විශාලම මැයි දින වේදිකාව අපේ

 ඡායාරූපය:

විශාලම මැයි දින වේදිකාව අපේ

වර්ෂ 1886 වසරේ මැයි මාසයේ මුල් දිනය ඇමරිකාවට ඉර පායනවාත් සමඟ වෙනදා කම්හල්වලින් නැගෙන දුම් වලා එදින අහස සිපගත්තේ නැත. කම්හල් තුළින් නැගෙන යන්ත්‍රවල ශබ්දය එදා පරිසරය පුරා රැව් දුන්නේ නැත. සිදුවන දේ පිළිබඳව අවබෝධයක් නොමැති හාම්පුතුන් සාමාන්‍ය පරිදි සිටිද්දී කර්මාන්ත ශාලාවල සේවය කළ සේවකයින් දසදහසක් පමණ හේමාකට් චතුරස්‍රය වටා එකතු විය. "සේවා මුරය පැය අටක් කරවු" කම්කරුවෝ කෑගසන්නට වූහ. තව පිරිසකගේ අතේ "හාම්පුතුන් භංග වේවා" යනුවෙන් ලියූ පුවරු දරාගෙන ඇත. එතෙක් පැවති වහල් කම්කරු ක්‍රමය ඇමරිකානුවන් විසින් තවදුරටත් වැළඳ නොගන්නා බවත් තමන්ගේ වැඩමුරය පැය අටකට සීමා කර නිදහස බුක්තිවිඳීම උදෙසා තමන්ටද අවස්ථාව ලබා දෙන ලෙසටත් කම්කරුවන් කර්මාන්තශාලා තුළ සුළු වශයෙන් අරගල කරන්නට පටන්ගෙන තිබිණි. 

ඒ අරගලයේ විශාල පිම්මක් ලෙස 1886 මැයි පළමුවන දින හේමාකට් චතුරස්‍රය වටා එකතු වීම දැක්විය හැක. හේමාකට් චතුරස්‍රයට එකතු වූ පිරිස නිදිවර්ජිතව එක දිගට තම අයිතීන් වෙනුවෙන් සටන් කරනු ලැබීය. ඒ දුටු අනෙකුත් පිරිස්ද ඔවුන් වටා ක්‍රමයෙන් එකතු විය. තුන් වන දිනය වන විට පැමිණි  පිරිසගෙන් චිකාගෝ නුවර මහාමාර්ග වැසී ගියේය. මුළු චිකාගෝ නුවරම එකම හිස් ගොඩකි. තුන් වන දිනයේ දහවල් වන විට හේමාකට් චතුරස්‍රය අසලට කඩා වැදුණු හාම්පුතුන්ගේ අණට කීකරු වූ පොලිස් නිලධාරීන්ගේ වෙඩි උණ්ඩවලින් ආරම්භ වූ ඒ මහා මිනිස් සංහාරය කොතරම් දැයි අදටත් නිශ්චිතව ගණන් බලා නැත. 

කම්කරුවන්ගේ කටින් පිටවූයේ සටන් පාඨ වෙනුවට මර ළතෝනි හඬයි. අතේ තිබුණේ සටන් පාඨ ලියූ බෝඩ් වෙනුවට තම සගයන්ගේ ලෙයින් තෙත් වී තිබූ ඇඳුම්ය. කම්කරුවා නියෝජනය කරන වර්ණය රතු පාට බව තීරණය කෙරුණේ ඒ ලේ පැහැයෙන් තෙත් වූ ඇඳුම් සිහිපත් කරනු උදෙසාය.   

