නිදහස් කුසලානයෙන් උදහස් වූ බංගලි දේශය

 ඡායාරූපය:

නිදහස් කුසලානයෙන් උදහස් වූ බංගලි දේශය

නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර බංගලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම තව දුරටත් අලුත් මාතෘකාවක් නොවේ. ඒ ගැන ඕනෑවටත් වඩා විචාර, විවේචන, විශ්ලේෂණ පසුගිය දින කිහිපය පුරා අසන්නට, දකින්නට, කියවන්නට ලැබුණේ එහෙයිනි. මා ක්‍රිකට් විෂයෙහි හසල දැනුමැත්තෙකු නොවනවා මෙන්ම, උන්මාදනීය ක්‍රිකට් ෆෑන් කෙනෙකුද නොවේ. එබැවින් මේ සටහන ක්‍රිකට් ක්‍රීඩාව ගැන විචාරයක්, විවේචනයක් හෝ විශ්ලේෂණයක් නොවන බව කිව යුතුය. වසර ගණනාවක් රටින් පිටව ජීවත් වන බැවින්ද, රැකියාව ලෙස ජාතීන් පනහකට ආසන්න ප්‍රමාණයක් සමඟ ගණුදෙනු කරන හෙයින්ද, අනෙකුත් ජාතීන්ගෙන් බංගලි ජාතීය වෙනස් වන්නේ කොතැනදීද යන්න මට පෙනෙන මානයේ සිට ලිවීම වටින්නේ යැයි සිතුණි.
කවදා, කෙලෙස, කුමන හේතුවක් අරඹයා සිදුවූයේද යන්න නිශ්චිත නැතත්, මා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන විටත් බංගලිදේශ ජාතිකයින්ගේ නව රැකියා සඳහා වන වීසා නිකුතුව සම්පූර්ණයෙන්ම නවතා තිබුණි. එය අදටත් යථා තත්වයට පැමිණ නැත. සෞදි අරාබියේ සහ කටාරයේ තත්වය මෙබඳුම බව තතු දන්නෝ පවසති. මෙම හේතුව නිසා මෙරට වෙසෙන සෑම බංගලිදේශ ජාතිකයෙකුටම සිය රැකියාවේ සුරක්ෂිතභාවය ඉතා වැදගත්ය. කිසියම් හෙයකින් නිරතව සිටිනා රැකියාව අහිමි වුවහොත්, සිය රට බලා යනවා හැරෙන්නට අන් කිසිදු විකල්පයක් ඔවුන් සතු නොවේ. බංගලාදේශ ජාතිකයන් විෂයෙහි එමීර් රාජ්‍යය මෙවැනි පිළිවෙතක් අනුගමනය කිරීමට මුල් වූ හේතු පිළිබඳව නිල නොලත් කසු කුසු බොහෝ වෙතත්, ප්‍රසිද්ධ මාධ්‍යයක ඒවා සඳහන් කිරීමට මට නීතීමය හෝ සදාචාරාත්මක අයිතියක් නැත. බංගලිදේශ ජාතිකයින්ගේ නව වීසා නිකුතුව අත්හිටුවීම ගැන පවතින කසු කුසු වල නිදර්ශන සංක්ෂිප්තය ගත් විට, එය ඔවුන්ගේ  නීතියට පටහැනි හැසිරීම් යනුවෙන් වචනයක් සකසා ගත හැකිය.  බොහොමයක් බංගලිදේශ ජාතිකයන් මෙහි කම්කරු වෘත්තීයේ යෙදෙනු අපට දක්නට ලැබෙයි.  තරු පන්ති හෝටලයක සේවය කළත් ඔවුන්ට හිමිවන්නේ පිරිසිදු කිරීම්, එළිමහන ආශ්‍රිත ස්වාභාවයෙන් කටුක වූ රැකියාවන්‍ වීම කැපී පෙනේ. අතලොස්සක් දෙනා යම්කිසි සහනදායී මට්ටමේ රැකියාවන්හි නිරත වූවද, සේවා කාලය වසර දහය ඉක්මවූවන් පවා අනෙකුත් ජාතීන් හා සසඳා බලන විට ගෙවීම් ලෙස ඔවුන්ට ලබන්නේ ඉතා අවම වැටුපකි. කාරණය ඉතා පැහැදිලිය. නව වීසා නිකුත් නොකරන බැවින් ඔවුන් සිය සේවා ස්ථානය තුළම සිය ගිවිසුම අලුත් කරගත යුතුය. එහිදී කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ආයතන නීතී, රීතී වලට එකඟව එය සිදුකළ යුතුය. අවම වැටුපකට සිය ශ්‍රමය ආයතනයට ලබාදෙනවා හැරෙන්නට සිය අයිතීන් වෙනුවෙන් හඬක් නඟන්නට ඉඩක් ඔවුන්ට ඉතිරිව නැත.
