දූපත් වැසියෝ

 ඡායාරූපය:

දූපත් වැසියෝ

ගිනි ගන්නා රටක සිට ජීවිතය ගැන කතා කිරීමම ඉතා අසීරු වැඩකි. පසුගිය සති තුන පුරා ඛේදජනක කාලයක් පසු කරමින් ආ අපේ රට අද වන විටද අවිනිශ්චිතව නමුදු හෙටක් ගැන සිහින දකිමින් ඉදිරියටම ඇදෙයි. ෆේස්බුක් පරිහරණය කෙරූ විට අඩාළව ගිය මේ දේශයේම විශ්වවිද්‍යාල වසා දමා ගත වී ඇති දින ගණන පිළිබඳ වගේ වගක් නැතිව අපි තවමත් හෙටක් ගැන සිහින දකිමු.   
විශ්වවිද්‍යාලයේ මගේ අවසාන වසර ඇරඹිය යුතුව තිබුණේ 2018 මාර්තු 12 වැනි දිනය. නමුත් ඕනෑම දෙයක් උදෙසා වැඩ වර්ජන කරන මහජනයා සහ නහයටද උඩින් වතුර ගලනා තෙක් කිසිවක් තඹ සතයකට මායිම් නොකරනා ආණ්ඩුවක්ද සහිත රටක ජීවත් වීම නිසා මාර්තු 21 වන විටද මම නිවසට වී අම්මාගේ සිහින බිඳී යන හැටි දකිමින් සිටිමි. මේ ගෙවී යන කාලය ගෙවී යන්නේ අපේ ජීවිතවල සාරයද රැගෙන බව දන්නා මුත් කම්පා වී පලක් නැති බැවින් විශ්වවිද්‍යාලය තුළත් ඉන් පිටතත් ගෙවී ගිය ජීවිතය ගැන කල්පනා කරමින් සිටිමි.   
රටක අධ්‍යාපනය කෙරෙහි ඒ රටේ පාලකයන් දක්වන සැලකිල්ල සහ අවධානය ඒ දේශයේ පරම්පරා ගණනාවකගේ අනාගතය සහ ඒ දේශයේ අනාගතය තීරණය කරලීමෙහි ලා මහත් බරක් උසුලයි. නිදහස් අධ්‍යාපන පණත පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ දැරූ කන්නන්ගර මහතාගෙන් "මුන් ඔක්කොම ඉගෙන ගත්තම අපේ වතුවල පොල් කඩන්නේ කවුද?" යනුවෙන් ප්‍රශ්න කෙරූ "ජාතියේ වීරවරුන්ගෙන්" සැදි ඉතිහාසයක් සහිත රටක අධ්‍යාපනය මෙතෙක් ආ ගමන් මඟ ප්‍රශංසනීයය. නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට අද ලෝ ප්‍රකට මිනිසුන් සහ ශ්‍රේෂ්ඨයන් බවට පත්ව ඇති ලාංකිකයන් බොහෝමයක් ඒ අසීරු ගමන් මඟේ සාඩම්බර නිර්මාණ වෙති.   
විශ්ව විද්‍යාල අධ්‍යාපනය යනු ඒ ගමන් මාර්ගයේම දිගුවක් වන අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිසා මේ දේශය වැය කෙරූ වටිනාකම්වලට සරිලන යමක් මේ දේශය දිනා ගත්තේද යන්න නැවතිල්ලේ සිතා බැලිය යුතු කරුණකි. අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කිරීමට උත්සුක වනවා වෙනුවට ඉල්ලීම් ලබා නොදුනහොත් ඕනෑම කාලයක් විශ්වවිද්‍යාල වසා දැමීමට පිඹුරුපත් සකසන අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යයමණ්ඩල සාමාජිකයන්ද, නවක වද ගැටලු හෝ ඕනෑම ගැටලුවක් වෙනුවෙන් රජයෙන් ගේම ඉල්ලා විශ්වවිද්‍යාලය සති ගණන් වසා තැබීමට මාර්ග සලසන විද්‍යාර්ථීන්ද අවාසනාවකට මෙන් දැන හෝ නොදැන එකම බෝට්ටුවේ නැගි අය වෙත්.
