නෙලුම් පොකුණ ජනතාවාදී කරමු

 ඡායාරූපය:

නෙලුම් පොකුණ ජනතාවාදී කරමු

විසිඑක් වන සියවස ආරම්භ දශකයේ මුල් වසර කිහිපය තුළ රටේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වූ කොළඹ කලාකරුවන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රංග ශාලාවක් නොමැතිවීම විශාල අඩුවක් ලෙස දැනෙන්නට විය. එහි අඩුව පුරවන්නට එවක පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ මැදිහත්වීමෙන් චීන රජයේ දායාදයක් ලෙස ජාත්‍යන්තර මට්ටමේ රංග ශාලාවක් ලංකාවට ලැබිණ. එයින් වසරකට පසුව බිහිවූ මහින්ද රාජපක්ෂ රජයේ මැදිහත්වීමෙන් එම රංග ශාලාව නෙලුම් පොකුණක හැඩයෙන් යුතුව ඉදිවී කලාවට කිසිදු දායකත්වයක් ලබා දී නොමැති මහින්ද රාජපක්ෂ නමින් නම් විය. එතැන් පටන් කතාව ඔබ බොහෝ විට දන්නවා ඇත. නොදන්නා අයද සිටිය හැක. සැවොම වෙනුවෙන් නෙලුම් පොකුණේ අද තත්ත්වයද විමසා බැලිය යුතුව ඇත.   

රටේ සියලු මර්මස්ථාන කේන්ද්‍ර කරගනිමින් මිලිටරි ආධිපත්‍යයක් ගොඩනගන්නට වෙර වෑයම් දැරූ රාජපක්ෂ සොයුරු ගෝඨාභයගේ මිලිටරි ෆැන්ටසියේ අතු ඉති රටේ සෑම ක්ෂේත්‍රයක් අරාම පැතිර තිබූ එකල නෙලුම් පොකුණටද අත්වූයේ ඒ ආනිසංසයමය. කලාවේ තෝතැන්නක් විය යුතු කේන්ද්‍රස්ථානයක් මහින්ද රාජපක්ෂ නමින් නම්ව මිලිටරි පාලනයකට නතු විය. තවමත් නෙලුම් පොකුණ තුළ ඇත්තේ එකී මිලිටරි පාලනමය. එමෙන්ම එකී රංග ශාලාව ජනතාවාදී කලාකරුවන්ට බොහෝ දුරස් තැනක් බවට පත්විය. එකල රාජපක්ෂෝන්මාදය උත්කර්ෂයට නගන ලද වන්දිභට්ටකම් කිසිදු හිරිකිතයකින් තොරව සිදුකළ බත්ගොටු කලාකරුවන්ට නම් නෙලුම් පොකුණ ජය කෙහෙළි නංවන තෝතැන්නක් විය. ඒ සියල්ල වෙනස් කිරීමට පෙරමුණ ගත් ජනතාවාදී කලාකරුවන්ගේ මූලිකත්වයෙන් බිහිකරගත් පාලනය තුළද නෙලුම් පොකුණ තවමත් මිලිටරි පාලනයක පැවතීම ප්‍රශ්න කරන කිසිවෙකුත් නැත. එය ඛේදයකි.   

පසුගියදා නෙලුම් පොකුණේදී ප්‍රසංගයක් අතරතුර වයස 80 ක පමණ තැනැත්තියක් හා සිදුවූ කතාබහක් මෙසේය.   

‘පුතා මට වතුර ටිකක් හොයලා දෙන්න පුළුවන් ද?’ මට ටැබ්ලට් එකක් ගන්න තියෙනවා. මගේ වතුර බෝතලේ බලෙන්ම වගේ බෑග් එක චෙක් කරපු නේවි එකේ ලේඩි ගත්තා’   

‘ඉතින් මිස් කිවුවේ නැද්ද ටැබ්ලට් එකක් ගන්න තියෙනවා කියලා.’   

‘කිවුවා පුතා ඒත් ඒ අය ඇහුවේ නැහැ. එයාලට ඕඩර්ස් දීලා තියෙන විදිහටලු වැඩ කරන්නේ. මම මේ සිඟර්ට මාරම ආසයි පුතා. ඒකයි අසනීප වුණත් ආවේ. මේ මියුසික් අහද්දී හිතට දැනෙන්නේ පුදුම සැනසීමක්. පෙන්ෂන් ගත්තම මම හැම මාසෙම ෂෝ දෙකක් විතර බලනවා. ඒත් අපි වගේ මිනිස්සු ගැන පොඩ්ඩක් සාධාරණව හිතන්න හමුදාවල අයට බැරි ඇයි දන්නේ නැහැ.’   

