වෙනසට ගල් ගහන අපි

 ඡායාරූපය:

වෙනසට ගල් ගහන අපි

මීට කාලෙකට කලින් මනුස්සයෙකුට, මේ ලෝකේ තියෙන සිස්ටම් එකේ සැහෙන්න ලොකු අවුලක් තියෙනවා කියලා තේරුම් ගියා. සාමාන්‍යයෙන් ජීවිතේ ඉහළම සැප විදපු කෙනෙක්ට ඒ සැපයේ අගය කාලයක් එක්කම පහළ බහිනවා. ඒ සැප උරුම නැති මිනිස්සු ඒ සැපයට ලොල් වෙන තරමටම ඒ සැප විඳින මනුස්සයට කාලයත් එක්ක ඒ සැප සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා.එතකොට ඒ සතුට හරි සැපය හරි අහිමි මිනිසුන්ට වගේ ඒ දේ පිළිබඳ තියෙන අසීමිත ආසාව නැතිවෙලා යනවා. අර මම කලින් කියපු මනුෂ්‍යයාටත් ඒ ධර්මය පොදු වෙනවා. අධිකව සැප හිමි කරගත්තට ඔහුට ඒ සැප අප්‍රසන්න වෙනවා. ඒ කියන්නේ ඔහු තේරුම් ගන්නවා හිමිකර ගැනීම හෝ අයිති කර ගැනීම ඇතුළේ සතුට හෝ සැනසීම නැහැ කියලා. ඉන් පස්සේ ඔහු ස්වං අධ්‍යයනයක් හරහා දර්ශනයක් නිර්මාණය කරනවා. ඒ දර්ශනය හරහා ඔහු සමාජයට සාර්ථකත්ව සන්නිවේදනය කරනවා. සමාජයේ එකම අච්චුවේ දුවන සාම්ප්‍රදාය වෙනස් කරන්න ඒ දර්ශනය සමත් වෙනවා. හැමෝටම එදත් අදත් වෙනසක් අවශ්‍ය කරනවා. හැබැයි වෙනස් වෙන්න වෙනසක් ආරම්භ කරන්න කවුරුත් කැමති නෑ. 
සමාජයක් ඇතුළේ සේරම එක් දිශාවකට යද්දී ඒ ප්‍රවාහයේ ඇතුළේ වෙනත් දිශාවකට යනවා කියන දේ ඉතාම අවදානම් සහගත දෙයක්. හේතුව තමා වෙනස් වීම කියන දේට අපි තුළ තියෙන බය. සමාජයේ කෙනෙක් වෙනස් වෙද්දී ඒ දේට අපි බයයි. සමාජය බයයි. ඒ නිසා දෙපාරක් නොහිතා ඒ වෙනසට ගල් ගහන්න අපි පෙළඹෙනවා. ඒත් කවුරුන් හෝ කෙනෙක් අවදානමක් අරගෙන සම්ප්‍රදාය වෙනස් කරලා වෙනසක් ඇති කරාට පස්සේ රංචු පිටින් ඒ වෙනසට මිනිස්සු එකතු වෙනවා. හැබැයි හොදටම මතක තියාගන්න ඕනි දේ තමා මොන වෙනසට එකතු වුණත් ඒ එකතු වීම සිද්ධ වෙන්න ඕනි මනා අවබෝධයෙන්.  
කොහොම නමුත් කාලෙකට කලින් ඉදිරිපත් වෙච්චි ඒ දර්ශනයට කාලයත් එක්ක ඇදහීමක් හා අනුගාමිකත්වය එකතු වෙලා සමාජය පුරා ව්‍යාප්ත වෙනවා. ඒත් එක්කම ඒ දර්ශනය විවිධ සමාජ සංස්කෘතිය හැඩ ලක්ෂණවලට අනුව වර්ණ ගැන්වෙනවා. ඒ වගේම තමා විවිධ සන්නිවේදකයන් ඒ කීවේ ඒ දර්ශනය සමාජ ගත කරන පසු කාලීන අනුගාමිකයන් තුළින් මුල් ඉගැන්වීමට තවත් දේ එකතු වෙනවා. ඒ වගේම දර්ශනය යටපත් කරගෙන නැවතත් අර අවුල් ගතිය උඩට එනවා. ඒ කියන්නේ තාර්කික අවබෝධයට වඩා ඇදහීම් වන්දනා කිරීම් ප්‍රබල වෙනවා. ඇදහීමට වඩා අවබෝධය සමාජයට අත්‍යාවශ්‍ය අනිවාර්ය සාධකය විය යුතුම කාලයක් තමා වර්තමානය. 