බංගලිදේශ ජාතිකයන් හැසිරීමෙන් කලහකාරී සහ ස්වාභාවයෙන්ම අපිරිසිදු බවට පොදු මතයක් වෙයි. අන් ජාතියක එවැනි හැසිරීමක් දුටු විට බොහෝ අය ‘උඔ බංගලියෙක්දැයි’ අසන්නට නිරායාසයෙන් පෙළඹෙන්නේ ඒ නිසා විය යුතුය.  නිතර අරාබියේ ගිණි කූඨකයෙන් තැවෙන දැවෙන,  අඩි හයේ-හතරේ කාමරයක හතරපස් දෙනෙකු සමඟ ජීවත්වෙන, ඇඟ පත සෝදා ගැනීමට, ශරීර අවශ්‍යතාවකට පවා පෝලිමක සිටිය යුතු මිනිසෙකු වෙතින් දහඩිය දුඟදක් හැමීම ස්වාභාවිකය. සාහිත්‍යයේදී දහඩිය මුතු වූවද, සුවඳ වූවද හැබෑවේදී ඒවා ගඳ බව අපට පිළිගැනීමට සිදුවේ. විලවුන් කුප්පියකට වියදම් කරන මුදලත් වටිනා බංගලියන්ගේ පමණක් නොවේ, මිල අධික සුවඳ විලවුන් ගල්වන අයගේත් දහඩිය ගඳය. ඒ සියල්ලෝම අරාබියේ දහඩිය ‘මුතු’ කරන්නට නොව ‘ඩිරාම්’ කරන්නට පැමිණියෝ වෙති. කුමන හේතුවකටද නොදනිතත් මෙහි වෙසෙන්නන් දකිද්දී නිරන්තරයෙන් මගේ මතකයට නැඟෙන්නේ වැලිකඩ බන්ධනාගාර තාප්පයේ ලියා ඇති "සිරකරුවෝද මනුෂ්‍යයෝය" යන වැකියයි.
හැකිනම් සොයා බලන්න. ඉස්ලාමීය බැංකු වලින් ලබාගත් ණය නොගෙවා මෙරටින් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවේ මුල සිටින්නේ කවුරුන්ද යන වග..?  මෙරටෙහි දැඩි නීතී රීතී මාධ්‍යයේ කංසා, මත්කුඩු පෙති වැනි දේ භාවිතය සහ අලෙවිය නිසා සිරගත වී සිටින්නේ කවුද යන වග..?  එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය වසර තුළ නව රැකියා විසා අඩුම ප්‍රතිශතයක් ලබාදී ඇති රට කුමක්ද කියා..? බංගලාදේශ ජාතිකයෙකු සමඟ සබඳතාවක් ඇති අපේ නංගී කෙනෙකුට,අක්කා කෙනෙකුට, අම්මා කෙනෙකුට හිනා වී ලබන සතුටට වඩා සතුටක් ඉහත තොරතුරු සොයාගත් දාට ඔබට දැනෙන්නට ඉඩ තිබේ. කුණු තියන තැනටම කුණු දමද්දී අවසන කුණු ගොඩක් මිස එය කාගේ කුණුදැයි නොපෙනේ.  තැලෙන යකඩ වලටම උඩ පැන,පැන තලන ක්‍රමයෙන් අප මිදිය යුත්තේ එහෙයිනි.. තැලෙන පොඩිවෙන උන් නැගිටුවීම කෙසේ වෙතත් නොපාගා ඇවිදීමට හෝ අප උනන්දු විය යුත්තේ එහෙයිනි.
බංගලාදේශ ක්‍රීඩකයන් පිටියේ නයි නටවන්නට පටන් ගත්දා සිට අප සිටියේ ඔවුන්ට පෙනේ පුප්පාගත් ගමන්‍මය.  අප ඔවුන් අතින් පරාජය වූදා, කළහකාරී ලෙස හැසිරුණුදා අප හෙව්වේ ඔවුන්ට දෂ්ඨ කරන ක්‍රමයකි. රෝහිත් ෂර්මා සිංහලෙන් කතාකරද්දී අපට සතුටු හිතුණේ එහෙයිනි. ඔහු සිංහ කොඩිය රැගෙන පිටිය වටේ දුවද්දී, දෙවෙනි පරාජය දිනුමක් සේ අප භුක්ති වින්දේ එහෙයිනි. බංගලාදේශය  මහත්වරුන්ගේ ක්‍රීඩාව කනවා යැයි විලාප දුන් අපම, අපේ  ක්‍රීඩාවේ මහත්වරු ලෙස අපම හඳුන්වා දුන් මහේල  සහ සංගක්කාර විෂයෙහි පසුගිය කාලයේ හැසිරුණු ආකාරය පුදුමයට හේතුවකි. විරාට් කෝලීගේ විවාහයට ගයාන් සේනානායකට ඇරයුම් කලදා අපි අපේ ක්‍රිකට් කණ්ඩායමට ඔලොක්කුවට සිනාසුණු අයුරු පුදුමය. ටොකු ඇනීමේ ක්‍රම දෙකකි. එකක් මිට මොලවා ඇනීමය. එය බංගලාදේශය කළෝය. දෙවැන්න ඔලුව අතගා ඇනීමය. එය ඉන්දියාව කළෝය.  මේ ආතල් එක ගියදාක අපි සෙමෙන් අපේ හිස අත ගා ගනිමු.

මාතෘකා