ලිවීම, සුවපත් වීමේ මාර්ගයට කියන තව නමක්

 ඡායාරූපය:

ලිවීම, සුවපත් වීමේ මාර්ගයට කියන තව නමක්

ලිවීම කියන්නෙ අපූරු දෙයක්. ඒක හැමවෙලාවෙම  ප්‍රීතිමත් කටයුත්තක් වෙන්නෙ නැහැ. සමහර වෙලාවට ලිවීම සඳහා අපටම අපව පාරගන්න වෙනවා. ලිවීමේ සීමා නැහැ. සත්‍යට විතරක්ම නෙමේ පරිකල්පනයේ අනන්ත අවකාශයටත් ලිවීම ඇතුළෙ ඉඩ තියනවා. ලිවීම මුදාහැරීමක්. ඒකෙ මනෝ චිකිත්සීය වැදගත්කම සුවිශේෂයි.

මේ සම්බන්ධව මනෝ විද්‍යාඥයො අධ්‍යන විශාල ප්‍රමාණයක් කරලා තියනවා. ජේම්ස් පෙනී බේකර්ස්ගෙ අධ්‍යනය මේ අතර සුවිශේෂයි. ඔහු උසස් අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් යොදාගෙන එම සිසුන් මුහුණදෙන ආතති තත්වයන් ගැන ලියන්න දුන්නා. එම සිසුන්ගෙ කායික හා මානසික සෞඛ්‍ය සහ එම ලිවීම අතර සම්බන්ධය ගැන ඔහු වැදගත් සොයා ගැනීම් කළා.

ඉන්දියාවෙ සමහර හින්දු භක්තිකයො දෙවිවරුන්ගෙ නම් නැවත නැවත ලියනවා. එයින් තමන්ට යම් විමුක්තියක් ලැබෙන බව ඔවුන් විශ්වාස කරනවා. එය තමාව නිදහස් කරගැනීමක් නොවුණත් එය ඉවසීම හා භක්තිය පිළිබඳ අභ්‍යාසයක්. අකුරු නොදන්න අය පවා මේ වැඩේ කරනවා. ඕම් අකුර පමණක් හෝ රාමා යන්න පමණක් ලියන්න දන්න අකුරු නොදන්න අය ඉන්දියාවෙ අඩු නැහැ.

මට මේ සම්බන්ධ පුංචි අත්දැකීම් කිහිපයක් තියනවා. පොඩි කාලෙ ආර්ථික හා සාමාජීය ප්‍රශ්න තියන පවුල් පරිසරයක මම හැදුනෙ. මට සහෝදර සහෝදරියො හිටියෙ නැහැ සහ මට හිතෙන දේවල් කියන්න කෙනෙක් හිටියෙත් නැහැ. අනික මම කතා කරන්න බය වුණා සහ ලැජ්ජා වුණා. මගෙත් එක්කම කතා කිරීමේ ක්‍රමයක් හැටියට මං තෝරගත්තෙ ලියන එක.

ඒක ඇබ්බැහියක්. මගෙ ප්‍රශ්න. මට හිතෙන ජාති. මගෙ හීන ඔක්කොම මම ලිව්වා. ඒත් ඒවා තව කෙනෙක් කියවාවි කියන බය මට තිබුණා. කතා කරලා තමන්ව නිදහස් කරගන්නවට වඩා ලියලා නිදහස් කරගැනීම වෙනස්. ලිවීම ඇතුලෙ ඒ දේවල් නැවත කියවීමේ අවස්ථාවක් තියෙනවා. කතා කරනවට වඩා විධිමත්. හෙමින් සිදුකරන ක්‍රියාවක් නිසා වචන හා වාක්‍ය අතර හිතමින් ඉන්න පුළුවන්. විශේෂයෙන් අතීරණයක ඉන්න වෙලාවක ලිවීම තරම් හොඳ අභ්‍යාසයක් තවත් නැහැ. ඒක තීරණ ගැනීම පහසු කරනවා.  

ලිවීමේ උපයෝගීතාව ගැන හොඳ උදාහරණයක් ඉසබෙල් ඇලන්දේගෙ පෝලා නවකතාව. තමන්ගෙ දුව මියගියාම අම්මා කෙනෙක් හැටියට ඉසබෙල්  අඬන්නෙ, දුවගෙ ආදරණීය මතක සිහිකරගන්නෙ පෝලා හරහා. එක සම්මුඛ සාකච්ජාවකදි ඉසබෙල් මෙහෙම කියනවා. " මට ගන්න ඉතිරි වෙලා තිබුණෙ තීරණ දෙකයි, එක්කො දිවි නසා ගන්න එක, නැත්තං වේදනාවෙන් මිදෙන්න ලියන එක". ඉතිං ඈ පෝලා ලියලා ඇයට විතරක් නෙමෙයි තව ගොඩක් අයට සහනය ගෙනාවා. සුනාමිය තමන්ගෙ පවුලම නැති කරපු වෙලාවෙ සොනාලි දැරණියගලත් මැරෙන්නෙ නැතුව "වේව්" ලියලා මේ වැඩේම කලා. ඈන් ෆ්‍රෑන්ක් තමන්ගෙ මරණය පෙනි පෙනිත් ලිව්වෙ මේ අරමුණෙන්ම වෙන්න ඇති කියලා මට හිතෙනවා.

මට තව දෙයක් මතක් වෙනවා. කාලයක් මම පිස්සුවෙන් වගේ ආදරය කරපු කෙනෙක්ට ඒ ආදරය කියාගන්න බැරුව හිටියා. ඒක පිස්සුවක්. නින්ද යන්නෙ නැහැ, කන්න බැහැ,  කිසි වැඩකට හිත යොදවන්න බැහැ. ඒ අස්සෙ එයා හිතින් ආදරය කරන තව කෙනෙකුට දෙන්න තෑගි තෝරන්න එයා මට කතා කළා. ඒ හැමදේකටම පස්සෙ එයා තමන්ගෙ මවු රටට යන වෙලාවෙ තව දුරටත් ඉවසගන්න බැරි තැන හාෆ් ශීට් කොළ එකසිය තුනක ලව් ලෙටර් එකක් ලියලා මම යම් තරමකින් මාව නිදහස් කර ගත්තා. ඒ කොළ මිටිය පැක් කරලා එයාට දුන්නෙ. ලංකාවෙන් යනකන් අරින්නෙ නැහැ කියන පොරොන්දුව අරන්. ඒත් එයා ඒ පොරොන්දුව කඩල තිබුණා. එයා කිව්ව විදියට ඒ ලියුම එයට මහා කම්පනයක් ගෙනාවා සහ අපිට තවත් හොඳ යාළුවො වෙන්න අවස්ථාවක් සලසල දුන්නා. ඒක ලිවීමෙන් පස්සෙ මට දැනුණු පහසුව සහ නිදහස විශාලයි.

ඉතින් ලිවීම කියන්නෙ සුවපත් වීමේ මාර්ගයක්. හොඳම හොඳ ස්වයං සංවාද මාර්ගයක්. ප්‍රීතිමත් වගේම සංත්‍රාසජනක වැඩක්.

[ඉසුරු චාමර සෝමවීර]