නව ලෝකයේ දෙවිවරු

 ඡායාරූපය:

නව ලෝකයේ දෙවිවරු

ඇමරිකාව සැදුණේ නන් දෙසින් පැමිණි ජන සමූහයන්ගෙනි.

ඔවුන් පැමිණෙන විටදී ඔවුන්ගේ දේව විශ්වාසයන්ද මෙම පොරොන්දු දේශයට ‍රැගෙන ආහ.

ස්කැන්ඩිනේවියානුවන් තමන්ගේ  සියලු දෙයටම පීතෘ වූ ඕඩින්ව ගෙන ආ අතර, ඉන්දියානුවන් ශිවද, කාලිද තමන් සමග ‍රැගෙන ආහ.

කැරිබියානුවන් අනන්සිවද, ආදි සැක්සන් ජාතීන් විසින් ඊස්ටර්වද, ස්ලාවික් මූලයන් සහිත සුළු ජනකොටස් විසින් තමන් සමඟින් චෙර්නොබොග්වද ගෙන ආහ.

මේ අතරේදී ඉතිහාසයේ පවා සඳහන් නොවූවත්, ඊජිප්තියානුවන්ද එක් මොහොතක ‍ෆ්‍රීදෝනියාවට නැතිනම් නව ඇමරිකාවට, බටහිර ජාතීන් එය සොයාගැනීමටත් ප්‍රථම පැමිණ ඇත.
ඔවුන් තමන් සමඟින් ඇනුබිස්ව මෙන්ම ඉබිස්වද ගෙනැවිත් ඇත.

ඔවුන් සමඟින් ඉස්ලාම් මිත්‍යා විශ්වාසයන්ගේ එන කාන්තාරයේ භූත පුත්‍රයින් වන ජින් වරුන්ද පැමිණෙන්නට ඇත.

කෙසේ වුවත් මිනිසුන් තුළ මෙම දෙවිවරුන් පිළිබඳව ඇති විශ්වාසය හීන වී යෑමත් සමඟින් දෙවිවරුන්ද තමන් හෙබවූ දිව්‍යමය තත්වයෙන් පරම්පරා ගණනාවක් තුළදී ඇද වැටෙයි. අවසානයේ මෙම පුරාණ දෙවිවරුන් වංචාකරුවන්, ධූර්තයින්, සල්ලාලයින්, ඉබාගාතේ යන්නන් බවට ඌණනය වෙයි.

මේ අතරේදී ලෝකයේ නව දෙවිවරුන්ට මිනිසුන් වන්දනාමාන කිරීම අරඹයි. මිනිසුන්ගේ භක්තිය සමඟින් මෙම නව දෙවිවරුන් පිළිබඳ විශ්වාසයන් ශක්තිමත් වී, ඔවුන් දේවකායයන් බවට විද්‍යාමාන වෙයි. අඩු තරමින් නීල් ගේමන්ගේ අර්බන් ෆැන්ටසි ලෝකය තුළ සැබෑ අර්ථයෙනුත්, අප දකිනා ලෝකය තුළ සංකේතාර්ථයෙනුත් මෙයම සිදුවෙයි.

සැබවින්ම නව ලෝකයේ අපගේ දෙවිවරුන් වන්නේ සමාජ ජාලයන්, රූපවාහිනී පද්ධතීන්, අන්තර්ජාලය සහ පොදුවේ නව තාක්ෂණය නොවන්නේද? නූතන බැතිමතෙකු හෝ බැතිමතියක සිය ජීවිතයට දුක් කම්කටොලු පැමිණෙන විටදී ෆේස්බුක් දෙවොලේ මුහුණු ශත සහසක දෙවියන්ට සිය දුක කියා නොයදින්නේද?

කෙසේ නමුත් ආදි දේව දේවතාවුන්ට එක් දූපත් රාජ්‍යයක් තුළ හෝ නව දෙවිවරුන් හා සටන් වදින්නට තවම සිදුවී නොමැති බව කිව හැක. මන්ද යත් නව පරපුර පසෙකලා එයට පෙර පරපුර දෙස බැලූවද, රූපවාහිනිය හෝ සමාජ ජාල දෙවියන්ට වන්දනාමාන කරනා ජනී ජනයාම ගලේ දේවාලයට හෝ මුන්නේස්වරමට හෝ සීනිගමට හෝ අධිගෘහිත දෙවියන් කෙරෙහි වන විශ්වාසයද අත් හැර නොමැති බැවිනි.

එය එසේ වුවත්, නව දෙවිවරුන් පමණක් අදහන නව පරපුර ශේෂවී උන්ගේ මවුපිය පරපුර අභාවයට ගිය කාලයකදී නීල් ගේමන්ගේ ඇමරිකානු දෙවිවරුන්ට මෙන්ම මේ කුඩා දූපතේ සිරවුණු ආදි දේව ගණයාටද නව දෙවිවරුන් හා සටන් වදින්නට සිදුවනු ඇතිද?

ඒ සම්බන්ධයෙන් යමක් පැවසීමට තවම වේලාසන වැඩි වුවත්, නව පරපුර ගම්බාර දෙවියන්ට හෝ සුමන සමන් දෙවියන්ට හෝ කාලි අම්මාට හෝ පත්තිනි අම්මාට වඩා තමන්ගේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි නව දෙවි වරුන් ‍තෝරාගනු ඇතැයි යම් තාක් විශ්වාසයකින් කිව හැක.

ඇතැම් විටකදී දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය පොතේ සර්ව බලධාරී දෙවියන් අදහන අතරේම කබලෑ දෙවියන්ගේ පිහිටද සොයා යන්නට හැකි, තමන්ගේ ඇදහීම් අවශ්‍ය පරිදි සීරු මාරු කරගන්නට සමත් ගැමියන් මෙන්ම නව පරපුරද නව ලෝකයේ දෙවිවරුන් සහ පැරණි දෙවිවරුන් අතර මනා සමබරතාවයක් පවත්වා ගන්නට සමත් වනු ඇත.

ඇතැම් විට දැනටමත් දකින්නට ලැබෙන පරිදි, නව දෙවිවරුන් හා පුරාණ දෙවිවරුන් දෙමුහුම් කරමින්, පුරාණ දෙවිවරුන් නව ලෝකයට ෆැෂන් කරගැනීමට, හයිබ්‍රිඩ් දේව මණ්ඩලයක් නිර්මාණය කර ගැනීමටද ඔවුන් සමත් වනු ඇත.

[අරමානිස් බලසේක්කු]