වකුගඩු රෝගයට පිළියම කුමක්ද?

 ඡායාරූපය:

වකුගඩු රෝගයට පිළියම කුමක්ද?

ලෝක වකුගඩු දිනය පසුගිය (8) වැනිදාට යෙදී තිබිණ. ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකම මාර්තු මස දෙවැනි බ්‍රහස්පතින්දාව වකුගඩු දිනය වශයෙන් නම් කොට ඇත. මෙවර එම දිනය යෙදුනේ 13 වැනි වරටය. මෙවර වකුගඩු දිනයේ තේමාව වූයේ කාන්තාව සහ වකුගඩු යන්නයි. එදිනටම ලෝක කාන්තා දිනය ද යෙදීම හේතුවෙන් මෙම හඳුන්වාදීම වඩා වැඩියෙන් ලෝක ජනතාවගේ අවධායට ලක් වනු ඇත.
ලෝකයේ වැඩිම වකුගඩු රෝගීන් වාර්තාවන්නේ ඇමෙරිකාවෙනි. එම ප්‍රතිශතය 14.6 % කි. මධ්‍යම ඇමෙරිකානු රටවල මෙම රෝගී තත්ත්වය වාර්තාවන්නේ ඊට අඩුවෙනි. එතැනින් ශ්‍රී ලංකාව දෙසට හැරී බැලුවහොත් කියන්නට තිබෙනා දෙය බොහෝ වේ. ඉන් ප්‍රමුඛ කරුණක් වන්නේ ශ්‍රී ලාංකිකයන් වකුගඩු සම්බන්ධයෙන් අඩු අවදානයක් දක්වන බව හෙළි වීමය. එය එසේ වන්නේ රටේ වියළි කලාපය අවට කලෙක සිටම පැතිරයන වකුගඩු රෝගය හැර වෙනත් වකුගඩු රෝග නැතිය යනුවෙන් ඇතිකරගත් වැරදි වැටහීමය. එහෙත් සැබෑව එය නොවේ. විවිධ විෂබීජ ආසාදන, මුත්‍රා රෝග ආදිය හේතුවෙන් ද වකුගඩු රෝගී වන්නට පුළුවන. එහෙත් එය දීර්ඝ කාලීන වකුගඩු රෝග මෙන් නොවේ. ඒවා කෙටිකාලීනය. ප්‍රතිකාර මගින් ඉක්මන් සුවය ලැබිය හැකිය.
එහෙත් දියවැඩියාව සහ අධික රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන වකුගඩු රෝගය එසේ නොවේ. වෛද්‍යවරු අවධාරණය කරන්නේ වියළි කලාපයෙන් ඇසෙන වකුගඩු රෝගයේ උස් හඬ නිසා දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග මුල් කරගෙන ඇතිවන වකුගඩු රෝගය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන බවකි.
මේ බව කැපී පෙනෙන්නේ බස්නාහිර පළාතෙන් පමණක් වාර්ෂිකව  5000 ක් පමණ අලුතින් වකුගඩු රෝගීන් හඳුනා ගන්නා බවට ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ ඇතුළු වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් පිරිස් ‍හෙළිකරන කරුණු අනුවය.
එතැනින් නතර නොවන මේ රෝග අවදානම අප ළඟ ළඟම කැරකැවෙන්නේ අපේම වැරදි ආහාර රටාව සහ අඩු ව්‍යායාම් ඇතිබව නිසා ය. එය වියළි කලාපයේ තත්ත්වයට වඩා භයානක බව කවුරුත් සිහි තබා ගත යුතු බව වෛද්‍ය උපදේශයයි. මෙම රෝග තත්ත්වයෙන් පෙළන වැඩි දෙනකු අතර ප්‍රචලිත වෙනත් ජීවත්ව සිටින නිරෝගී පුද්ගලයකුගෙන් ලබා ගන්නා වකුගඩුවක් රෝගය උත්සන්න වූ පුද්ගලයාට බද්ධ කිරීමය. එසේම රුධිරය පිරිසුදු කර ගැනීම හෙවත් ඩයලයිසීස් කිරීම ශ්‍රී ලංකාවේ 80% - 90% තරම් ඉහළ අගයක පවතී. එහෙත් ලෝකයේ බොහෝ දියුණු රටවල එසේ නොවේ. එම රටවල බොහෝ දුරට රෝගය උත්සන්න වීමෙන් වකුගඩු බද්ධ කළ යුතු තත්ත්වයේ සිටින රෝගින්ට බද්ධ කරනු ලබන්නේ මොළය මිය ගිය රෝගීන්ගෙන් ලබා ගන්නා වකුගඩුය. සැබැවින්ම එවැනි එක් පුද්ගලයකුගෙන් ලබා ගන්නා අවයව තවත් රෝගී පුද්ගලයන් තිදෙනකුට පමණ බද්ධ කළ හැකි ය.
වඩාත් සාර්ථක මෙම ක්‍රමය ශ්‍රී ලංකාවේ ද නැත්තේම නොවේ. එහෙත් ඒ සම්බන්ධයෙන් පවතින බාධා ද නැත්තේම නැත. එහිලා ප්‍රධාන කරුණක් වන්නේ මොළය මියයාමට ලක්වූ තැනැත්තා එම තත්ත්වයට පත්වීම රෝහලක දැඩි සත්කාර ඒකකයකදීම සිදුවිය යුතුව තිබීමය. එවිට අඛණ්ඩව ඔක්සිජන්, සේලයින් ආදිය සැපයීම මත වකුගඩු ද හෝරා ගණනක් නොමැරී පවතී. එය එසේ පවතින විට ද පැය හයක් තරම් කෙටිකාලයකදී මෙම අවයව ලබාගත යුතු වෙයි. එය ද නිකම්ම කළ හැකි නොවේ. ඊට නීතිමය වශයෙන් බලපාන කරුණු වෙයි. මියගිය පුද්ගලයාගේ ළඟම නෑයකුගේ අවසරය ඊට අත්‍යවශ්‍යය. නමුත් ලංකාව මුහුණ දෙන ගැටලුව වන්නේ එම කෙටි කාල සීමාව තුළ මියගිය තැනැත්තාගේ නෑයන් අදාළ රෝහලට කැඳවා ගැනීමය. මේ අභියෝග ජයගත හැකිනම් අදට වඩා දියුණු තත්ත්වයට වකුගඩු බද්ධ කිරීම ගෙනගිය හැකි බව වෛද්‍යවරු අවධාරණය කර සිටී. එසේ මියගිය 1500 -2000 අතර ප්‍රමාණයකගේ වකුගඩු ඇතුළු කොටස් ප්‍රයෝජනයට නොගෙනම එම සිරුරු මිහිදන් කිරීමට සිදුව ඇත්තේ කලින් සඳහන් ගැටලු නිසාය.

 

[නුවන් ජයවික්‍රම]

මාතෘකා