අභිමානවත් ජීවිතයකට මගක්

 ඡායාරූපය:

අභිමානවත් ජීවිතයකට මගක්

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 2012 ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාවට අනුව කෝටි දෙකකට ආසන්නය. 170000 පමණ ජන ප්‍රමාණයක් විවිධ ආබාධ සහිත වූවෝ වෙති. ඉන් ලක්ෂ නවයක් පමණ ස්ත්‍රීන් වන අතර ලක්ෂ හයක් පමණ පුරුෂයින්ය.

ඒ ආබාධිත තත්ත්වයන් සඳහා විවිධ හේතු බලපාන බව ඔබ මා දන්නා කාරණයකි. කුමන ආබාධිත තත්ත්වයක පසුවුවද ආබාධිත ප්‍රජාව නිරන්තරයෙන් උත්සාහ ගන්නේ සමාජයට, රටට බරක් නොවී ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වීමටය. ඒ සඳහා ඔවුන්ට පවුලේ සාමාජිකයන්, හිතමිතුරන්, ගුරුවරුන් මෙන්ම සමාජයේ බොහෝ දෙනාද සහාය වේ. ඒ සහාය ලබා දෙන්නේ අනුකම්පාවට වඩා එහා ගිය පරමාර්ථයකිනි. එනම්, අනාගතයේදී ස්වාධීනව ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකසා දීම සඳහාය.

අද වන විට ආබාධිත පුද්ගලයන් අධ්‍යාපනය ලැබීමේ ප්‍රතිශතය අතීතයට වඩා ඉහළය. ඊට හේතුව වී ඇත්තේ ඔවුන් වෙනුවෙන් පවතින පහසුකම් එදාට වඩා අද වන විට වර්ධනය වී තිබීම, සමාජ දැනුවත්භාවය හේතුවෙන් ආබාධිත දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම, ආබාධිත පුද්ගලයන්ටද සමාජයේ කළ හැකි දෑ බොහෝ වීම හා ගෞරවනීය ස්වාධීන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමට මග පාදා ගැනීම ආදිය ඒ අතර වේ.

ආබාධිත පුද්ගලයෙකුට තම ජීවිතය ගොඩනඟා ගැනීමේදී අධ්‍යාපනය යන සාධකය ඉතාම වැදගත් වේ. ඒ නිසාම වසරින් වසර විශ්ව විද්‍යාලවලින් පිටවන ආබාධිත පුද්ගලයන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. ඔවුන් සාමාන්‍ය පුද්ගලයන් සමඟම ඒ අධ්‍යාපනය ලබමින් සටන් කරන්නේ අභිමානවත් ජීවිතයක් ගත කිරීම සඳහාය. කැපවීමෙන්, උනන්දුවෙන් සහ උත්සහයෙන් තම ආබාධිත තත්ත්වය මධ්‍යයේ වුවද අධ්‍යාපනය ලබන මේ පිරිස අද වන විට මුහුණපාන බැරෑරුම් ගැටලුවක් වී ඇත්තේ රැකියා අවස්ථා ලබා ගැනීමය. 1988 දී නිකුත් කරණ ලද 27 88 චක්‍රලේඛනයේ සඳහන් පරිදි (තම ආබාධිත බව රැකියාවට බාධාවක් නොකර ගන්නා, සුදුසුකම් ලත් ආබාධිත පුද්ගලයන්ගෙන් 3% පිරිසකට රැකියා අවස්ථා ලබාදිය යුතුය.

නමුත් එය ඒ ලෙස ක්‍රියාත්මක වන්නේ නැත. බොහෝ නිලධාරීන්ගේ ආකල්ප මත ආබාධ සහිත වූවන්ට රැකියා ලබාගැනීම ගැටලු සහගත වී ඇත. මේ වන විට රැකියා විරහිත ආබාධ සහිත උපාධිධාරීන් ප්‍රමාණය 70කට ආසන්නය. මෙය මේ වසර වන විට සියයක් පමණ වේ.

