සුභරතාව සහ ආදි මානව පැවැත්ම’

 ඡායාරූපය:

සුභරතාව සහ ආදි මානව පැවැත්ම’

පාරිභෝගික වෙළඳ භාණ්ඩ කෙරෙහි ඇති වන සංවින්දක අභිරුචිය ඇදහීමක් දක්වා වර්ධනය වීම වෙළඳ භාණ්ඩ අර්චනකාමීත්වය යනුවෙන් හැඳින්වෙයි. පාරිභෝගික භාණ්ඩ, සංවේදන අභිරුචියක් සහිත භාවිතා කරන්නාගේ (වන්දනාමානා කරන්නාගේ) අසංතෘප්ත ආශාව තවදුරටත් පූරණය කිරීමට අපොහොසත් වන විට භාවිතයෙන් ඉවත් වන අතර එවැනි හෝ එයට වඩා ගුණයක් දරන භාණ්ඩයක් එම ස්ථානය අත්පත් කර ගන්නා බව මාක්ස් විසින් පැහැදිලි කළේය. මෙය නොනවතින ක්‍රියාවලියකි.  
පසුම්බියෙහි මුදල් තිබුණද නොතිබුණද වෙළඳසැලකට ගොඩවැදීම, භාණ්ඩ අසුරා ඇති රාක්ක අල්ලා බලා සැනසීම හෝ අවසානයේදී මිලදී ගැනීමට අපෙක්ෂා නොකළ, එමෙන්ම කෙටිකාලීනව අවශ්‍ය නොවන කිසියම් බඩු මල්ලක් ගෙදර ගෙනයෑම එකී පරිභෝජනවාදී සින්ඩ්‍රෝමයෙහි උග්‍ර තත්ත්වයකි.  
සමෘද්ධිය කරා පියනඟන මාවත් දෙකක් ඇත. එකක් නම් බොහෝ දේ මිලදී ගැනීමෙන් හෝ නිපදවා ගැනීමෙන් උවමනාවන් පහසුවෙන් තෘප්ත කර ගැනීම හෝ වුවමනා හැකිතාක් අවම කර ගැනීම තුළින් තෘප්තියට පත් වීමයි. මානව ඉතිහාසයේ වැඩි කාලයක් අප පුරුදු පුහුණු වී ඇත්තේ වඩාත් තිරසර සහ ඵලදායි ආකෘතියක් වන දෙවැනි විධික්‍රමය අනුගමනය කිරීමටය. එය සමෘද්ධිය කරා සෙන් ධර්මය විසින් අනුදත් මාවතද වන්නේය .   
සෙන් ප්‍රවේශයකදී මානවයාගේ ද්‍රව්‍යාත්මක අවශ්‍යතා නිත්‍ය හා අවම වන බව දක්වයි. එමඟින් ලොව ඇති සම්පත් සියලු දෙනාටම ප්‍රමාණවත් බව යන ලෝක දෘෂ්ටිය අවධාරණය කරයි. එය මානවයන්ගේ වුවමනා අසංඛ්‍යෙය වන බවත්, සම්පත් ‘සීමිතතාව’ තුළ එකී වුවමනාවන් තෘප්ත කර ගැනීමට නිරන්තර තරගය අනිවාර්යය වන බවත් අවධාරණය කළ වෙළඳපොළ මූලික අර්ථ ක්‍රමයට පටහැනිය. මෙවන් තත්ත්වයක් තුළ සමාජයේ ජීවත් වන පුද්ගලයන් අතර පරතරය සහ විසමබව සමාජීයව සහ සංස්කෘතිකව වර්ධනය විය.   
