකම සමග ජීවීන්ගේ පැවැත්ම තීරණය වීම වැළකිය නොහැකි තත්ත්වයකට පත් වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරණය කරමින් සිටින මොහොතකය මේ පිළිබඳව අවධානයට ගැනෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය වායු දූෂණය හා සෞඛ්‍ය පිළිබඳ සමුළුව යෙදී ඇත්තේ මේ වසරේ ඔක්තෝබර් 30දා සිට නොවැම්බර් 01දා දක්වාය.

ලෝකයේ විවිධ අංශවල ඉතා භයානක අන්දමින් වායු දූෂණ මට්ටම මේ වන විට ඉහළ ගොස් ඇති බව පසුගිය සතියේ යළි අවධාරණය කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ලෝක සෞඛ්‍ය සංංවිධානයේ නවතම දත්ත පෙන්වන්නේ ලොව සෑම තැනකම වෙසෙන පුද්ගලයින් 10කගෙන් 09දෙනකු අපවිත්‍ර වායු ආශ්වාස කරන බවය. ලෝක සංවිධානයේ යාවත්කාලීන කළ සංගණන අනාවරණ කරන්නේ සෑම වසරකම ගෘහාශ්‍රිතව හා එළිමහනේ ආශ්වාස කරන අපවිත්‍ර වායු හේතුවෙන් මිනිසුන් මිලියන 7ක් මරණය සිදු වීමේ අවදානමක් පෙන්නුම් කරන බව හඳුනාගෙන ඇති බවයි.

"වායු දූෂණය අප සැමටම තර්ජනයක්. නමුත් දිළිඳු හා සමාජයෙන් කොන් වී වෙසෙන ජනතාව බහුතරයක් කරදරකාරී විෂ ද්‍රව්‍යවල පීඩාව එය වැඩි වශයෙන් දරා ගනිමින් සිටිනවා.එය කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයක්. ගෘහාශ්‍රිතව තිබෙන අපවිත්‍රකාරක ගිනි උදුන් හා ඉන්ධන හේතුවෙන් ලෝකයේ බිලියන තුනක් ඉක්මවූ කාන්තාවන් හා ළමුන් මේ වෙද්දිත් මාරාන්තික දුම් ආඝ්‍රාණය කරනවා. අප වායු දූෂණයට එරෙහිව කඩිනමින් ක්‍රියා නොකළොත් අපට කවදාවත් තිරසාර සංවර්ධනයට ළඟා විය නොහැකියි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇදානොම් ගේබ්‍රියේසස් අවධාරණය කරයි.

සෑම වසරකම වායු දූෂණයේ බලපෑමෙන් ලොව මිලියන හතක ජනතාවක් මිය යති. පෙණහලු හා හෘදවාහිනීවල ගැඹුරට අහිතකර වායු උරා ගැනීමෙන් ඇති වන රෝග, ආඝාත තත්ත්වයන්, හදවත් රෝග, පෙණහළු පිළිකා, නිදන්ගත අවහිරකාරී පෙණහලු රෝග සහ ශ්වසන ආබාධ ඇතුළු නියුමෝනියා තත්ත්වයන් වායු දූෂණය හේතුවෙන් මිනිසුන් මුහුණ දෙන රෝගී තත්ත්වයන් වේ.

හාත්පස පවතින වායු දූෂණය හේතුවෙන් 2016 වර්ෂයේදී මිලියන 4.2ක් මරණ වාර්තා කෙරිණි. අපවිත්‍රකාරක ඉන්ධන භාවිතයෙන් ආහාර පිසීම ගෘහාශ්‍රිතව වායු දූෂණය වීමටත් එමගින් බොහෝ මිනිසුන් රෝගීන් වීමටත් හේතු වී ඇත. අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල, එනම් ආසියා හා අප්‍රිකා රටවල හා යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය ආශ්‍රිතව සියයට 90 ඉක්මවූ ජනතාවක් මාරාන්තික තත්ත්වයන්ට මුහුණ දෙති.

ලෝක ජනගහනයෙන් සියයට 40ක් ජනතාවට මේ වන තුරුත් ආහාර පිසීම සඳහා පිරිසිදු ඉන්ධන සහ තාක්ෂණයක් නොමැත. එවැනි බොහෝ නිවෙස්වල මිනිසුන් රෝගීන් වීමට ප්‍රධානම හේතුව වන්නේ ගෘහාශ්‍රිතව සිදු වන වායු දූෂණයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනා ගන්නේ බෝ වන විවිධ ආකාරයේ ආබාධ සඳහා වායු දූෂණය උපකාරී වන බවත් එය ඉතා බරපතළ අවදානමක් ඇති තත්ත්වයක් වන බවත්ය. හදවත් රෝගවලින් සිදු වූ වැඩිහිටි මරණවලින් සියයට 24ක්, ආඝාතය හේතුවෙන් මිය ගිය සියයට 25ක්, නිදන්ගත අවහිරකාරී පෙණහලු රෝග හේතුවෙන් මිය ගිය සියයට 43ක් හා පෙණහළු පිළිකාවෙන් මිය ගිය සියයට 29ක් මිය ගොස් ඇත්තේ වායු දූෂණයට ගොදුරු වීමෙනි. 

මෙම තත්ත්වය ඉතා දරුණුය. ලෝකයේ 108ක් වන රටවල්වල නගර 4300ක් ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු තත්ත්ව පාලනයේ දත්ත ගබඩාවට එක් වී තිබේ. 2016 සිට රටවල් 1000ක්  වායු දූෂණය වැළකීමේ දත්ත ගබඩාවට වඩා එකතු වී තිබේ. එපමණක් නොව ඒ සඳහා පෙරට වඩා ක්‍රියා මාර්ග ගැනීමටත් එම රටවල් කටයුතු කරමින් සිටී.

කර්මාන්තශාලා, වාහන, ජනගහන වර්ධනය හේතුවෙන් මේ වන විට ලෝකය මුහුණ දෙන අවදානම ශ්‍රී ලංකාවට අදාළවද කිසිසේත් වෙනස් වී නොමැත. වායු දූෂණය හේතුවෙන් කොළඹ අවට මිනිසුන් මුහුණ දෙන අවදානමද මීට පෙර 'රැස' වෙතින්ද අවධාරණයට ලක් කෙරිණි. එසේම දුම්වැටි භාවිතය, පොලිතීන් දහනය, වායු දූෂක ද්‍රව්‍ය දහනය යනාදිය මේ සඳහා ප්‍රධානම හේතුවක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනා ගනු ලැබ ඇත. එසේම ගෘහාශ්‍රිත වායු දූෂණය වළකනවිධිමත් ඉන්ධන භාවිතයක් ශ්‍රී ලංකාව තුළද සිදු වන්නේ නැත. වායු දූෂණය පිළිබඳ අවධානය ලංකාව තුළද තහවුරු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එහෙයිනි.

[වායු දූෂණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාව ඇසුරින්]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?