අනේ අබිලින් දන්න පොලිටික්ස් සහ කම්කරුවෝ

 ඡායාරූපය:

අනේ අබිලින් දන්න පොලිටික්ස් සහ කම්කරුවෝ

අද මැයි පළවෙනිදාය. ඔව් ඔව් කම්කරු දිනේ යෙදිලා තියන අදටය. මෙවරත් පාට පාට කොඩි උස්සාගෙන දේශපාලන නියෝජිතෞත්තමයාණන් වහන්සේලාගේ කතා වලට හුරේ දමා අප්පොඩි ගසා ජාත්‍යන්තර කම්කරු දිනේ සැමරීමට අදහස් කරගෙන සිටියත් එය කල් දමා ඇති බව දැනගෙන කොහේ හෝ යාමට හිතා ගත්තෙමි. කෝච්චියේ නැගී ඇල්ලේ එන අතර, ගමේ කෝපි කඩේ සීයලා නං කිව්වේ කම්කරු දිනේ කල් දැම්මේ වෙසක් සතිය නිසා නොව වෙසක් සතියට බාර් වහනා නිසා බවයි. සුමිහිරි පානේ පදමට නොදී මැයි දිනේට පොර ටෝක් දීමට මහජනයා ගෙන්වා ගත නොහැකි වීම නිසා මැයි දිනේ කල් දමන්නට ඇතිය කියා කිව්වේ අබිලින් සීයාය. එහෙම වෙන්නේ නොදියුණු රටවල් වල වන අතර අපේ කම්කරුවෝ මැයි රැලිවලට යන්නේ කම්කරුවා කෙරෙහි උපන් ප්‍රේමයෙන් හා තමන්ගේ කම්කරු අයිතිවාසිකම් දිනාගැනීමේ අරමුණින් මිස වෙන මොකක් හෝ නිසා නොවේ යැ. අනේ අබිලින් දන්න පොලිටික්ස් සහ කම්කරුවො.
දැන් මේ  ලියන්නේ ඇල්ලේ සිටය. නෑ නෑ දිය ඇල්ලක නෙමෙයි. බණ්ඩාරවෙල බදුල්ල අතර ඇති ඇල්ල ගමේ සිටය. ආරුක්කු නමයේ පාලම, ඇල්ල කන්ද, ( ella rock ) රාවණා ඇල්ල, පුංචි සිරිපාදය වැනි සුවිශේෂී සංචාරක කලාප පිහිටා ඇත්තේ ඇල්ල හා එහි අවටය. සිග්නල් නැති නිසා ආණ්ඩුව ලබා දුන් ෆ්‍රී වයිෆයි අල්ලා ගැනීමට ඉනිමඟක් තබා ඉන්න තැන වහලෙට නැග්ගෙමි. 
ඇල්ලේ මේ දිනවල සූ ගා සෙනඟය. වෙසක් බැලීමට මෙන් සෙනඟ හිටියත් එයාලා ඇවිත් තියෙන්නේ වෙසක් බැලීමට නොව ඇල්ලේ සංචාරය කිරීමටය. ලංකාවේ අයියලා කොච්චර කතා කිව්වත් තාම ජීවත් වෙන්නේ සෞදියට අම්මලා අක්කලා වැඩකාරකමට යවාය. නංගිලාට කියා සොච්චම් පඩියට මැසිම පාගවා ඇඳුම් මහලා විකුණලාය. ඊළඟට සුද්දන්ට රට පෙන්නලාය. ඒක කරන්නෙත් අවුරුදු දෙදාහකට පෙර හිටිය මිනිස්සුන්ට පිං අයිති වෙන්නටය. නිකන් ලැබුණ පරිසරය පෙන්නලාය. නැත්තං ඒ ලැබෙන ඩොලර් ටිකත් නැත. එහෙමයි කියා ලංකාවට විදේස විනිමය ගෙනෙනා ප්‍රධානතම ක්‍රමයක් වූ සංචාරක කර්මාන්තය ගොඩගෙන කීයක් හෝ හොයා ගැනීමට උවමනාවක් තියනවා කියා පෙනෙන්නේ නැත.