ඒ වගේම සන්නිවේදන කාර්ය ඇතුළේ අතිශය ප්‍රායෝගික විදියට මානව ජීවිත හැඩගස්වන්න මේ දර්ශනයට පුළුවන්කම තිබුණා. ඒ වගේම මේ කාරණය සමස්ත විශ්වයේ ඕනෑම කෙනෙක්ට පොදු වූ ධර්මතාවක්. මිනිස් සිත තරම් සංකිර්ණ බලවේගයක් ඉතාම සියුම් ලෙස විග්‍රහ කරනවා වගේම මානව චර්යාවට ඒ සිත කොයිතරම් බලපානවද කියන දේ තාර්කිකව ඔප්පු කරනවා. ඔබත් මමත් ආබාධිතයෝ. ආබාධිත භාවය කියන්නේ භෞතික කායික ගැටලුවක්ට සීමා කරන්න පුළුවන් කාර්ණාවක් නෙමේ. ඒක ඊට එහා යනවා. පිටට පේන භෞතික අබාධිත භාවයට වඩා මනස තුළ, සිත තුළ තියෙන අාබාධිත තාවයන් අපේ ජීවිත පුදුම විදියට අඩපණ කරනවා. අපිව් රෝගී කරනවා. පීඩාවට පත් කරනවා. ඒ නිසා දෙපා අහිමි හෝ ශරීරාංග අහිමි වූවෙක්ට වඩා මනසින් අාබාධිත වූ අපි අසරණයි.
ජීවිතය ඇතුළේ අපිට හිමි කාර්ය අපිට උරුම දේ අපි කරන දේ අපි කරන්න ඕනි දේ අපි කරන්න ආසා දේ අපි ලබන්න ආසා දේග ඒත් අපිට ලැබෙන දේ. පොඩ්ඩක් හිතන්න හරි ව්‍යාකූලයි නේද. ඒ ව්‍යාකූලත්වට මොන යම් හෝ විසදුමක් අවශ්‍යයි. ඒ නිසයි ජීවිතයට තාර්කික අවබෝධය වැදගත් වෙන්නේ. මේ වගේ දර්ශනයන් ලෝකය පුරාවටම තවත් බොහෝ තැන්වල විවිධ ලක්ෂණ සහිතව බිහි වුණා. 
අද වෙනකොට ඒවත් මේ දර්ශනයට වුණා වගේම ඇදහීම් ඉල්ලීම් වන්දනා කිරීම් තුළින් වැහිලා බොහෝදුරට. වන්දනාව ඇදහීම් ආකර්ෂණීයයි ගුප්තයයි. අවබෝධය තාර්කිකයි. අවබෝධය ඇතුලේ තේරුම් යන ගොඩක් දේවල් තේරුම් ගන්න අකැමති නිසාම පිලිගන්න තියෙන අකැමත්ත නිසාම ගොඩක්දෙනා කරන්නේ ඇදහීම් හෝ වන්දනා කිරීම. ඒ නිසයි ජීවිතේ මෙච්චරටම මිනිස්සු දුක් විඳින්නේ.
ලියන මමත් කියවන ඔබත් මොන ආගමක මොන ජාතියක හෝ මොන වාර්ගිකත්වයක වුණත් මොන සමාජ මට්ටමක වුණත් ලිංග භේදය වෙනස් වුණත් අපි මනුෂ්‍යයෝ. අපිට පොදු වූ ධර්මතා වගේම ස්වබාවධර්මයේ රීතීන් එක්ක ගෙවෙන මේ ආශ්වාස ප්‍රාශ්වාස කාල පරාසය තුළ අපි අවබෝධයෙන් ජීවත් වෙන්නම ඕනි. හැබැයි එහෙම වෙන්න අපි ඉන්නේ අනවබෝධයෙන් කියලාවත් අපිට තේරුම් යන්න ඕනි. 
ඒ දර්ශනය ලෝකට බිහිවීම අවුරුද්දක් ගානේ මතක් කරන අපි අනිවාර්යයෙන්ම මීට වඩා ගොඩක් වෙනස් වෙන්නම ඕනි.

මාතෘකා