වෙල් විදානේගේ කතා

වෙල් විදානේගේ කතා

 


කළුම කළු පාට බ්ලැක් මෝරිස්ල, කඩුවක් වගේ වරලක් තියෙන ස්වෝඩ් ටේල්ලා, ෆයිටර්ස්ල, වරල් පිරුණු ගෝල්ඩ් ෆිෂ්ල, පාට පාට  සාරි පොටවල්  තියෙන ගප්පි එක එක ප්‍රමාණයෙ ජෑම් බෝතල්, හෝර්ලික්ස් බෝතල්වල දාල කොට බිත්තිය දිගේ පෙළට තිබ්බ. තාත්ත ගම්පහ රාජකාරි කරපු හින්ද මේරිබිසෝ මාවතේ අපි හිටපු කුළිගෙදර අයිති සේරම් හාමිනේගෙ වත්තෙ මහපත ළිඳ ඉහින කොට එකේ ඉදල අල්ල ගත්තු නම නොදන්න මාළු පැටවුන්ට අපි  
‘ හාමිනේස්’  කියල නම් දැම්ම.
  මාළුන්ට දාපු නම අහපු හාමිනේ ඉතිරි වෙලා තිබුණු ඉස්සරහ දත් දෙකෙන් විරිත්තල හිනාවුණා මිසක් තරහක් ගත්තෙ නැහැ. මොකද වයසට ගියත් එයත් විහිළු තහළුවලට කැමැත්තක් තිබුණ හින්ද. එයාගෙ මුනුපුරු මිනිපිරියො රොත්තට වගේම කුලී ගෙදර හිටපු අපිටත් සැලකුවෙ එයාගෙම පවුලෙ අය විදිහටයි. සිංහල අවුරුද්දට චාරිත්‍ර වාරිත්‍ර වගේම වෙසක් එකට  කූඩු හදන්න කියල දුන්නෙත් එයාම තමයි.
ඇදිරි වැටෙද්දි මල් පහන් පූජා කරල ගාථා කියනව, ඊට පස්සෙ  එක එක වයස්වල පොඩි අය වටකරගෙන එයාගෙ රස කතා කියන්න ගන්නව. ඒවායින් මීට අවුරුදු හතළිස් ගාණකට එපිටදි ඇහුවත් තවමත් මතක් කරල රසවිඳින්න පුළුවන් වෙල් විදානෙගෙ කතා .
හාමිනේ පුංචි කාලේ ගමේ හිටියලු වෙල් විදානෙ කෙනෙක්. බොහොම ධනය තිබුණ වෙල් විදානෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ රට පචයෙක් නැත්නම් පම්පෝරිකාරයෙක් විදිහටලු. ඇදිරි වැටෙන කොට ගම්මුන්ව ගෙදරට ගෙන්න ගෙන බතින් බුලතින් සංග්‍රහ කරල එයාගෙ පම්පෝරි කියන්න ගන්නවලු. වෙල් විදානෙ හාන්සි පුටුවට බර වෙලා කතා කියද්දි බිම දිගට එළලා තියෙන පැදුරුවලට වෙලා  ගම්මුත්  බඩකට පුරවගෙන ‘හ්ම්‘ සද්දයක් නැතිව අහගෙන ඉන්නවලු . හූමිටි තියන්නත් වෙනම අය ඉන්නවලු. වෙල් විදානෙට තියෙන භය පක්ෂපාතකම හින්ද හරස් ප්‍රශ්න මොකුත්ම අහන්නෙත් නැතිලු. කොහොම හරි ඇදිරි වැටෙද්දි පටන්ගන්න පම්පෝරි අහවර වෙද්දි මහ රෑ දෙගොඩ ජාමේ වෙනවලු.
වෙල් විදානෙගෙ දුවගෙ විවාහ උත්සවයට එංගලන්තෙන්ම වෙනම ඇපල් නැවක් ගෙන්නුවත්  එකම ඇපල් ගෙඩියක්වත් මගුල් ගෙදර ප්‍රයෝජනයට ගන්න වුණේ නැත්තෙ ඇපල් නැව ඉන්දියාව කිට්ටුවෙදි රැවුළ කපන බ්ලෙඩ් ගෙනියන නැවක හැප්පිල බ්ලේඩ් ඇපල් ගෙඩි ඇතුළට ගිය හින්දලු.
