ඡන්දෙ දිනුව මාළු

 ඡායාරූපය:

ඡන්දෙ දිනුව මාළු

දෙමළ කඩෙන් ගෙනාපු පෙටිටියෙන් කළුපාට සුරුට්ටුවක් අතට අරගෙන දෙතුන් පාරක් ඒමේ අතට පෙරළල ගිණිකූරු දෙක තුනක් වියදම් කරල කෙරවල රතුපාට වුණාම සුදුපාට දුම් වළලු දෙක තුනක් උඩට යවල සීය ඊළඟ කතාව පටන් ගන්නකම් අපි බලාගෙන ඉන්නව.
‘කියන්නකො තව එකක්’ ඉවසීම නැති එකෙක් එහෙම කිව්වට කතාව ඉවරවෙන්නත් කලියෙන් සමහරුන්ට පුටු උඩම නින්ද ගිහින්.
පුංචි දවස්වල සීය කියල දීපු සිය ගාණක් කතන්දරවලින් තවමත් කතා ගොඩාක්ම මතකයෙ තියෙනව. සමහර කතන්දරවල තේරුම මතක්වෙන්නෙ අද සිද්ධවෙන සමහර දේවලුත් එක්කයි.
‘ඔන්න එකොමත් එක දූපතක් තිබුණ. දූපතක් කියන්නෙ හැම පැත්තෙන්ම මුහුදෙන් වටවුණ බිමක්නෙ .  දූපතේ හිටපු හැමෝම ජීවත් වුණේ මුහුදු රස්සාවෙන්. ඒ කියන්නෙ මාළු අල්ලල.
මේ  මිනිස්සු ජීවත් වුණේ හරිම සාමකාමීව. කවදාවත් සන්ඩු සරුවල් වුණේ නැහැ. එකම පවුලක් වගේ . පිරිමි කට්ටිය මුහුදු ගිහින් අල්ලගෙන එන මාළු ගෑණු කට්ටිය තමයි වෙන්කරල විකුණන්නෙ. විකුණන්න බැරි මාළු කරවල වලට වේලන්නෙත් පවුල්වල කට්ටිය එකතුවෙලා. අන්තිමට විකුණල හම්බවෙන සල්ලිත් හැමෝම සමව බෙදාගන්නව. දූපතේ මිනිස්සු මෙහෙම සමඟියෙන් වැඩ කරන හින්ද එයාලට අනික් දූපත්වල මිනිස්සුන්ට වැඩිය ලොකු මුදලකුත් ලැබුණ. මාළු කරවල සල්ලිවලට ගන්න  දූපතට එන වෙළෙන්දන්ටත් කුණු කොල්ලෙට මාළු අස්වැන්න ගන්න ලැබෙන්නෙ නැහැ.
මාළු ගන්න දූපතට එන එක කපටි වෙළෙන්දෙක් කල්පනා කෙරුව දූපතේ මිනිස්සු අසමඟි කෙරුවොත් කුණු කොල්ලෙට මාළු අස්වැන්න ඩැහැගන්න පුළුවන්වේවි කියල.’ ආයිත් කළු සුරුට්ටුවට ගිණි තියල සුදුපාට දුම් වළලලක් උඩට යවල සීය කතාව පටන් ගන්නව.
‘මේ මනුස්සය  රැයක්  දූපතේ ගතකරල මාළු කරවල අරගෙන යන්නයි පුරුදුවෙලා හිටියෙ. එක දවසක් හැන්දෑවෙ ගනුදෙනු අහවර කරල සතුටු සාමීචියෙ ඉන්න වෙලාවෙ මිනිසුන්ගෙන් පුංචි ප්‍රශ්නයක් ඇහුව. ‘ උඹලා වැඩියම කැමති මාළුව මොකාද?
ධීවරයො එක එක උත්තර දුන්නා. සමහරු තෝරා කීවා. තවත් අය කෙළවල්ලට. පරවුන්ට කැමති පිරිසකුත් හිටියා. කොහොම හරි මාළු ජාති හත අටකම නම් කියවුණා.
‘හොඳයි එහෙනම් උඹල ගෙවල්වලට ගියහම ගෑණුන්ගෙනුත් අහල බලපල්ලා උන් කැමතිම මාළුව මොකාද කියල. ඊළග පාර මම එද්දි උඹලගෙ දූපතේ ජනප්‍රියම මාළුව මොකාද  කියපල්ල’  කපටි වෙළෙන්දා මිනිස්සුන්ට කීව.