‘සෙන්’ පිළිවෙත සැපිරීමෙන් අවම ජීවන මට්ටමක සිටින අයෙකුට පවා අතුල්‍ය ද්‍රව්‍යමය බහුත්වයක් වින්දනය කළ හැකිය. මෙය වඩාත් පෙනෙන්නේ අතීතය තුළ සහ වර්තමානයේදී අප්‍රිකාවේ හෝ ඔස්ට්‍රේලියාවේ වාසය කරන දඩකරු අන්න ගවේශී කණ්ඩයම්වල ජීවන පැවැත්මෙනි. ලොව පුරා ව්‍යාප්ත අන් සෑම සමාජයකටම වඩා ජීවත් වීම සඳහා වැය කළ යුතු අවම ඒක පුද්ගල ශක්ති ප්‍රමාණය වැය කරන්නේ එබඳු සමාජවල සිටින සමාජිකයින් විසිනි. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ වුවමනාවන් හැකිතාක් අවම කිරීමෙනි. එය පසු කාලයක දී බෞද්ධ දර්ශනය විසින් අනුදත් ජීවන පැවැත්ම ඊටත් වසර ලක්ෂ ගණනකට එපිටින් සිටම මානවයා විසින් ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළ ජීවන පැවැත්මක් බව පැහැදිලි කරන ආනුභවික සත්‍යයකි.  
දඩයමක් වැරදීම හෝ නැවත දඩයමක් ලැබේද යන්න පිළිබඳ කාංසාවකින් තොරව සහ අනාගතය පිළිබඳ චකිතයකින් තොරව ජීවත් වීමේ ලාලසාව ඔවුන් විසින් වැඩුවේ ස්වභාවධර්මය හා වඩාත් සංවේදීවීම මඟින් උගත් සංයමය නිසා බව මානව පරිණාමීය ඉතිහාසය අධ්‍යනය කිරීමේදී අවබෝධ වෙයි. ම්ලේච්ඡයෙකු වශයෙන් හැඳින්වූයේ නමුත්, කුසගින්න නිවා ගැනීම සඳහා කුඩා සතෙකු දඩයම් කරගන්නා ආදිවාසියෙකුත්, මැක්ඩොනලඩ් අවන්හලක ජාගර සිතින් මස් ගිලදමන ඇමරිකානුවෙකුත් අතර වෙනස තේරැම් ගැනීමට සියැටලියානු විදර්ශනයක් අවශ්‍ය නොවනු ඇත. ඒ අනුව කුසගින්න සඳහා තිරිසන් සතෙකු දඩයම් කරගැනීමට කැලේ කොලේ ඉව අල්ලමින් ගිය ආදී මානවයා එවන් තිරිසන් සතෙකුට වඩා වැඩි යමක් නොවූ බවට වන ඊනියා ශිෂ්ට සමාජයේ අවධාරණය ව්‍යාජයක් බව අවබෝධ කරගත යුතුය. සැබවින්ම දඩයම හිඟ කාලවලදී පවා ඔහුගේ දඩයම් චාරය තුළ පැවති සංයමය සහ විධිමත් බව ඒ හා අනුයාත පුරාවිද්‍යාත්මක සාධක වලින් ප්‍රත්‍යක්ෂ වෙයි.   
සෙන් පිළිවෙත වන්නේ අප ආශා කරන දෙය වඩ වඩා ලබාගැනීම නොව, අපට ලැබෙන දෙයට ආශා කිරීමයි. සැබවින්ම අන් අයට තිබෙන නිසා හෝ ඔබට අනිවාර්යයෙන්ම තිබිය යුතු සිතමින් පාරිභෝජනවාදයේ වහලෙකු වනවාට වඩා, ඉණ වටා දැවටූ සමින් නිම කළ අමුඩයත්, අතෙහි දරන දුන්න සහ හී කිහිපයත් හැරෙන්නට අන් කිසිම භෞතික වත්කමක් නොමැති සහ එක් මිනිත්තුවකදී ඒ සියල්ල එකට එකතුකරගෙන කිලෝමීටර් දහස් ගණනක් වුවත් යා හැකි ආදි වාසියෙකුගේ ජීවිතය හා අනන්‍ය වීම සැපතකි.

 

[දිනේෂ් දේවගේ]