දියුණු රටක් අද නොවේ හෙට

 ඡායාරූපය:

දියුණු රටක් අද නොවේ හෙට

ඊයේ කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ මගේ මිත්‍රයෙකු මට කිව්වේ, ඔහුගේ හා ඔහුගේ වසරේ සියලු ශිෂ්‍යයන්ගේ නිබන්ධන භාර දීමේ අවසන් දිනයට ඇත්තේ තව කිහිප දිනක් වුවත් එයට අත්‍යවශ්‍ය කරුණු ලබාගැනීමට අවශ්‍ය ග්‍රන්ථ ලබා ගැනීමට අනධ්‍යයන සේවක වැඩ වර්ජනය නිසා නොහැකි වී ඇති බවයි.   

ලංකාවේ සියලු රජයේ විශ්වවිද්‍යාලවල තත්ත්වය එසේමය. අධ්‍යයන කටයුතු සිදු කරන්නේ නැත.   

සාකච්ඡා කරනවා කියනවාය. විසඳුම් දෙනවා කියනවාය. අරවා කරනවා කියනවාය. මේවා කරනවා කියනවාය. නමුත් මාසයකට ආසන්න කාලයක් තිස්සේ සරසවි වසා ඇත.   

මා ද ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සිදු වී ඇත්තේ ගෙවල්වලට වී එක එක්කෙනාගේ සාර්ථක ඉදිරි වැඩපිළිවෙළ ගැන දාර්ශනික විචාර අසමින් සිටින්නටය.  

මගෙන් ඇහුවොත් ලංකාවේ වැදගත්ම ආයතනය මොකක්ද කියා පිළිතුර විශ්වවිද්‍යාල පද්ධතියයි.   

ලංකාව වසර හැත්තෑවක සිට අම්මගෙ අප්පගේ ජාතිය අල්ලාගෙන ලක්ෂ ගණනින් මිනී මරාගන්නා මෝඩයන් බිහි කර ඇත... අවිහිංසාවාදී බුද්ධාගම රකින්නට කඩු මන්න අතට ගෙන කැති ගාන්න කතා කර ලෝකෙට ජෝක් එකක් වූ විහිළුකාරයන් බිහි කර ඇත... පොඩි ළමයි විවාහ කර ගැනීමට ඉල්ලා උද්ඝෝෂණ කරන බූරුවන් බිහි කර ඇත. තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට පාං ගෙඩියකට කොළ කෑලි දමා මිරිස් කුඩු පිඹිනා විකාරකාරයන් බිහි කර ඇත... තමන්ගේම යහපත උදෙසා කුඩුකාරයන්, මිනීමරුවන්, ලෝක හොරුන්, ස්ත්‍රී දූෂකයන් පාර්ලිමේන්තුවට යවනා පශ්චාත්භාගයට මොළේ බහින ලද ජනතාවක් බිහි කර ඇත.  

නමුත් රටට ලෝකෙට වැඩක් ඇති චින්තකයන් දාර්ශනිකයන් විද්‍යාඥයන් පරියේෂකයන් බිහි කළාද කියා ඇහුවොත් A4 කොළ දෙකක් පුරවා ගැනීමට නම් ලිස්ට් එකක් නැත. කියන්න ඇති එකම දේ අහවල් අවුරුදු දෙදාහක අභිමානවත් සංස්කෘතික මෙව්වා එකය. අරාබියේ කඹුරන අසරණයන්ගේ ලේ දහඩිය වලින් ජීවත් වෙවී ලෝකෙන් හිඟා කකා උන්ටම පොර ටෝක් දීම රස්සාව වී ඇත.   

දියුණු රටවල චින්තකයන් දාර්ශනිකයන් විද්‍යාඥයන් "පොරවල්" වෙද්දි මෙහෙ පොරවල් වන්නේ මිනීමරුවන්ය. ජාතිවාදීන්ය. කුඩුකාරයන්ය. කේන්දර කාරයන්ය.   