මෑතකදී මට අසන්නට ලැබුණු සිදුවීමක් මේ දූපතේ අධ්‍යාපන ක්‍රමය ගැන නැවත වතාවක් අප සිතිය යුතුම බව මට සිහිපත් කළේය. මා ඥාති සොයුරකු ඔහුගේ පාසලේ අත්දැකීමක් මා හා බෙදාගත්තේ මෙලෙසය.   
"අක්කා අපේ සයන්ස් සර් ළමයෙක් මොනවා හරි කරාම මුලින්ම අහන්නේ අම්මගෙයි තාත්තගෙයි රස්සාව...මිඩ් ටර්ම් එකේ ලකුණු අඩු ළමයින් නැඟිට්ටවලත් ඇහුවේ ඒවා තමා. ඒ අහන ගමන් කියනවා "මේ ඉස්කෝලේ ස්ටෑන්ඩර්ඩ් එක බහිනවා මේ දුප්පත් පවුල්වල එවුන්ව මේකට ගත්තම. දුප්පත් පවුල්වල එවුන්ව ඉස්කෝලෙට නොගෙන හිටිය නම් අපේ ප්‍රතිඵල වුණත් මෙච්චර අඩු වෙන්නේ නැහැ. ගන්න නරකයි ඕකුන්ව. අපේ පන්තියේ ඉන්න සාමාන්‍ය පවුල් වල ළමයි ඔක්කොම බිම බලාගෙන ඉන්නවා ඒ වෙලාවට"   
ඉහත කී ගුරුවරයා රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු වන අතර ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙමින් සිටින්නෙකි. දැනුම සම්භාරයක් තිබුණද ආකල්ප අතින් හිඟන ස්වරූපයක් පෙන්නුම් කරන මේ ගුරු උතුමාණෝ තම පහත් ආකල්ප තම සිසු දරුවනටද සම්ප්‍රේෂණය කරමින් සිටීමම අතිශයින් අභාග්‍ය සම්පන්න සිදුවීමකි. මේ වර්ගයේ ගුරුවරුන් සිටින්නේ චිත්‍රපටිවල පමණක් නොවන බවට අපගේ අධ්‍යාපන ක්‍රමයම සාක්ෂි දරයි.   
මේ දූපතේ මිනිසුන් පාරට බැසිය යුත්තේ මෙවන් වූ අසංවේදිකම් වලට එරෙහිව වන නමුදු සැබෑ ගැටලුව මඟ හැර එදා මෙන්ම අදද අපි, අප විසින්ම නිර්මාණය කෙරූ ගැටලු වටා කැරකෙමින් කඩ සාප්පු සහ නිවෙස් ගිණි තියමින් සාධාරණය සහ යුක්තිය සොයමින් හිඳිමු. මේ දේශයේ ඇතිවන ගිණි නිවීමේ ඉහළම ශක්‍යතාව වර්තමානයේ ඇත්තේ ගුරුවරුන්ට සහ ආගමික නායකයන්ට බව නොරහසකි. නමුත් හඬ අවදි කළ යුතු මොහොතේ දී පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කරනුයේද මේ දෙපාර්ශ්වයමය.  
ඕනෑම ගැටලුවකදි විශ්වවිද්‍යාලය වසා වර්ජනයේ යෙදෙන විද්‍යාර්ථීන් මෙන්ම ආචාර්යවරුන්ද, අනධ්‍යයන කාර්යය මණ්ඩල, ආර්ථික මට්ටම අනුව දරුවන් ඉගෙන ගත යුතුය යන්න සිතන ගුරුවරු ද, කඩ ගිණි තබන විරුවන් යන මේ සියලු දෙනාම එක්තරා අවධියක සිසුන් වූ අතර රටේ අධ්‍යාපන ක්‍රමය ඔවුනට ලබා දුන්නේ මොනවාද යන්න අප සිතිය යුතු බවට මේ වර්තමානය අපෙන් ආයාචනා කරයි. රටේ අධ්‍යාපනය බල්ලාට දමා අන් සියල්ල ගැන මහා පරිමාණ සැලසුම් සැකසීමෙන් මේ දූපත ගොඩ ගත නොහැකි බව දැන්වත් අප පිළිගත යුතුය! ඉන් එහා ගැළවීමක් නැත.   
සුභගමන්  

 

[ෂෙනූ පෙරේරා]