ගෙවල් වලට ගිය ධීවරයො මේ ප්‍රශ්ණය ගෑනුන්ගෙන් අහපුවම එයාලත් වෙන වෙන උත්තර දුන්නා. කොහොම හරි  ගෑනුත් මේ ප්‍රශ්ණයට උත්තර හොයන්න ගත්ත.
ඊළඟ පාර වෙළෙන්දා දූපතට එනකම් මිනිස්සුයි ගෑනුයි මග බලාගෙන උන්නා, තමන් කැමතිම මාළුව මොකාද කියන්න.  වෙළෙන්දට දූපතට ගොඩවෙන්නත් ඉස්සර මිනිස්සු මොර දෙන්න ගත්ත තමන් කැමතිම මාළුවගෙ නම කියල.
වෙළෙන්ද සන්සුන්ව  දූපතේ ජනප්‍රියම මාළුව තෝරන්න ඡන්දයක් තියමු කියල යෝජනා කරල ඒකට දිනයකුත් දාගත්ත.
දැන් මිනිස්සු මුහුදු යන එකත් ගෑනු කරවල වේලන එකත් නවත්තල තමන් කැමති මාළුවට අනික් අයවත් නම්ම ගන්න ඡන්ද සටනට බැස්සලු. සමහර තැන්වල ලොකු ගැටුමුත් ඇතිවෙලා. එක ගෙදර ජීවත්වෙන ගෑනියි මිනිහයි අතරත් අමනාපකම් විරසක ඇතිවුණාලු. මොකද මනුස්සයා තෝරට කැමතිවුණාට ගෑනි කැමති පරවටලු . ඔය වගේ ප්‍රශ්න කෙලවරක් නැතිලු.
අන්තිමට ඡන්දෙ තියෙන දවස වෙද්දි මුළු ගමම බෙදිලා වෙන්වෙලා ඉවරයි. මුළු දූපතම එකාට එකා වෛරකරන තත්වයකට වැටිලා”
“එතකොට ඡන්දෙන් දිනුවෙ මොන මාළුවද” කියල  කොනක හිටිය කෙනෙක් සීයගෙන් ඇහුව.
“දිනුවෙ මාළුවෙක් නෙමෙයි , අර කපටි වෙළෙන්ද “ කියල සීය සුරුට්ටුවෙ කෙරවල හපල හිනාවක් දැම්මට ඒක තේරුණෙ එදා  එතන හිටපු කීප දෙනෙක්ට විතරයි. ඉඳල හිටල දුරකතනයෙන් කතා කරල   රටේ තොටේ විස්තර කියන කුරුණෑගල  සුමනවීර මාම ඊයෙ කියපු කතාවෙන් පස්සෙයි  එදා සීය කියල දුන්න කතාව මටත් හරියට තේරුම් ගියෙ.
‘අපේ කොට්ඨා‍ෙසට තිබු‍ෙණ ඡන්ද දෙදහස් පන්සියයක් විතර . ඒ දෙදහස් පන්සියයෙන් දෙදාහක් විතරම නෑදෑයො. ඒ කියන්නෙ ගමේ මුල් පදිංචි කාරයො. අනික් අය ගමේ ස්කෝලෙට නැත්නම් වෙන රාජකාරිවලට  ඇවිත් පදිංචි වෙච්චි අය. ඒ අයගෙනුත් ගොඩක් දෙනා දැන් අවාහ විවාහ වෙලා ගමේ මිනිස්සුන්ට නෑකම් ඇතිවෙලා. අපි බොහොම සාමකාමිව ජීවත්වෙච්චි ගමක්. ගමට නායකයෙක් තෝරන්න කියල පහුගිය දවස්වල පවත්වපු ප්‍රාදේශිය සභා ඡන්දෙන් අද ගම සීසීකඩ වෙලා. එක බත්පත කාපු යාළු මිත්‍රයො පහුගිය ඡන්දෙන් පස්සේ අද පාරක තොටකදි දැක්කත් අහක බලාගෙන යන තත්වයට ඇද වැටිල. එකම පවුල්වල සහෝදරයො ඇන කොටාගෙන, මරනෙකට මගුලකටවක් නොයන තැනට පත්වෙලා.
 එක එක පක්ෂවලින් පාට වලින් ඡන්දෙ ඉල්ලුවෙ එකම පවුල්වල උදවිය.  දේශපාලන පක්ෂවලින් ඇවිත්  මුළු ගමම බේද කරල ගියා.  මේ වෙච්චි  අමනාපකම් හිත් වලින් තුරන්වෙන්න තව අවුරුදු ගාණක් යාවි. “ ‘ඒත් ඉතින් ඒ වෙද්දි ආයිත් ඡන්දයක් එනවනෙ.‘ මට නිකමට වගේ කියවුණා.

මාතෘකා