පහත රටින් අපි ආවේ නාමල් පූජා කරන්න... දළදා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න...

 ඡායාරූපය:

පහත රටින් අපි ආවේ නාමල් පූජා කරන්න... දළදා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න...

මධ්‍යම පළාතට අභනවයෙන් පත් කරන ලද ආණ්ඩුකාරවරයා පැය විසිහතරක් වැනි කෙටි කාලයක් ඇතුළත මාරුකර හැරියේය. එයට ඔහුගේ කුලය මුල් වූයේය යන හේතුව බොහෝ දෙනෙකුගේ ක්‍රෝධය ඇවිස්සීමට සමත් විය.   
පහත රට කුල නියෝජනය කරන්නන් උඩරට ආගමික සංස්ථාව විසින් ගර්හාවට ලක්කිරීමේ ඉතිහාසය 19 වන ශතවර්ෂයේ මුල දක්වාම දිවයන්නේය. එනම් පහතරට කරාවේ, දුරාවේ සාමණේරයන් වහන්සේලාට උපසම්පදාව ලබාදෙන ලෙස පහත රට මුදලිවරුන් විසින් කරන ලද ඉල්ලීමක් ක්‍රිස්තු වර්ෂ 1787ත් 1811ත් අතර කාලයේ මල්වතු පාර්ශ්වයේ මහනායක ධුරය දැරූ මොරතොට ධම්මඛන්ධ හිමි විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී උන් වහන්සේ ඒ පිළිබඳව දන්වා පහතරට ප්‍රධානීන්ට යැවූ ලිපිය මෙයට ඓතිහාසික සාක්ෂියක් වශයෙන් මේ වන විට ඉතිරි වී තිබේ.  
“...තමාලා ඉල්වූ ඉල්වීම ගැන අවසර දුනහොත් දෙවනුවත් මහවාසලට බොහොම වැඩරාජකාරී කරගෙන සිටින ලෝහකාර, ස්වනතීකාර ජාතිහුද, චඬාල ජාතිහුද පැවිදිවෙන්නට අවසර ඉල්ලූ කල අවසර දිය යුතු වෙයි.... මෙතුන් වශයෙන් පිටත අන් කිසි අඩුතරන් කෙනෙකුන්ට උපසම්පදාවීම තබා සාමණේර වෙන්නටවත් අවසර නැත...” 
යනුවෙන් එහි අන්තර්ගතය. මෙවන් සන්දර්භයක් තුළ ආගමෙන් සහ කුලයෙන් අසමානයෙකුට ආණ්ඩුකාරධුරයක් අහිමි කිරීම වඩාත් සුළු කාරණයක් වන බව ඉතිහාසය සාක්ෂි දරයි.  
 ලංකාවේ සිටි එක් නායකයෙකු දිව්රුම් දෙන දා ‘ඉස්තිරික්කේ පත්තිරිප්පුවේ’ යනුවෙන් පත්‍රිකා ඇලවුණේය. පසුව එම නායකයා අතින් මහනුවර බහිරව කන්දේ විවෘත කරන ලද විහාරයේ වැඩසිටින හිඳි පිළිම වහන්සේ මෙම කුල ගර්හාවේ වින්දිතයෙකු බවට පත්වෙමින් දැනටත් මල්වතු අස්ගිරි උභය විහාර දෙස උපේක්ෂාවම වඩමින් අනිමිසලෝචනයක යෙදෙමින් සිටින මොහොතක තවමත් පහත රටින් පූජා කළ කිරි අහාර එකී උභය විහාරවල කාණුවල ගලා යමින් ඇත...  
ඉපදීමෙන් කෙනෙකු වසලයෙකු හෝ බමුණෙකු වන්නේ නැත යන්න ඉගැන්වෙන දහමක කුලය මෙතරම් අධිනිශ්චිත සාධකයක් වූයේ ඇයි? මෙයට හේතුව එම දහම මෙන්ම කුල ව්‍යුහයද ඓතිහාසික නිර්මිතයන් වීම විය හැකිය. වර්තමාන කුල ව්‍යුහය යටත්විජිත සමාජය තුළ අධිනිශ්චය වූවකි. යටත් විජිතවාදීන් විසින් පුර්ව යටත්විජිත යුගය තුළ පැවති සමාජ ව්‍යුහය සහ කුලය මත පදනම් වූ වෘත්තීන් ඇතුළත් සමාජය මත නූතන ධනවාදය වෙත නැඹරු වූ ආර්ථික කටයුතු ඇතුළත් වාණිජවාදය ආරෝපණය කළ අතර එමඟින් පෙර කුල හීනයන් සේ සලකන ලද බොහෝ දෙනෙක් ධනේශ්වරය වෙත පියනැඟූහ.   
