දේව අංශුකාව

 ඡායාරූපය:

දේව අංශුකාව

සංගීතය තැනී ඇත්තේ ස්වර හා ස්වර ග්‍රාමයන්ගෙනි. මිනිසා තැනී ඇත්තේ සෛලයන්ගෙනි. විශ්වය තැනී ඇත්තේ කුමකින්ද? යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය (CERN) විශ්වයේ තැනුම් ඒකකය සොයා විවිධ මිණුම් උපකරණ යොමු කරයි. එහි ඇති කිලෝමීටර 26 දිගින් යුතු අංශු ත්වරකය 2008දී මුල්වරට ක්‍රියාත්මක කෙරුණි. 1980 ගණන්වල සිට මහපොළොව මත කා කොටා ගන්නා ජාතීන්ට අයත් විද්‍යාඥයන් ප්‍රංශ, ඔස්ට්‍රියා හා ස්විට්සර්ලන්ත රටවල් තුනක දේශසීමා යටින දිවෙන, විශ්වය තැනී ඇත්තේ කුමකින්ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයන පර්යේෂණයේ වැදගත්ම කොටස වන චක්‍රීය අංශු ත්වරකය ඉදිකිරීම පිණිස, සීමා නොමැතිව වැඩ කළහ.

ඝානාව, අයිවරි කෝස්ට් ආදී දියුණු වෙමින් පවතින රටවල් කෝපි, කොකෝවා ආදී පාරිභෝගික ද්‍රව්‍යයන්ගේ, අගය දාමයේ මුල් කොටසේ රැඳී සිටිති. කිලෝ 65 කොකෝවා මල්ලක් විකුණන ගොවියෙකු ලබන්නේ ඩොලර් සියයකි. අගය එකතු කිරීමේ දාමයේ 97% සිදුවන්නේ දියුණු ලෝකයේය.

විශ්වය තැනී ඇති අංශු පිළිබඳ න්‍යායන් දෙකක් වෙයි. එයින් එකක් වන්නේ සුපිරි සමමිතික න්‍යායයි. අනික වන්නේ බහු විශ්වීය න්‍යායයි.ඒ න්‍යායන් දෙකම උප-පරමාණුක අංශුන්ට වඩා ඉතා කුඩා අංශුකාවන්වල පැවැත්ම උපකල්පනය කරයි. උප පරමාණුක අංශුකා  ගණනාවකින් වැදගත්ම අංශුව ලෙස සැලකෙන හිග්ස්-බෝසෝන් අංශුකාව ඉතා වැදගත් වන්නේ අනෙක් සියලු අංශුකාවන්ගේ පැවැත්ම එහි ස්කන්ධය මත රඳා පවතින නිසාය. එනිසා එයට දේව අංශුකාව නම ලැබේ. එය ගිගා වෝල්ට් 115 ස්කන්ධ කලාපයේ පවතී නම් “සුපිරි සමමිතිය”පිළිබඳ න්‍යාය සත්‍ය වන අතර, එහි අගය ගිගා වෝල්ට් 140 වුයේ නම් එමගින් “බහු විශ්වීය න්‍යාය” සත්‍යාපනය වෙයි. කෙසේ වෙතත් CERN පර්යේෂණය අනුව හිග්ස්-බෝසෝන් අංශුකාව පවතින්නේ ගිගාවෝල්ට් 125ස්කන්ධ කලාපයේ දීය. එනිසා දැන් උදාවී ඇත්තේ වියවුලක් බව සමහර ගණිතඥයෝ පවසති.

CERN පර්යේෂණ පිළිබඳ වාර්තා චිත්‍රපටියක, ඔවුන් මුල්වරට අංශු ත්වරකය ක්‍රියාත්මක කළ විට පසුබිමින් වාදනය වන්නේ බීතෝවන් ගේ Ode to Joy සංගීත ඛණ්ඩයයි. එය ලෝ වටා විවිධ දේශපාලන, ආගමික, අනාගමික කණ්ඩායම්වලට පොදු වන සංගීත නිර්මාණයකි. සුප්‍රකට කිසලොව්ස්කි චිත්‍රපටයක් වන ‘බ්ලු’ හි තේමාව වන්නේ යුරෝපා ප්‍රජාවට පොදු සංගීත ඛණ්ඩයක් නිර්මාණය කිරීම වේ. එහි පසුබිම් සංගීතය බීතොවන්ගේ උක්ත ප්‍රසිද්ධ සංගීත ඛණ්ඩය ඔස්සේ නිර්මාණය වන්නක් ද යන්න විටෙන් විට ධ්වනිත වේ. කෙසේ වෙතත් Van Den Bundenmayerගේ තනුවක් වන ඉන් ගම්‍ය වන්නේ ‘පර දුක්ඛ දුක්ඛිත’ බවද කියවේ.

