පුස්තකාලය විශ්‍රාම යැවීම | ඇස පාදන රැස


පුස්තකාලය විශ්‍රාම යැවීම

 ඡායාරූපය:

පුස්තකාලය විශ්‍රාම යැවීම

පුස්තකාලය, පොත, කියවීම යනාදී මාතෘකා දැන් දැන් සමාජයෙන් දුරස් වෙමින් පවතී. බොහෝ රටවල පුස්තකාලය මිනිසුන්ගෙන් දුරස්ථ වූයේ ඒ සඳහා  වෙනයම් ආදේශක පැමිණීමෙන් පසුවය. නූතන තාක්ෂණික ලෝකයේ මිනිසුන් බොහෝ අවශ්‍යතා ඉටුකර ගන්නේ ජංගම දුරකතනය හරහාය. එබැවින් කියවීම සඳහා අන්තර් ජාලය භාවිතයට මිනිසා හුරු විය. අද වන විට ලෝකයේ ඊ- කියවීම ජනප්‍රිය වී ඇත්තේ මෙම පසුබිමේය. ලොව නව තාක්ෂණය පැමිණීම පුස්තකලායට හා කියවීමට යම් අභියෝගයක් එල්ල කරනු ලැබූවද නැවතත් කියවීමට,  පොත-පතට හුරුවීම නොබෝ දිනකින්ම සිදුවිය. වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පැමිණීමත් සමඟ කියවීමට ඉදිරිගාමී ප්‍රවේශයක් සකස් වුණි. බොහෝ පුවත්පත් පමණක් නොව, රූපවාහිනී මාධ්‍ය ද වෙබ් අඩවි බවට පත් වූයේ මෙම නව තාක්ෂණික කැරැල්ල හේතුවෙන්ය. එහෙත් ඉන් අදහස් කරන්නේ පොත සහ කියවීම අතර තිබූ සම්බන්ධය සම්පූර්ණ වශයෙන් දික්කසාද වූයේය යන්න නොවේ. මේ මොහොත වන විටත් එංගලන්තයේ නගරාශ්‍රිත බස් රථයක රාජකාරී සඳහා පිටව යන හා එන පුද්ගලයින්ගේ අතෙහි කියවමින් යන පොත පත ගැවසේ. නිවාඩුවකට විදේශ රටකට පිටව යන සංචාරකයකුගේ ගමන් බෑගයෙහි පොතක් දෙකක් තිබෙන්නට හැකිය. ඒ අනුව බොහෝ යුරෝපීය රටවල ලේඛනය ගෞරවාන්විත ජීවිතයක් ගතෙකිරීමට හේතුවන රැකියාවකි. ළමා, තරුණ, වැඩිහිටි කා අතරත් පොත-පත ගැවසීම සුලභ සිදුවීමකි.
එහෙත් ලංකාවේ දී එය එසේ වූයේ නැත. අනුරාධපුර යුගයේ සිට කියවීම හා ලිවීම සිදුකරන ලද්දේ සමාජයේ එක්තරා පිරිසක් පමණකි. පංසලේ හාමුදුරුවෝ, වෙදරාළ, ගුරුන්නාන්සේ, වැනි ප්‍රභූ පිරිසක් පමණි. යටත් විජිත යුගයේ පාසල් අධ්‍යාපනය ආරම්භ වුවත් කියවීම හා ලිවීම පහළ සමාජ ස්ථර වලට කාන්දු වූයේ නැත. කන්නංගර ප්‍රතිසංස්කරණ මගින් කියවීම හා ලිවීම යම් පහළ සමාජ ස්ථර කරා කේන්ද්‍ර ගත වුවත් එය යුරෝපීය තත්ත්වයන් සමඟ සමපාත නොවේ. මේ වාතාවරණය මත ලංකාවේ අප කවදත් සිටියේ පසුගාමී තත්වයකය. නූතන තාක්ෂණික ආගමනය සමඟ පොත සහ කියවීම තව දුරටත් අප අතරින් විතැන්ව ගියේය. හැට, හැත්තෑව, අසූව දශකයේ විසූවන්ට වඩා විශේෂයෙන්ම නූතන පරම්පරාව මෙම ඛේදවාචයට ගොදුරු විය.
පරිගණකය ලංකාවට ආගමනයත් සමඟ පරිගණකයෙන් කළ යුතු වැඩ කොටසක් අපට නොවීය. එබැවින් බොහෝ පිරිසක් පරිගණකය භාවිතා කළේ සිංදු ඇසීමට හෝ සීඩී බැලීමටය. ජංගම දුරකතන හා සමාජ මාධ්‍ය පැමිණීමත් සමඟ ඉන් ඉටුකරගත යුතු නිශ්චිත කාර්යයක් අපට නොවීය. මේ නිසා සමාජ මාධ්‍ය භාවිතය වදුරන්ට දැලිපිහිය ලැබුණා බඳු විය. මෙම තත්වයන් මත පොත, කියවීම, පුස්තකාලය යනාදී වචන දේශීය තරුණ තරුණියන් අතරින් ඉතා වේගයෙන් ඉවත් විය.
වර්තමානයේ කියවීමෙන් අඩුම පුද්ගල කොට්ඨාසය වන්නේ ගුරුවරුන්ය. එවන් පසුබිමක් තුළ ශිෂ්‍යයා කියවන ලියන පුද්ගලයෙකු වන්නේ නැත. සෑම නගරයක් නගරයක් පාසා සිංහල භාෂාව හා සාහිත්‍ය උපකාරක පංති තිබුණ ද එහි එන ගුරුවරු මෙන්ම ශිෂ්‍යයෝද කියවන්නෝ නොවෙති. දිනක් මට අපූරු සිදුවීමක් විය. 9 ශ්‍රේණියේ දරුවන් පිරිසකට නාට්‍ය හා නවකතාව අතර වෙනස කාලච්ඡේද දෙකක් උගන්වමින් සිටියමි. පාඩම හොඳින් අවබෝධ කරගත් බවක් ද දක්නට ලැබුණි. පාඩම අවසානයේ ඔවුන් විසින් කියවන ලද නවකතාවක නමක් පවසන ලෙස මම යෝජනා කරන ලද්දේ නිකමට මෙන්ය. කිසිම දරුවෙක් අඩුම තරමින්  මඩොල්දූව හෝ සම්පූර්ණයෙන් කියවා නැත. පුස්තකාලයක් තිබෙන, ඊටම වෙන් වූ සේවකයෙක් හා ගොඩනැගිල්ලක් තිබෙන සහ සෑම වසරකම ලක්ෂ දෙක තුනක පොත් මිළදී ගන්නා වර්තමාන පාසලක කියවීමේ තත්ත්වය එයයි.
තව දුරටත් අපට දේශීය සාක්ෂරතාව ගැන උදම්ඇනිය හැකි ද? ගියවසරේ පළවූ එකම එක නවකතාවක් කියවා හෝ අඩුම තරමින් ඒවායෙහි නමවත් නොදන්නා සාහිත්‍ය ගුවරුන් දහස් ගණනක් දරුවන්ට සාහිත්‍ය ඉගැන්වීම වෙනුවෙන් මාසිකව වැටුප් ලබන බව ඔබ දන්නවාද? අපට කොහේ හෝ වැරැදී තිබේ.
මුහුණ පොතින් ජාතිවාදය වපුරන දරුවන් අපට අත්අඩංගුවට ගත හැකිය. සිරගත කළ හැකිය. සමාජ මාධ්‍ය තහනම් කළ හැකිය. එහෙත් අප ඇසිය යුත්තේ ඔවුන්ගේ මනස සකස් කරන්නට ගුරුවරුන් වශයෙන් අපද දෙමාපියන් වශයෙන් ඔබ ද රටක් වශයෙන් නැවත අප සියල්ලෝම යම් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ ද යන්නයි. අපේ රටේ පුස්තකාල තිබේ. ලෝකයේ හොඳම පොත්-පත් තිබේ. එහෙත් කියවීමට මිනිසුන් තනා නැත.
හිස් මිනිසුන් බිහිකරන පාසල් වහ වහා පුස්තකාලය වෙත දරුවන් යොමු කිරීමේ කාලය එළඹ ඇත. පොත් හොඳම මිතුරන් කරගන්නා මිනිසුන් කිසි දිනක අනෙකා හොඳම හතුරා කර ගන්නේ නැත. නිශ්ශංක විජේමාන්නගේ ‘හඳ පළුව තනි තරුව’ කෘතියෙහි එන අනිල්ට ආදරය කරන මිනිසුන් කිසිවකුට ගිනි තියන්නේ නැත.
අප තැනිය යුත්තේ එවන් පිරිසක් මිස කවන්ධ මිනිසුන් නොවේ.

[ගාමිණි බස්නායක]

මාතෘකා