1889 දී ප්‍රංශයේ එංගල්ස්ගේ නායකත්වයෙන් පැවති දෙවන ජාත්‍යන්තර කම්කරු සමළුවේදී මැයි පළමුදින කම්කරු දිනය බවට යොදාගැනීමට තීරණය කර ගන්නා ලදි. එතැන් පටන් සෑම රටකම පාහේ ලෝක කම්කරු දිනය සමරනු ලබයි. රටවල් දෙකක පමණක් එම දිනයන් වෙනස් වන අතර, කැනඩාවේ නොවැම්බර් මාසයේ අග සතියේද නවසීලන්තයේ ඔක්තෝබර් මාසයේ දෙවන සතියේද ලෝක කම්කරු දිනය සමරනු ලබයි.   

ලෝකයේ තුන් වැනි වතාවට මැයි දිනය වෙනත් දිනයක සමරන රට අපි බවට පත් කිරීමට ආගමික ප්‍රජාව, මැති -ඇමතිවරු සිතුවාදැයි විටෙක මට සිතේ. කිසිත් නොකරන රටක එවැනි දෙයක්වත් කරන එක එක අතකට හොඳය. 

අප අද විඳින පැය අටේ වැඩ මුරය අපට නිකන් ලැබු‍ෙණ් නැත. දහස් ගණනක් ජීවිත පූජා කරමින්, ආබාධිත වෙමින් රුධිරය වපුරවමින් දිනාගත් දෙයකි, ඒ. ඉතිහාසය එසේය. වර්තමානයත් එසේමයි. අනාගතයද වනු ඇත්තේ එසේමයි. කිසිම ජයග්‍රහණයක් පාලකයන් නිකන්ම ලබා දෙන්නේ නැත. වර්තමානයේ කම්කරු දිනය සමරනු ලබන ආකාරය දුටු විට ඇතිවන්නේ මහත් කනගාටුවකි. 

කම්කරුවන් අතේ තිබිය යුත්තේ රතු කොඩි වූවාට දැන් තියෙන්නේ කොළ, නිල්, දම්, කහ ආදී විවිධ වර්ණවල කොඩිය. පෙළපාලියට එන්නේ බත් පැකැට්ටුවයි, අරක්කු කාලයි ලැබෙන නිසාය. පාලක පන්තියේ දේශපාලන පක්ෂ මැයි දින සැමරුම් සූදානම් කරන්නේ කිනම් අරමුණක් උදෙසා දැයි මට වැටහෙන්නේ නැත. මැයි දිනය යනු ඇත්තටම දේශපාලන පක්ෂවල බලාධිකාරිය පෙන්වන්න යොදාගන්නා දේශපාලන දිනයක් පමණක්ම වී ඇත. මාධ්‍ය ආයතනද එසේමය. 

හවසට කොළඹ කොටුවේ වැඩ කරන කුලී සේවකයකු අල්ලාගෙන දවල්ට කෑවද, රෑට කෑව-බිව්වද කියා අසමින් වීඩියෝ කරගන්නා දර්ශනයක් රාත්‍රියේදී පෙන්වන එක හැර වෙන යමක් මාධ්‍ය ආයතන කරන්නේද නැත. කම්කරුවා වශයෙන් ඔවුන් දකින්නේ වැඩ කරන සුළු සේවකයා පමණක් වීමම අවාසනාවට කරුණකි. හොඳම කාරණය නම් එක්තරා වාමාංශික පක්ෂයක මැයි දිනය ගැන පුවත්පතක පළවූ ලිපියක මෙසේ සටහන් වී තිබෙනු දැකීමය.
"විශාලම මැයි දින වේදිකාව අපේ" 

මැයි දිනය යනු දේශපාලන පක්ෂවල බලය පෙන්වන තවත් එක් දේශපාලන රැළියක් මිසක ඉන් එහාට ගිය දේශපාලන අර්ථයකින් කරන යමක් නොවන බවට තවත් උදාහරණ අවැසි වන්නේ නැත. සැබෑ කම්කරුවා නියෝජනය වන කම්කරු දිනයක් කවදා නම් මේ දුප්පත් දූපතේ දකින්නට ලැබේද... 

මාතෘකා