මම නිරුත්තරය.   

ප්‍රසංගයට පෙර සියලුම දෙනාගේ ගමන් මලු හමුදා පරීක්ෂාවකට ලක් කරයි. ප්‍රසංගය අතරේ කිසිවෙකුට දිය පොදක් හෝ තොල ගෑමට වරම් නැත. එහෙත් ඔවුන් රැගෙන එන වතුර බෝතලය පවා හමුදාවෙන් ගනී. වතුර බෝතල්, බීම, බිස්කට් ඇතුළු ඒ සියල්ල දොරටුව අසළ මේසයක් මත ගොඩ ගසයි. එම ආහාර පාන පරීක්ෂාවේදී කාන්තා අත්බෑග් ඇතුළත තිබෙන සනීපාරක්ෂක තුවා පවා එළියට ඇද බලනුයේ සදාචාර සීමාවද උල්ලංඝනය කරමිනි. තම පෞද්ගලිකත්වයට එලෙස බලහත්කාරයෙන් ඇතුළුවෙද්දී බොහෝ කාන්තාවන් කරනුයේ ලජ්ජාවෙන් වටපිට බැලීම පමණි. ඒ අසළම දැන්වීමකි. ‘මෙහි තැබෙන කිසිවක් පිළිබඳව පාලනාධිකාරය වගකියනු නොලැබේ’   

වගකියන්නවත් බැරි නම් අරගෙන ගොඩ ගහන්නේ කුමකට ද ? අනික බණ්ඩාරනායක සමරු රඟහල, ටවර්හෝල් එක, බිෂොප් ශ්‍රවණාගාරය වැනි  රඟහල්වලට නැති නීතියක් නෙලුම් පොකුණට කුමකටද? කලාව රස විඳින්නට එන්නවුන්ට දිය පොදක් තොල ගෑම තහනම්ද? එමෙන්ම ප්‍රසංගය ආරම්භ කිරීමට පෙරත් ප්‍රසංගය අතරතුරත් අවසානයේත් ‘නිල ඇඳුම්’ ඇඳගත් මිලිටරි නිල තැන තැන ගැවසෙයි.  එවන් හැසිරීමක් කුමකටද?

එපමණක් නොව ප්‍රසංගය අවසානයේ වේදිකා මස්තකයට ගොඩවී කලාකරුවා බදා වැළඳ ගන්නට ප්‍රේක්ෂකයාට වරම් නැත. හමුදා නීතිය ඊට හරස්ව පවතී. මේ සියලු නීති පවතින්නේ කොළඹ මිල අධිකම රංග ශාලාව නෙලුම් පොකුණ වී තිබියදීය. මිලත් අධිකය. මිලිටරි නීතිත් අධිකය.   

ජනතාවාදී කලාකරුවන් දැන්වත් නිදහස උදෙසා පෙරමුණ ගත යුතුය. නෙලුම් පොකුණ, ජෝන් ද සිල්වා රඟහල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සෞන්දර්යය විශ්ව විද්‍යාලය, සිත්තර වීදියේ කලාකරුවන් සහ කොළඹ කේන්ද්‍රීය කලා සංවිධාන සියල්ල ඒකාබද්ධව එක් භාරකාර මණ්ඩලයක් පිහිටුවා ‘කොළඹ කලා කේන්ද්‍රය’ පිහිටවිය යුතුය. දැරිය හැකි සාධාරණ මිලකට උසස් තත්ත්වයේ රසවින්දනයක් ජනතාවට සමීප කරවීමට රජය සහය විය යුතුය. එසේ පිහිටුවා ගන්නා ‘කොළඹ කලා කේන්ද්‍රය’ යටතේ නෙලුම් පොකුණ පාලනය විය යුතුය. මිලිටරි ආධිපත්‍ය ඉවත්කර සිවිල් පරිපාලනය ස්ථාපිත කළ යුතුය. දිනපතා සංස්කෘතික කතිකා,  කවි සැඳාවන්, සාහිත කියවීම් සහ එළිමහන් ප්‍රසාංගික අත්දැකීම් සඳහා මුරකාවල් මගින් වසා ඇති නෙලුම් පොකුණ භූමි පරිශ්‍රය විවර විය යුතුය. අවසාන වශයෙන් නෙලුම් පොකුණ පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සරත්චන්ද්‍ර වැනි සම්මානනීය කලාකරුවෙකු අනුස්මරණය සඳහා නම් විය යුතුය. ඒ සඳහා කලාකාමී කැරැල්ලක් ඇරඹිය යුතුය.  

[අකලංක හෙට්ටිආරච්චි]