එහෙත් පරිපාලනමය කාර්යයන්වලදී විජිතවාදීන් විසින් ප්‍රයෝජනයට ගැනුණේ කුලය මත පදනම් පැරණි සමාජ ව්‍යුහමය. එහෙයින් යටත්විජිතවාදී ව්‍යාපෘතියක් තුළදී පවා නව බහුත්වවාදී සමාජයක් බිහි වීම වෙනුවට පැරණි සමාජ ව්‍යුහයම අධිනිශ්චය වූ පරිපාලන ධූරාවලිගත වීමක් සිදු විය. ආර්ථිකය නිදහස මඟින් ඔවුන්ට සමාජයේ එතෙක් නොවිඳි වරප්‍රසාද අත්විඳීමට හැකියාව ලැබුණත් පරිපාලනමය කාරණා තුළදී ඔවුහු නිතැතින්ම නැවතත් පැරණි පීඩිතයින්ම වූහ. එහෙයින් බොහෝ දෙනෙක් මිෂනාරී අධ්‍යපානය සහ කිතු දහම වැලඳගැනීම නිසා එකී අඩුපාඩුකම් පිරිමසා ගත් අතර පෙරළා විජිතවාදීන් විසින්ද තම අවශ්‍යතා පිරිමසා ගැනීමට මෙම වරප්‍රසාද දිනාගත් පංතිය භාවිතයට ගනු ලැබිණි.  
අමරපුර නිකායේ මහනායක හිමි නමක වන කපුගම ධම්මක්ඛන්ද හිමියෝ පසුව උපවැදිව ජෝර්ජ් නදෝරිස් ද සිල්වා සමරනායක වශයෙන් කොළඹ කොටුවේ බෞතීස්ම ලැබුවෝය. පසුව මහබද්දේ මොහොට්ටිමුදලි තනතුරු ලබමින් සත්කොරලයේ සේවයේ යෙදෙමින් මේජර් හුක්ට 1818 කැරැල්ලට සම්බන්ධ කැරලිකරුවන් අල්ලා ගැනීමට උදව් උපකාර කරන්නේද මේ නදෝරිස් සිලිවාමය. මෙය කුලහීන මනෝභාවයන් විජිත පාලකයන් විසින් තම වාසියට පෙරළා ගැනීම පිළිබඳ ප්‍රබල උදාහරණයක් වනවා සේම කුලීනයන් යැයි පිළිගැනෙන අය විසින්ද කරන ලද මෙවැනි ක්‍රියා එමඟින් නිෂේධනය නොවෙයි.  
 මෙකී තත්ත්වය අතීතයෙන් පැමිණ නූතනය තුළ ශේෂ වී ඇති බව වත්මන් රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ විධායක ශ්‍රේණියේ තනතුරු බෙදීයාමේදීද දැකගත හැකි කරුණකි. මහා සමාජයෙන් යැපෙන චූල සංස්ථාවක් වන සංඝ සංස්ථාවටද එයින් වියුක්ත විය නොහැක්කා සේය. මෑතකදී වූ සිදු වීම ස්ථාන ගත කළ හැක්කේ එවැනි ඓතිහාසික සන්දර්භයක් මතය.  
කුලය මත පදනම් මෙවැනි විසංවාද අප විසින් තේරුම්ගත යුත්තේ ඒ ඒ සංදර්භයන්ට අයත් ක්ෂිතිජයන් සංකලනයකට පත් කර ගැනීමකිනි. එනම් යම් ඓතිහාසික නිර්මිතයක් සහ එය අර්ථ නිරූපණය කරන්නා අයත් ක්ෂිතිජයන් සංකලනය වීමෙන් එකී කතිකාව පිළිබඳ සංහිඳියාවකට පත් වීමයි. එනම් ඓතිහාසික සහ සංස්කෘතික සංදර්භයක් මත හැඩගැන්වුණ කුලය වැනි ඓතිහාසික නිර්මිතයක් විසින් නිර්මාණය කරන අගතීන් ඉතිහාසය සමස්තයක් වශයෙන් අවබෝධ කරගැනීමට අවශ්‍ය මූලයක් වනවා මෙන්ම මෙවැනි අගතීන් ගැන අගතියක් ඇති කර ගැනීම අනවශ්‍ය දෙයක් බව ගාර්ඩමර අනුව යමින් දැක්විය හැකිය.   

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?