අපේ ප්‍රශ්න ජයගැනීමට නම් අපි අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතුයි

 ඡායාරූපය:

අපේ ප්‍රශ්න ජයගැනීමට නම් අපි අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතුයි

දේශපාලන කරළියේ සිදුවන දේට වඩා රටේ සංවර්ධනය, ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාමටත්, එ් ඒ විෂය ක්ෂේත්‍ර තුළ තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් ඉහළම කැපවීමකින් ඉටු කිරීමටත් රාජ්‍ය සේවයේ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.   
පසුගියදා (26) නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව අමතමින් මේ අදහස් පළ කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.   
“ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික සමුළුවට සහභාගි වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ඔබ සංගමය රටේ පොදු ජනතාව වෙනුවෙන් කරන්නාවූ උතුම් මෙහෙවර සාර්ථක කිරීමට ඔබ සියලු දෙනාට ධෛර්යය, ශක්තිය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.  
“ඉන්දියාවේ පැවැති සමුළුවට රාජ්‍ය නායකයින් 47 දෙනෙකු පැමිණ සිටියා. එම රාජ්‍ය නායකයින් බොහෝ දෙනෙකු සමඟ කතාබහ කරන විට මම අපේ රටේ තිඛෙන ප්‍රශ්න සහ ඒ රටවල්වල තිඛෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. එහිදී මම රටවල් කිහිපයකින්ම ඇසුවා, එම රටවල්වල නිදහස් අධ්‍යාපනය පිළිබඳව ඇති ප්‍රතිපත්ති ගැන. ඒ එක රටක්වත් ලංකාව වගේ නිදහස් අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නෑ.   
“බොහෝ රටවල් සඳහන් කළේ නිදහස් අධ්‍යාපනය ඔවුන් සීමා කර තිඛෙන්නේ වයස් සීමාව අනුවයි කියල. සමහර රටවල්වල වයස අවුරුදු හතර වන තෙක් නිදහස් අධ්‍යාපනය තියෙනවා. තවත් සමහර රටවල්වල වයස අවුරුදු අට වන තෙක් නිදහස් අධ්‍යාපනය තියෙනවා. සමහර රටවල්වල වයස අවුරුදු පහළොව වන තෙක් එම අධ්‍යාපනය තියෙනවා. එම සමුළුවේ තොරතුරුත්, ඉන් බාහිරව මා දන්නා තොරතුරුත් අනුව ලෝකයේ රටවල් දෙසියකට ආසන්න සංඛ්‍යාවෙන් අපි වගේ පළමු ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වන තෙක් නිදහස් අධ්‍යාපනය ලබාදෙන රටවල් තියෙන්නෙ සියයට විසිපහක් විතර.   
“අයවැය පරතරය වාර්ෂිකව අමාත්‍යංශවලට වෙන් කරන මුදල් වැඩි කර ගැනීම්, වෙනත් විවිධ අංශ සඳහා වාර්ෂිකව දෙන පහසුකම් හා සියලු දේ සමග අපි සිතිය යුතු වෙනවා අපිට තිඛෙන අභියෝග මොනවාද කියා. ඉන් මා අදහස් කරන්නේ නිදහස් අධ්‍යාපනය සඳහා වැට බැඳීමක් හෝ එම වරප්‍රසාදය දරුවන්ට අහිමි කිරීමක් නොවේ. නමුත් වෙනත් ක්ෂේත්‍ර සඳහා අප කරන වියදම් තත්ත්වයන් අප කවුරුත් හඳුනනවා වගේම අප විසින් ඒවා සැලකිල්ලට ගෙන සාමූහික ප්‍රයත්නයක් තුළ එම අභියෝගයන්ට මුහුණ දිය යුතු වෙනවා.   
“ලෝකයේ ආර්ථීක ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සමාජයීය ප්‍රශ්න නැති රටක් තිඛෙනවා නම් එය අප සොයා ගත යුතුයි. සෑම රටකම ඒ කරුණු තුනම බරපතළ අර්බුද වී තිඛෙනවා. ඇතැම් විට ආර්ථීක ප්‍රශ්න. ඇතැම් විට දේශපාලන ප්‍රශ්න. ඇතැම් විට සමාජ ප්‍රශ්න. පසුගිය දවස් කිහිපය තුළ ඇමෙරිකාවේ දහස් ගණන්, ලක්ෂ ගණන් දරුවොත් සමඟ එළියට බැස තුවක්කුවට විරුද්ධව පෙළපාලි යනවා. ඇමෙරිකාවේ නගරයකට, පාසලකට, ගමකට ගොස් කවුරුන් හෝ පුද්ගලයෙක් වෙඩි තබා විශාල ඝාතනයක් සිදු කරනවා. පාසල් දරුවන්ට තමයි බරපතළ ලෙස මෙය සිදුවී තිඛෙන්නේ. දීර්ඝ කාලයක් මෙවැනි දේ ඇමෙරිකාවේ සිදු වන විට ඇයි තුවක්කුව තහනම් කරන්න බැරි කියල හිතෙනවා. අපේ රටේ කඩයට ගිහින් අපි සබන් කෑල්ලක් ගන්නවා වගේ ඇමෙරිකාවේ සාප්පුවකට ගියාම තුවක්කුවක් ගන්න පුළුවන්. එයයි තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් දී තිඛෙන නිදහස.   
“ජපානයේදී ශ්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේදී එහි පැවැත්වූ දේශනයේදී දේශක මහත්මයා සඳහන් කළා. ජනාධිපතිතුමා, ශ්‍රී ලංකාවේ සහ ජපානයේ තිෙබන ප්‍රශ්න එකට ගෙන කතා කළ විට ජපානයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අමුතුම ප්‍රශ්න කියා. එතුමා කිව්වා ජපන් රජය විශේෂ සමුළුවක් පවත්වනවා ජපානය මුහුණ දෙන ප්‍රබල ප්‍රශ්නයක් පිළිබඳව කියල. කුමක්ද ඒ ප්‍රශ්නය. ජපානයේ ජනතාව වැඩිපුර වැඩ කරලා වෙහෙස වෙලා අසනීප වෙනවා වගේම බොහෝම සරලව කිව්වා වැඩිපුර වැඩ කරලා මැරෙනවා කියල. මැරෙන්න හේතුව වැඩිපුර වැඩ කිරීම කියල කිව්වා. ජපානය ආයු කාලය ඉතාම ඉහළ මට්ටමක තිඛෙන රටක්. අවුරුදු 84ක්, 86ක් වගේ. මම පුවත්පතකත් දැක්කා ජපානයේ පරිගණකය භාවිත කිරීම සහ වැඩිපුර ඊට අවධානය යොමු කිරීම නිසා බරපතළ ලෙස අසනීප වන තත්ත්වයක් සමඟ රටේ ඇතිවී තිඛෙන අභියෝගය.   
“මේ තිඛෙන ගැටලු සහ ප්‍රශ්න අපට පමණක් සීමා වූ ප්‍රශ්න නොවේ. එම ප්‍රශ්න ජයගැනීමට නම් සැබෑ ලෙසම අප අපගේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු වෙනවා. දේශපාලන ලෝකයේ තිෙබන දේශපාලන නාට්‍ය, දේශපාලන නාඩගම් රාජ්‍ය සේවයේ සිටින ඔබ වඩා අවධානය යොමු නොකළ යුතු කරුණු බවයි මා විශ්වාස කරන්නේ.” 

මාතෘකා