හිග්ස්-බොසෝනය සේම මිනිස් සබඳතා ද වියවුල පදනම් කරගෙන පවතීද? කොකෝවා හා කෝපි නිෂ්පාදකයා ලබන අවම ආදායම හා එයට අගය එකතු කරන සමාගම අතිරික්ත ලාබයක් අත්පත් කරගැනීම අතරේ ඇති නිෂ්පාදන සම්බන්ධය කුමක් ද? එම අතිරික්තයන් ව්‍යාපාර අවදානමට සාපේක්ෂ නම්, මාලි වැනි අන්ත දුගී රටක සිට තවත් දුගී රටක කොකෝවා නෙලීමට එන ළමයා ගන්නා අවදානමට ඇත්තේ සාපේක්ෂ අඩු අගයක්ද? වියවුල පවත්වා ගෙන යන ලෝක මිල වෙනුවට එය අවම කරන සමමිතික මිළක් හෝ බහු දේශීය මිලක් නියම කළ නොහැකිද? මේ සියල්ල මානුෂික ප්‍රශ්න ලෙස අප දෙස දෙනෙත් අයා බලා සිටී.

CERN භූමියේ සංකේතයක් ලෙස පිහිටුවා ඇති දේව රූපයකි. එහි එක පයක් ඔසවා, අනෙක් පයින් නරක මැඩගෙන, ඩමරුව වයමින්, කාලාවසාන තාණ්ඩව නර්තයෙන් යෙදෙන ශිව එයින් පිළිබිඹු වෙයි. ශිව අර්ධ නර නාරී වෙයි, ඔහු එකවර ශිව-ශක්තී ලෙස පවතී. ‘ඔහු’ උභතෝකෝටික ‘ඇය’ යි. ශිව එකවරම තනන්නා ද නසන්නා ද වෙයි. ලෝක ස්වභාවය වන්නේ එයද? නිෂ්පාදන අතිරික්තයේ ඵලය වන්නේ බුද්ධි ප්‍රභාව නම් එයින් නැවත නිෂ්පාදනයේ මුල සිටින්නන් බහුතරය වෙත සම්ප්‍රදානය කළ හැක්කේ කුමක්ද? කොකෝවා නෙළන සමයේ පාසල් ගමන ඇණහිටින ඝානාවේ දැරියට සිදුවන්නේ කුමක්ද? ඇය සවස පවුලේ අය උදෙසා මඤ්ඤෝක්කා පිටි ද තැම්බූ කෙසෙල් ද මුසු කොට අතේ නොඇලෙන ලෙස ‘ෆුටු තලප’ කොටමින් සිටින විට, ඇයගේ මනසේ සියල්ලට මුල් වන ‘දේව අංශුවක්’ ගැන කවර අදහසක් නම් දිව යනු ඇත්ද? ඇය බීතෝවන් ගැන දන්නේ කුමක්ද?

එහෙත් ඇය අන් දැරියන් හා එක් වූ විට අත්පොඩි තලමින් සිය මිත්තණිය විසින්ද කියන ලද සැහැල්ලක් කියමින් මනහර ලෙස අඩි තබමින්, නොමේරු උකුළ පද්දමින් සොඳුරු නැටුමක යෙදෙනු ඇත. සංගීතයේ අරමුණ විය යුත්තේ ඇයගේ ගැයුමේ ස්වර කාටත් පොදු බවට පත් කිරීමයි. දේව අංශුකාව පවතින්නේ යනු එබඳු ස්වර මාලාවක ස්ඵන්ද කලාපයේ විය හැකිය.

[හෂිත අබේවර්ධන]