දුව විවාහ වෙච්චි අලුත මනමාලයත් එක්ක චිත්‍රපටියක් බලන්න හෝල් එකට ගියාලු. බෙල් දෙක ගහල චිත්‍රපටිය පටන්ගන්න හැදුවත් දුවගෙ බෙල්ලෙ තියෙන දියමන්ති මාලේ දිස්නය හින්ද චිත්‍රපටිය පෙන්වන්න විදිහක් නැති වුණාලු. හෝල් එක ඇතුල දවල් වගේ එළියයිලු. අන්තිමට හෝල් එකේ මැනේජර් මහත්තයා ඇවිත් බැගෑපත් වුණාම දුව මාලේ ගලවල අත්බෑග් එකට දාගත්තලු. ඊට පස්සෙලු චිත්‍රපටිය පෙන්නන්න පුළුවන් වුණේ.
වෙල් විදානෙ ස්කොලෙ යන කාලේ රෑ නිදිමරාගෙන පාඩම් කෙරුවෙ වතුර බේසමකට කකුල් දෙක ඔබාගෙනලු නිදිමත හැදෙනවට. එක දවසක් වතුර බේසම වෙනුවට මාළු ටැංකියට කකුල් දෙක දාගෙන පාඩම් කරල. මහ රෑ දොට්ට පිලට යන්න ඕනැවෙලා පුටුවෙන් නැගිටල යද්දි ටොක් ,ටොක් ගාල අමුතු සද්දයක් ආවලු. වෙල්විදානෙ නතරවෙද්දි සද්දෙත් නතර වෙනවලු. ඇවිදින කොට ආයිත් සද්දෙ එනවලු. හොල්මනක් කියල හොදටම බය වුණාලු . පස්සෙ  වෙල්විදානෙ එයාගෙ කකුල් දෙක දැක්කමයි දැන ගෙන තියෙන්නෙ වෙලා තියෙන දේ. පාඩම් කරපු පොතට කොච්චර අවධානයද කිව්වොත් ටැංකියෙ හිටපු මාළු කකුල් දෙක විලුඹ ළගටම කාලලු. ඇවිදින කොට සද්දෙ ඇවිල්ල තියෙන්නෙ කකුලෙ ඇට සිමෙන්තියෙ වදිද්දි.
වෙල් විදානෙ ගෙදර වත්තෙ ළිඳක් කපල. අඩි, බඹ, නෙමේ හැතැප්ම ගාණක් හාරලත් වතුර උල්පතක් හම්බ වෙලා නැහැ. මුලින්ම භුමිතෙල් ගද දැනුණලු. ඊට පස්සෙ ප්‍රෙටල්, ඩීසල් ගඳත් දැනෙන්න ගත්තලු, ඊටත් යටට හාරද්දි ළිඳ තනිකරම තාර ගඳ ගැහුවලු. ළිදේ ගැඹුර කොචිචරද කිව්වොත් වෙල් විදානේගේ හාමිනේ ළිදේ උඩ ඉදන් පහළට ලණුව දිගේ එවන බත්මුල ළිදේ අඩියෙ ඉන්න වෙල් විදානෙට ලැබෙද්දි හොදටම පිළුණු ‍වෙලාලු.
අන්තිමට ලොකු කොන්ක්‍රිට් එකක් මතු වුණාලු. එකත් බොහොම අමාරුවෙන් කඩපුවම ලොකු කාර් එකක් තියෙන ගැරිජ් එකක්ලු ඒක. වාහනේ නොම්බරේත් ලංකාවෙ නොම්බර වගේ නෙමෙයිලු අමුතුම එකක්ලු. පස්සෙයි වෙල් විදානෙට අවබෝධ වෙලා තියෙන්නෙ වෙච්ච සිද්ධිය. ලෝක ගෝලෙ අනික් පැත්තෙන් ඒ කියන්නෙ ඇමරිකාවෙ ගෙදරක ගැරිජ් එකකින් මතුවෙලා තියෙන්නෙ.
වෙල් විදානෙ විළිලැජ්ජාවෙ පණ ගියාලු. ළිද කපන්න ඇඳපු අමුඩෙ පිටින් උදැල්ලත් අතින් අරගෙන ආපහු ප්ලේන් එකේ ලංකාවට එද්දි.
 මේ වගේ ටොම්පච  වෙල් විදානෙගෙද සේරම් හාමිනේගෙද කියල පුංචි අපිට අදාළ වුණේම නැහැ.
මොනව වුණත් අද රටේ කියන ටොම් පච වගේ වෙල් විදානෙගෙ කතාවලින් කාටවත් හානියක් නම් නැහැ.

 

[චන්දන ගුණසිංහ]

මාතෘකා