අවසාන විප්ලවය කියා දෙයක් නැත

 ඡායාරූපය:

අවසාන විප්ලවය කියා දෙයක් නැත

“ There is no final revolution. Revolutions are infinite.”

“ අවසාන විප්ලවය කියල දෙයක් නැහැ. විප්ලවයන් අපරිමිත යි.”
එසේ ලියන්නේ යෙව්ගිනි සම්යාටින් ය. “We” නමින් ඉංග්‍රීසියට පරිවර්තිත නවකතාවෙහි දෙබසක් අතරතුර. එකදාස් නවසිය විසිඑකේ දී ප්‍රකාශනය කෙරුණු.

සම්යාටින් ගේ නවකතාව මට දුන්නේ ආචාර්ය අනුරාධ මහසිංහ ය. ආචාර්ය මහසිංහට "We” මුණගැසෙන්නේ සිය "බැමිණිතිකාලය"නවකතාව සඳහා පූර්ව හැදෑරීම් කරමින් සිටිද්දී ය. ලෝක සාහිත්‍යයේ දී 'දිස්තෝපියන්' සංකල්පය යෙදුණු අවස්ථාවන් ගැන සොයා යද්දී ය.

'Dystopia'යන වදනට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ එන අර්ථ දැක්වීම සිංහලට හරවාගත් විට ලියැවෙන්නේ  මෙවැන්නකි.

"දුක් විඳීම්  සහ අසාධාරණයන් ඉතා ඉහළින් පවත්නා, පරිකල්පිත රාජ්‍යයක්."

'දිස්තෝපියන්' සංකල්පය යෙදුණු නවකතා අතරින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ජෝර්ජ් ඕවල් විසින් වර්ෂ එකදාස් නවසිය හතලිස්නවයේ දී ලියැවුණ '1984' නවකතාව යි.

සිය ජනයාගේ භාෂණයන් හැසිරීම් මතු නොව සිතිවිලි පවා තමාට ඇවැසි පරිදි නියාමනයට ලක්කිරීමට උත්සාහ දරන, තම පැවැත්ම වෙනුවෙන්ම නව භාෂාවන් පවා හඳුන්වා දෙන, ඉතිහාසය තමාට අවශ්‍ය පරිදි යළි ලියවන පාලක පැලැන්තියකින් යුතු ඕෂනියා නම් කල්පිත නගරයක් වටා සිය නවකතාව ගොතන ඕවල් හට සම්යාටින්ගේ මිනිසුන් අංකයක් පමණක් බවට පත්කෙරුණු නවකතාවේ බලපෑම නොමඳව ලැබී ඇති බව බොහෝදෙනාගේ පිළිගැනීමයි.

ලාංකේය අප බොහෝදෙනෙකු '1984' කියවා නැත්නම් ඒ ගැන අසා හෝ ඇතැයි සිතමි. පොත විසින් ඉල්ලා සිටි සංයමයෙන් යුතුව කියවීමට අප විද්වත් යැයි  සම්මත කලා සාහිත සන්නිවේදකයන් හට හා විචාරකයන් හට විවේකයක් නැති වීම හෝ හුදෙක් සිය කල්ලියට අයත් නොවීම යන සාධකය නිසා හෝ මහා කතිකාවතින් මඟහැරී ගිය "බැමිණිතිකාලය"නවකතාව ගැන ද ඔබ අසා හෝ ඇතැයි විශ්වාස කරමි.

නමුත් මහසිංහයන් නොවන්නට මා අත පත්වන්නට ඉඩ නොතිබි සම්යාටින් ගේ නවකතාව ගැන සිංහලෙන් සඳහන් කෙරෙන මුල්ම අවස්ථාව මෙය විය යුතු ය.

“ අවසාන විප්ලවය කියල දෙයක් නැහැ. විප්ලවයන් අපරිමිත යි.”

සම්යාටින් ගේ වීරවරිය වන I – 330 විසින් එක් තැනක දී  කියන්නී ය.

මා මෙහිදී 'විප්ලවය'ලෙස සිංහලට නගා ඇත්තේ 'Revolution'යන ඉංග්‍රීසි වදනයි.

උත්ප්‍රාසාත්මක ලෙස 'Revolution'යන්න 'චක්‍රය' ලෙසින්ද පරිවර්තනය කළ හැක්කේ ය.

ඉඳින් සම්යාටින් ගේ වීරවරිය කියන පරිදිම;  විප්ලවයන් අවසාන වන්නේ නැත.

ඒවා චක්‍රයක ගමන් කරන නිසාවෙනි.

විප්ලවයන් සැම තැනම ඇත්තේ ය.

රටක පක්ෂයක හෝ ආණ්ඩුවක පමණක් නොව පුද්ගලික ජීවිතවල පවා. මනුස්ස සම්බන්ධකම් යෙදෙන සෑම තැනකම.

විප්ලවය යනු වෙනස් වීම ය. විප්ලවය වටින්නේ ඒ වෙනස් වීම හොඳ අතට වන්නේ නම් ය.

කිසිදු වෙනස් වීමක් පරිපූර්ණ ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැත.

ඔබේ ආදරයේ ප්‍රහර්ශය සැමදා එක ලෙස රඳන්නේ නැත.  

පොළොවෙහි සිටවූ සෑම පැළයක්ම නිසි ඵල දරන්නට සමත් වන්නේ ද නැත.

එහෙයින් වෙනස්වීම අනවරත ය. විප්ලවය චක්‍රයක් වන්නේ ය.

ඒ වෙනස් වීම  ආදරයෙන් බාරගත යුතු ය. හොඳ අතට මෙහෙයවිය යුතු ය.

රටක පක්ෂයක හෝ ආණ්ඩුවක පමණක් නොව පුද්ගලික ජීවිතවල පවා.

[හෂිත අබේවර්ධන]