සයිටම් අර්බුදයේ අතුරු කතාවක්?

 ඡායාරූපය:

සයිටම් අර්බුදයේ අතුරු කතාවක්?

සයිටම් අර්බුදය නිසා වසර දෙකක් රජයේ වෛද්‍ය පීඨ අකර්මණ්‍ය වී තිබුණි. එමෙන්ම සිසුන් සහ දෙමාපියන් මහපාරේ කඳුළු ගෑස් කමින් විරෝධතාවල නිරත වන විට වගකිවයුත්තන් නැසූ කන්ව බලා සිටිනුද දැකගත හැකිවිය. අවසානයේ සයිටම් අහෝසි කිරීමටත් සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමටත් රජය තීරණය කිරීම සමඟ සයිටම් අර්බුදය විසඳෙන ලකුණු පහළ විය. ඒ බැව් බොහෝ දෙනා දන්නා බැවින් අද ඔබේ අවධානය යොමු කරන්නේ ඒ ගැන නොව, විසඳෙන බව පෙනුණත් තවමත් විසඳී නොමැති සයිටම් අර්බුදයේ වර්තමානය ගැනය.   
පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ සයිටම් ආයතනය ආරම්භ කරන්නෙම වැරදි පූර්වාදර්ශ රැසක් සමඟිනි. නියමිත පරිදි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට අවශ්‍ය නෛතික පසුබිම නොමැතිව  විවිධ පාර්ශ්වයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර මත මේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම එකකි. අනෙක වෛද්‍ය විද්‍යාලයක් සඳහා අවශ්‍ය අවම ප්‍රමිතිය පවත්වාගෙන යාමට මෙම ආයතනය අපොහොසත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසද්දී එය නොතකා ක්‍රියා කිරීමයි. විවිධ හිතවත්කම් මත, මුදල් බලය මත සහ දේශපාලන වුවමනා මත සුදුසුකම් නොමැති පිරිස් මෙම වෛද්‍ය විද්‍යාලය යයි කියාගන්නා ආයතනයට ඇතුළත් වීම පිළිබඳ රට තුළ නැගෙන විරෝධය නොතකා රජය ක්‍රියා කරයි. සියල්ල අවසානයේ ජනතා විරෝධයට හිස නැමීමට රජයට සිදු වුණි. සයිටම් අහෝසි කිරීමට රජයට සිදුවුණි. එය  ලෝකයට පෙන්වපු චිත්‍රයයි.  ඇත්තටම ඒක එහෙමද? එය තව ගේම් එකක්ද?   
සයිටම් අහෝසි කර එහි ළමයි කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරන්නැයි ජනාධිපති ලබා දීපු තීන්දුවත් එක්තරා කණ්ඩායමක වුවමනාවට තවම ක්‍රියාත්මක නොවේ. ඒ සමඟ රජයට පවරා ගත්තා යැයි කියමින් රටට පෙන්වූ නෙවිල් ප්‍රනාන්දු රෝහල විකිණීම සඳහා අද වන විට පුවත්පත් දැන්වීම් පළවේ. ඇත්තටම සිදුවන්නේ කුමක්ද ?
මේ මට දුරකථනයෙන් කතා කළ සයිටම්  දරුවෙකුගේ පියෙකු කියූ කියපු කතාවකි.
‘පුතා අද උදේ 10.30 ට මම ජනාධිපති කාර්යාලය ඉස්සරහ මාරාන්තික උපවාසයකට වාඩිවෙනවා’  
‘මොකක්??? ඒ ඇයි අංකල් දැන් ප්‍රශ්නේ ඉවරයි නේද?’  
‘නෑ පුතා ඒ අයට රටේම ළමයි ගැන හැඟීමක් නැහැ. මම මගේ දුව සයිටම් එකට දැම්මේ මට එකම දරුවා රට යවන්න බැරි නිසා. නෝනට පරම්පරාවෙන් හම්බුණ ගේත් විකුණල තව ණයත් වෙලා. ළමයව ගන්න කලින් යූ.ජී.සී එකෙන් ඉන්ටර්වීව් කළා. ආණ්ඩුවෙන් ළඟදී ගැසට් කළානේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ අවම ලකුණු මට්ටම සී දෙකයි එස් එකයි කියලා. මගේ දුවට ඊට වඩා ප්‍රතිඵල තියෙනවා. මුලදීම අපිට තේරුණා සයිටම් එක අපිට කළේ බොරුව කියලා. ඒ අයට අවශ්‍ය නිසි ප්‍රමිතිය තිබුණේ නැහැ. ඒත් ඒ ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි දෙකේම පිහිටෙන් ඒවා වහගෙන හම්බ කරගන්න තමයි උත්සහ කළේ.  GMOA එකයි ආණ්ඩුවේ මෙඩිකල් දරුවොයි, දෙමව්පියෝයි කෑගහපු නිසා අන්තිමට මේ බොරුව එළිවුණා. ඒක නිසා මේ සයිටම් එක අහෝසි කරලා අපේ ළමයි ටික කොතලාවල එකට දාන්න වුණා.’   
‘ඉතින් එහෙනම් දැන් ප්‍රශ්නයක් නැහැනේ අංකල්’  
‘නැත්තේ මොකද පුතා. ජනාධිපතිතුමා පැහැදිලිව කිවුවා කොතලාවල එකේ බඳවාගැනීමේ නිර්දේශ සපුරා තියෙන සයිටම් ළමයි සියල්ලන්ම ඒකට ඇතුළත් කරන්න කියලා. ඒ දීපු තීන්දුවවත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද මේ ළමයි අතර හිතවත්කම්වලට දාගත්තු සුදුසුකම් නැති ළමයි ඉන්නවා. ඒ අයට කොතලාවල එකට යන්න බැරි නිසා. ඒ අතරේ නෙවිල් ප්‍රනාන්දු ආයෙත් අපිට තුන්වෙනි අවුරුද්දේ මුදල් වාරිකය ගෙවන්න කියලා ලියුම් එවලා තියෙනවා. අහෝසි කරපු ආයතනයකට අපි ආයෙත් මුදල් ගෙවන්නේ ඇයි? අනික බලන්න මේ මිනිස්සු ජනාධිපතිතුමා රටයි රවට්ටන හැටි. අර නෙවිල් ප්‍රනාන්දු ඉස්පිරිතාලේ ආණ්ඩුවට දුන්නා කියලා රජයේ මුදල්වලින් උත්සවයක් ගත්තා. ආණ්ඩුවේ සල්ලි ඉස්පිරිතාලේ නඩත්තුවට වෙන්කළා. අන්තිමේ එහෙම පැවරීමක් කරලා නැහැ. දැන් ඒක විකුණන්න නෙවිල් පත්තරේ දැන්වීම් දානවා. මුලදී ආණ්ඩුවේ කැම්පස් ළමයි මේකට උද්ඝෝෂණය කරන කොට අපි හිතුවේ ඒ අපේ හතුරෝ කියලා. ඒත් දැන් දන්නවා අපි දෙගොල්ලොම එකම පන්තියේ, එකම බෝට්ටුවේ කියලා. මේ රටේ නීති ඔක්කොම වලංගු අපිට විතර ද? බලය තියෙන අයටයි ඒ අයගේ හෙංචයියන්ටයි ඕන විදිහට අපි ඉන්න ඕනද?’  
ඇත්තටම බලය ඇති නැති අයට නීති දෙකක් තියෙනවද? එහෙම බැලූ බැල්මට නැතත් ක්‍රියාත්මක භවයේදී අත් දකින්න වෙන්නේ ඒකනම් අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ නැතිද?