ඔක්කොටම ඕනේ ස්විට්සර්ලන්තයකි. නමුත් එකෙකුටවත් එය හදාගැනීමට උවමනාවක් නැත. කලිනුත් ශ්‍රී විකාරයේ ලිව්වා වගේම මේ වළෙන් ගොඩ ඒමට ඇති එකම විකල්පය අධ්‍යාපනයයි.    නමුත් රටේ විශ්වවිද්‍යාල සියල්ලම මාසයක් වසා තිබීම රටේ වගකිවයුත්තන්ට ගාණක්වත් නැත.    සංගීත සංදර්ශනයකදී වීසි කළ තනපටයකට මඩු වලිගය අතට ගත් ජනාධිපතිතුමා මේවා දන්නේ නැත. බය නැති අගමැතිතුමා මේවා දන්නේ නැත. විපක්ෂ නායකතුමා දන්නේ නැත. ජවිපෙ ද පොහොට්ටුව ද නිදි ය.   

පාර්ලිමේන්තුව දන්නේ ගැලරියේ ඉන්නා පොඩි උන් ඉස්සරහ කුණුහරුපෙන් ජාතිය ඇමතීමය. ඉස්කෝලෙ දෙක පහ වසරේදී අල්ලපු පන්තියේ එකෙක් අපේ පන්තියේ කොස්ස උස්සන් ගිය විට ඌ පස්සේ එළවන් ගියා සේ සෙංකෝලය උස්සා දිවීමටය. බල්ලො හරක් වගේ ගුටි ඇණගැනීමටය. වැඩකට ඇති දේකට කියා කතා කරන්නේ එයැයිලාගේ පඩි වැඩි කර ගැනීම හා වාහන පර්මිට් ගැනය.    ජනමාධ්‍ය ගැන කතා කර තේරුමක් නැත.. වල් අලියෙක් වගා ළිඳකට වැටී ගොඩගන්නා ආකාරය බ්‍රේකින් නිව්ස් දමා පෙන්නන නාලිකා විශ්වවිද්‍යාල තියනවාද කියා දන්නේ නැත.. පත්තරවල ලියන්නේ කට්ටඩියෝ බූතයො අල්ලන විකාරය.    හරක් මස් කරියක පිටි ගුලියකට වඳ පෙත්තක් කියා රැවටෙන මහජනතාව මේවා ගැන දන්නේ නැත.    විශ්වවිද්‍යාල ආචාර්වයවරුන් නිහඬය.   

රටේ විශ්වවිද්‍යාලවල විෂයමාලා සංශෝදනය, ලෝකය සමග තරඟකාරීව ඉදිරියට යා හැකි චින්තකයන් බිහි කිරීම, එක එක අයියලාගේ තග දැමීම්වලින් තොරව නිදහසේ අධ්‍යාපනය ලැබීමේ පරිසරයක් නිර්මාණය කිරීම, භෞතික පසුකම් සංවර්ධනය ලෝකයේ මුල් විශ්වවිද්‍යාල සියය අතරටවත් පැමිණීම, නව තාක්ෂණය, පර්යේෂණ ආදිය වර්ධනය කිරීම, රටේ සංවර්ධනය උදෙසා විශ්වවිද්‍යාල පද්ධතිය ඍජුව සම්බන්ධ කරගැනීම ආදී වූ අතිශය තීරණාත්මක කරුණු සාකච්ඡා කළ යුතු මොහොතක සිටියත් අපි තවමත් සිටින්නේ පුස්තකාලයක දොර ඇර ගැනීමට නොහැකි තත්ත්වයකය. විශ්වවිද්‍යාලය වසා ඇති විට ප්‍රතිසංස්කරණ ගැන කුමන කතා ද?  

අනධ්‍යයන සේවක ඉල්ලීම් සියයට 100ක් සාධාරණ විය හැක. වර්ජනය කිරීමද ඔවුන්ගේ අයිතියකි. ඒවා අපට අදාළ නැත. එය බලධාරීන්ගේ වගකීමකි. රටේ දරුවන් ඉගෙනගත යුතුය. විශ්වවිද්‍යාල වහාම අධ්‍යාපනය සඳහා කෙසේ හෝ විවෘත කළ යුතුය. වසා තබන එක දිනක් රට වසර ගණනාවකින් ආපස්ස්සට යවන බව පමණක් සිහිතබා ගන්න. වගකිවයුතු සියල්ලන් සිදුකරන්නේ මිල කළ නොහැකි අපරාධයකි..!!   

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා