කූඹියෝ wow එකක් වෙන්නේ ඇයි?

 ඡායාරූපය:

කූඹියෝ wow එකක් වෙන්නේ ඇයි?

පසුගිය 17 වෙනිදා නිමාවට පත්වූ ස්වාධීන රූපවාහිනී නාලිකාව හරහා විකාශනය වූ කූඹියෝ ටෙලි නාට්‍යය මෙරට තරුණ ප්‍රජාව තදින්ම වැළඳගත්ත ටෙලිනාට්‍යයක් බවට පත්විය. කොටස් පනස් හතකින් යුක්ත වූ කතාව ගොනුවන්නේ ජෙහාන් නම් වූ con artist කෙනෙක් හෙවත් master mind game planer කෙනෙක් වටා. House of cards, Black mirror වගේ ඉංග්‍රීසි කතා මාලාවන් ඉංග්‍රීසි නොතේරෙන සිංහල ප්‍රේක්ෂකයන්ට වැළඳගන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසාම දේශපාලන වේදිකාවෙ තිරයෙන් පිටිපස්සෙ සිද්ධවෙන ජවනිකා ගැන මිනිස්සු දැනගත්තෙ නෑ. දැනගත්තත් එහෙන් මෙහෙන් ඇහෙන යම්කිසි පොඩි ගොසිප් එකකින් විතරයි. ඊට වඩා ක්‍රමයක් තිබුණෙම නැහ‍ැ. බොළඳ ආදර කතා, පවුල් ප්‍රශ්න, රජ කතා වගේ ඒකාකාරී ස්වරූපයක් ගත්ත මෙගා ටෙලිනාට්‍යය අතරට වෙනස්ම තේමාවකින් යුතු කූඹියෝ වගේ ටෙලියක් ආපු එක ටෙලි නාට්‍යය කලාවෙත් සෑහෙන ඉදිරි පිම්මක්. විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, ගාමිණී ෆොන්සේකාගෙ යුගයෙන් පස්සෙ නළු නිළියො සෙලිබ්‍රෙටිස්ලා විදියට වැළඳගන්න පුළුවන් තැනට ප්‍රේක්ෂකයන්ව ගේන්න කූඹියොන්ට හැකියාව ලැබුණා. තුමිඳුට, කලනට, යුරේනිට ඇන්ඩෘට පාරෙදි දැක්කත් ඇත්ත නම වෙනුවට චරිතෙ නම කියල කතා කරන, දුවල ගිහින් සෙල්ෆියක් ගන්න තරමට තරුණ ප්‍රේක්ෂකයන් වෙනස් කරන්න එපිසෝඩ් 57 ක කූඹි කතාවක් වෙච්ච කූඹියොන්ට පුලුවන් වුණා. කොටින්ම මෑත ඉතිහාසයේ කතාවක් නමින් ටී ෂර්ට් එකක් ගහල පාරෙ ඇදන් යන්න තරමට උන්මාදයක් ඇති කළා.  

නළු නිළියන් තෝරාගැනීම අතින් සුපිරිම තෝරාගැනීමක්. ඉතා සුලු චරිතයකට පවා හොඳ අවදානයක් දීලා හොඳම තෝරාගැනීම් කරලා තිබ්බා. කොටින්ම යුරේනි නොශිකා කියන්නෙ හැමෝගෙන්ම බැනුම් අහපු නිළියක් අන්තිමට බැනුම් අහපු යුරේනි අයිකන් එකක් කරන තැනටම චරිත බිල්ඩ් කරල තිබ්බා.  

ඒ විතරක් නෙවෙයි, කතාවෙ මුල ඉඳලම අමුතු කුතුහලයක් ප්‍රේක්ෂකයන්ට ඇති කරන්න නිර්මාණ ශිල්පියෝ සුක්ෂම වෙලා තිබ්බා. හොඳම වැඩේ මේ වගේ කතාවක චූටිම කොටසක්වත් ලීක් නොකර තියාගන්න නිශ්පාදක, අධ්‍යක්ෂ ඉඳල පිටපත කියවපු හැමකෙනාම වගබලා ගත්තා. ඒ ඔවුන්ගෙ තියෙන එකමුතුව.  

මේ කතාවෙ වැඩියෙන්ම ආස දෙබස්වලට. ඒ දෙබස් අස්සෙ තමන්ගෙ ස්ටේටස් එක මේන්ටේන් කරන එකම ජීවිතය කරගත්ත බොහෝ පිරිසකට කණ පුරවල ගහනව. කූඹියො කතාවෙන් වැඩියෙන්ම බැට කෑවෙ ලංකාවෙ වාමාංශික පක්ෂ කියල හුඟක් අය හිතාගෙන ඉන්නව. ඒත් ඇත්ත ඒක නෙවෙයි. පද්මකුමාර වගේ අවංක මාධ්‍යවේදියෙක්ව තමන්ගෙ අවංකකම මතම තියල හිරකරල, බලය දම්මල හිරකරල, ලෝන් එක පාස් නොකරන තැනට හරවන්නෙ බලය තියෙන පක්ෂයකින්. වාමාංශික පක්ෂවල කවුරුත් ඒ අවංකකම උස්සල කතා කරනව දැක්කෙ නෑ. සේනාධි තෙන්නකෝන්ව බිත්තියටම හේත්තු කරල තමන් අවුරුදු විස්සක් තිස්සෙ ගොඩනගන පක්ෂෙ විනාශ කරනව කිව්වට පස්සෙ තමයි මල්දෙනියගෙ යෝජනාවට එකඟ වෙන්නෙ. ඒ අවංකකම් කරළියට ගන්න ලංකාවෙ වාමාංශික දේශපාලනයට උවමනාවක් තිබ්බෙ නෑ. මල්දෙනිය අගමැති උනාම සේනාධි ඉල්ලන්නෙ එකම එක පුද්ගලික ඉල්ලීමක් ඒ ජෙහාන්ව මරන්න කිය‍න එක විතරයි. ඒ හැර අනික් දේවල් ඔක්කොම දේශපාලනික ඉල්ලීම්. ඒ ගැන කතාකරන්න ඉස්මතු කරන්න ලංකාවෙ වාමාංශික දේශපාලන පක්ෂවල නියෝජනයට උවමනාවක් නෑ.   

ඇත්තටම මේ කතාවෙ සැබෑම වාසිය වාමාංශික පක්ෂවලට තිබ්බට අවාසනාවට ඒක ගන්න තරම් මොළයක් වාමාංශික පක්ෂවලට නෑ. ඔය එක පක්ෂෙක හරි මම හිටිය නම් කූඹියෝ කියන්නෙ පක්ෂ සාමාජිකයන් අනිවාර්යෙන් ස්ටඩි කළ යුතු ටෙලියක් බවට පත් කරනව. ඇත්තටම වාමාංශික පක්ෂ බැට කෑවෙ නෑ ඉල්ලගෙන කෑවා කියන එකයි කියන්න ඕනෙ. ලංකාවෙ වාමාංශික පක්ෂවලටත් බලය ලබගන්නව නම් ජෙහාන් කෙනෙක් හොයාගන්න වෙයි. එහෙම නැත්නම් ජෙහාන් කෙනෙක් හදාගන්න වෙයි.  

අවසානෙට කියන්න ඕනෙ රුපියල් මිලියන 15 ක් වියදම් කරල අවුරුදු තුනක් ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න පුළුවන් නිෂ්පාදක කෙනෙක් නොවන්න ඔය රසය විඳින්න ලැබෙන්නෙ නෑ. ඔය වගේ ස්ක්‍රිප්ට් එකක් ලියන්න හිතන්න පුළුවන් ලකා, දමිත වගේ අය නැත්නම් ඔය ආතල් එක ගන්න ලැබෙන්නෙ නෑ. සුළු චරිතයක් පවා ඉතාමත් වගකීමෙන් රඟපාපු නළු නිළියො නොවන්න ඔය කතාවත් ගොම ගොඩක් වෙන්න තිබ්බා. දේශපාලන වේදිකාවෙ තිරයෙන් පිටිපස්සෙ වෙන දේවල් කියන්න කැමරාව පිටිපස්සෙ හිටපු හැමදෙනාම නොවන්න අපිට තාමත් බලන්න ටෙලියක් නැතිවෙන්න තිබ්බා.. 

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා