බංගලියෝ පෙණේ පිප්පීමෙන් පසු

 ඡායාරූපය:

බංගලියෝ පෙණේ පිප්පීමෙන් පසු

නිදහස්  කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් විය. අපේ නිදහස වෙනුවෙන් සංවිධාන වුණු මේ  තරගාවලිය අප නැතිව අවසන් විය. බංගලියෝ අපට පෙණේ පිප්පූහ. අපි  ඉන්දියන්කාරයින් ලවා බංගලියන්ට පෙණේ පුම්බා පෙන්නා හිත හදාගත්තෙමුය. එසේ හිත  රවට්ටාගත්තාට, අපි පිළිගත යුතු යථාර්ථවාදී සත්‍යය නම් බංගලියෝ මෙන්ම  ඉන්දියන්කාරයෝද අපට පෙණේ පිප්පූ බවයි. සාමාන්‍යයෙන්ම මේ වගේ තරගාවලියක්  පරාජයට පත් වූවාට පසු එක එක වර්ගයේ පණ්ඩිත වාක්‍ය කියමින් අරෙහෙමයි මෙහෙමයි  කියා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන සහ නිරීක්ෂණ නිගමන වාර්තා දෙන අය ඕනෑ තරම්  ඉන්නා නිසා ඒ නිගමන කතාද දැන් වැඩකට නැති වහසි බස් පමණක් වී ඇත. කෙසේ  නමුත්, මට නම් පෙනෙන්නේ නිදහස් කුසලානයේදී අත්වූ ඉරණම, හරියටම පසුගිය පළාත්  පාලන මැතිවරණයේ ප්‍රතිඵල ඉරණමට සමාන බවය. එනම් හිත රවට්ටාගත්තාට, ඇත්ත වසන්  කළ නොහැක.

පසුගිය වසර කීපය සැලකීමේදී හාවා හඳ  දකින්නා වාගේ එහෙන් මෙහෙන් තරගයක් හෝ තරගාවලියක් දිනා තිබුණාට, ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායම සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයක හෝ තරග දිනන තත්ත්වයක  නොවන බව අප පිළිගත යුතුය. ඒ වෙනුවෙන් කළ යුතු දේ කුමක්දැයි ටිකට් එකක්  අරගෙන හෝ ටීවී එකේ චැනල් එක මාරු කරගෙන ක්‍රිකට් මැච් බලන ප්‍රේක්ෂකයින්ට  ටක්කෙටම කිව නොහැකි වුවත්, ක්‍රිකට්වලම ජීවත්වන පුද්ගලයින්ට ඒ ගැන අදහසක්  තිබිය යුතුය. නමුත්, ක්‍රිකට් බලන අපට පෙනෙන්නට ඇති එක දෙයක් ඇත. එනම්,  යටකී පුද්ගලයින්ට සිදු වී ඇති දේ හා සිදු කළ යුතු දේ ගැන අදහසක් තිබිය  යුතුයැයි අප විසින් පූර්වෝපකල්පනය කළද ඔවුන් සතුව එවැනි අදහසක් නැත යන්නයි.

බංගලියන්  දක්ෂයන් බවට පත් වී ඇත. ඒ ගැන විවාදයක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට්  වරම් ලබා දශක දෙකක් ගෙවෙන විට ලෝක කුසලානයක් ඇතුළු කුසලාන කප්පරක් දිනා  තිබිණි. ඒ නිසා, අප පුදුම විය යුත්තේ ටෙස්ට් වරම් ලබා දශක දෙකකටත් කිට්ටු  බංග්ලාදේශ ක්‍රීඩකයින් එසේ නොවූයේ නම් මිස එසේ වූයේ නම් නොවේ. හැත්තෑව අසූව  දශකයේ පතාකයින්ව සිටි බටහිර ඉන්දීය කොදෙව්වන්ට වූ දේ පිළිබද අප කල්පනා කළ  යුතුය. අද වන විට ක්‍රීඩාකරන්නට එකොළොස් දෙනෙක් සොයා ගැනීම පවා අපහසු  තත්ත්වයටම ක්‍රිකට් පිරිහී ඇත. 2016 වසරේ ඉන්දියාවේ පැවති විස්සයි විස්ස  ලෝක කුසලාන තරගාවලිය දිනූ කොදෙව් පිළේ නායකයාගේ කතාව අප යළි යළිත් සීරුවෙන්  ශ්‍රවණය කළ යුතුය. එක පැත්තකින් එය උත්ප්‍රේරකයක් වනවා සේම, කොදෙව්  ක්‍රිකට් වංශකතාව ඛේදවාචකයක් වූයේ ඇයිදැයි ඔබට දැනෙනු ඇත. අනූව දශකයේ කැපී පෙනෙන දක්ෂයින් වූ සිම්බාබ්වේ සහ කෙන්යානු කණ්ඩායම් අද සිටින්නේ කොතැනද? මේ  සෑම කණ්ඩායමක්ම පාහේ පිරිහෙන්නට හේතු වූයේ පරිපාලනමය වශයෙන් ගත යුතු  තීන්දු නොගැනීම සහ නොගත යුතු තීන්දු ගැනීමෙන් බව නොරහසකි.

ජාතික  ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී පාසල, ගම, ක්‍රීඩා සමාජය, ඥාති  හිතමිත්‍රාදී සබදකම් පමණක් නොව දේශපාලනික මතය‍ ගැන වඩාත් සැලකිලිමත් වන  බවට අරක මේක යැයි ඇගිල්ල දිගුකර පෙන්වීමට තරම් භෞතික සාක්ෂි නැතත් සංඥානනය  වන දේවල් ඇති බව කවුරුත් පිළිගන්නා බව පමණක් දනිමි. ජනවාරි 17 වැනිදා  යෝගානන්ද විජේසුන්දර මහතාට ප්‍රණාම පුදකළ උළෙලේ හිටපු නායක අර්ජුන රණතුංග  විසින් වරායට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු වෙනත් ක්‍රීඩා සමාජයකට යාම සහ එහි  ප්‍රතිඵලයක් ලෙස ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ බවට කළ කතාව ඊට කදිම විශේෂඥ  සාක්ෂියක් යැයි විශ්වාස කරමි. ‘මල්ලි ඔයා අපේ ක්ලබ් එකට ගහන්න එන්නැත්තං,  මං ඉන්නකල් සිලෝන් ටීම් ගහන්න හිතන්නවත් එපා’ යැයි එකම නම ඇති ක්‍රීඩකයින්  දෙදෙනෙක් අතර සිදු වූ බව කියන සංවාදයක් ගැන මීට වසර ගණනකට පෙර මා අසා ඇත.  ඒවා එසේ වන්නේ කෙසේද? ඒවා එසේ වන්නේ නම්, මේ පිටියේ ඉන්නේ දක්ෂයින්මද යන්න  සැක මතු නොවන්නේද? විවිධ දක්ෂයින් දක්ෂතා නොවන වෙනත් ගැටලු හේතුවෙන් එළියේ  ඉන්නා බවට මේවා ඉගි නොවන්නේද?

අද වන විට අප පත්ව  සිටින අසරණ බව හා කරකියාගත නොහැකි බව අහම්බයක් හෝ එකපාරටම සිදුවූවක් නොවේ.  එය එක පැත්තකින් ක්‍රීඩකයින් ද ඇතුළු ක්‍රීඩාවේ සක්‍රීයව නියැලෙන්නන්ගේ  මෙන්ම ඊට අදාළ අනෙක් අනෙක් අයගේ දෝෂවල එකතුවකි. ඒ දෝෂ හදුනා නොගන්නා තාක් කල්  ඉදිරි පිම්මක් නැත. ඇත්තේ ආපස්සට යාමක් පමණි. එසේ නොවන්නට බංගලියන් පෙණේ  පුප්පා නැවතුනද, ලෝකයේ ක්‍රිකට් බාලයින් සියල්ලන්ම අප ඉදිරියේ කොකා පෙන්වනු  ඇත.

 [භාරත තෙන්නකෝන්]

මාතෘකා