පහුගිය දවසක රැසේ මිරිස්ස ගැන ලිව්වා වගේම ඇල්ටත් දැන් ඒ ආනිසංසයම උදාවෙමින් ඇත. ඇල්ල දුම්රිය ස්ථානයේ කාන්තා වැසිකිළියේ වතුර නැතිය කියා කාන්තාවන් බැන බැන යයි. දිනකට සිය ගණනක් විදෙස් සංචාරකයන් එන ඇල්ල ඉස්ටේසමේ වතුර ඉවත් කලේ සුද්දන් ශරීර කෘත්‍යයෙන් පසු වතුර බාවිත කරන්නේ නැතිය කියා කියන නිසාද කියා දන්නේ නැත. කෙසේ හෝ වතුර නැත.
එතනින් එළියට බහිද්දි ඉන්නේ මාලෙ ගෙලේ චේ පපුවේ කොටාගත්, කිසිම දෙයක් නෑ ඔලුවේ බොබ් මාලෙලාය. සුදු හමක් දැක්ක ගමන් නිල මැස්සන් මෙන් කීයක් හෝ කඩා ගැනීමට වටේ කැරකෙයි. ඒ එන සංචාරකයන්ට තමන්ගේ පාඩුවේ සංචාරය කිරීම කෙසේ වෙතත් පොටෝවක් ගැනිමටවත් නිදහසක් නැත. සමහර රස්තපාරියෝන් ගයිඩ්ස්ලා ත්‍රීවීල් එකක සංචාරකයන්ගේ වටේ කැරකෙමින් යාමට කතා කරති. ඒ සංචාරකයා කාන්තාවක් නං තත්වය තවත් දරුණුය. විදේස සංචාරයන්ට තබා දේශීය සංචාරකයන්ට පවා තමන්ගෙ පාඩුවේ සංචාරය කිරීමට ඔවුන්ගෙන් බේරිල්ලක් ලැබෙන්නේම නැත.  ත්‍රී රෝද රථ වල මීටර් නැත. හිතෙන ඕනම ගානක් ඉල්ලයි. කෑම කඩේ ද හමේ පාට අනුව ගාන වෙනස් වෙයි. 
ලංකාව කාර් හදන්නේ නැත. තෙල් නැත. රත්තරන් නැත. ලංකාව දැන් පෙරදිග ධාන්‍යාගාරය වී පිටරටට සම්බා යවනවා තියා වවාගත්ත ටික විකුණාගැනීමටවත් බැරිය. ඉතින් ලෝකෙට ණය වෙලා හිඟා කකා දෙයියනේ කියා රට කරවගෙන යන්නේ අර පිටරටවල් වල  කඹුරන මිනිස්සු, සුද්දා වවපු තේ, මැසින් පාගන දාඩිය හා සංචාරක කර්මාන්තය නිසාය. දෙයියනේ කියා එන සංචාරකයෙක්ට තමන්ගේ පාඩුවේ තමන් ආ අරමුණ ඉෂ්ට කරගෙන යාමට බැරි නං ඔවුන් මෙහේ සංචාරය කර ඇති ඵලයක් නැත. කලින් ආකාරයේ වද වින්ද පසු ආයෙ එන්නේවත් කාටවත් එන්න දෙන්නේද නැත. ආසියාවේ සිංගප්පූරුව තායිලන්තය මැලේසියාව මාලදිවයින වැනි සංචාරක කලාප තියාගෙන එක එක මෝඩයන්ගෙන් බයිට් වීමට ඒ මිනිස්සු ආයෙ මෙහෙ එයි කියා හිතන් ඉන්නා අයට බෙහෙත් අරන් දිය යුතුය. සංචාරකයන්ට පහසුකම් දීම ගැන කතා කර වැඩක් නැත. අඩු තරමේ තියන පහසුකම් ටිකවත් කරදරයක් නැතුව භුක්ති විඳීමට ඉඩ හදා දෙනවානං එයවත් ලොකු දෙයකි.

 

 

මාතෘකා