ආබාධ රහිත පුද්ගලයෙකුට නම් ත්‍රීරෝද රථයක් ධාවනය කිරීම, ඇඟලුම් කම්හලක සේවය කිරීම, වෙළඳ සැලක සේවය කිරීම වැනි කටයුත්තක් වුවද කළ හැකිය. නමුත් ආබාධිත පුද්ගලයන්ට ඇතැම් දෑ කළ නොහැකිය.

කළ හැකි දෑ සඳහා අවස්ථා නොලැබෙන්ෙන් ආබාධිත බව මූලික කරගෙනය. එය සාධකයක් කර ගැනීම තුළ කුමන සුදුසුකම් සම්පූර්ණ කළත් රැකියාවක් ලබා ගැනීම මහත් අභියෝගයක් වී ඇත. උපාධියට පමණක් සිමා වී නැති මේ පිරිස අමතර සුදුසුකම් රැසක් සම්පූර්ණ කර ඇති බව අපට පෙනීගිය කාරණයකි. පරිගණක හැකියාව, මනෝ උපදේශනය, සන්නිවේදන කුසලතා එහිදී විශේෂයෙන් සඳහන් කළ හැකිය. ඔවුන් ද මිනිසුන්ය. සියලු මිනිසුන්ට පවතින අවශ්‍යතා ඔවුනටත් පවතී. වසර ගනණාවක් තිස්සේ විරැකියාවෙන් පෙළීම තුළ අද වන විට ඔවුන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇත. ආබාධිත වූ පමණින් ඔවුන් අසරණ විය යුතු නැත. නමුත් රැකියා අවස්ථා නොලැබීම තුළ ඔවුන් අසරණ වී ඇත. මෙතෙක් කල් ඔවුන් රැක බලාගත් මාපියන් අද වන විට වියපත්ය. රෝගීය. ඔවුනට ද අද වන විට තම ආබාධිත දරුවන් රැක බලාගැනීම අපහසුය. ආබාධිත දරුවාට ද රැකියා නොමැති වීම තුළ තම පවුලට සහයෝගයක් ලබාදීම මගහැරී ඇත. එසේම ඇතැම් දරුවන්ගේ පවුල්වල ආබාධිත දරුවන් කිහිප දෙනෙකු සිටින බව සඳහන් කරයි. ඇතමුන්ගේ මව හෝ පියා අද වන විට මියගොස් ඇත. එබැවින් මෙම පිරිස පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලයයි මේ.

රැකියා විරහිත උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරී පත්වීම් ලබාදීමට මේ වන විට රජය විසින් කටයතු සලසා ඇති අතර එහිදී රජය විසින් ආබාධිත උපාධිධාරීන් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙන බවට පොරොන්දු වී ඇත. එය ඉතාමත් යහපත් තත්වයකි. අගය කළ යුතු කාරණයකි. ඒ වගේම එහිදී ඔවුනට සාර්ථකව කටයුතු කළ හැකි අංශ පිළිබඳව අවධානය යොමු කරනවා නම් ඔවුනට තම රැකියාව සාර්ථකව හා තෘප්තිමත් ලෙස කරගෙන යා හැකි වනු ඇත.

විශේෂයෙන් ඉහත කී පරිදි බොහෝ ආබාධ සහිත වූවන්ට පරිගණක හැකියාව ඇත. සන්නිවේදන කුසලතා හා සංවිධාන ශක්තිය පවතී. ඒ හැකියා තුළින් ඵලදායී සේවයක් රජයට ඔවුනගෙන් ලබාගත හැකි වනු ඇත.

ඒ වගේම උපාධි නොලත් ආබාධ සහිත වූ පුද්ගල පිරිසක් ද රට තුළ ජීවත් වේ. ඔවුන් ද උපාධිය නොලැබුවද විවිධ හැකියාවලින් යුතු පිරිසකි. ඔවුනගේ ද හැකියා හදුනාගෙන රජය මැදිහත් වී හෝ පෞද්ගලික අංශය අවධානය යොමු කර හෝ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කළ හැකි නම් ඉතාම අගනේය. එවිට ඔවුනටත් අභිමානවත්, ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් ඔබට යමක් කළ හැකි නම් රැස පුවත්පත හරහා සම්බන්ධ වන්න.

මාතෘකා