අද දවසේ කම්කරුවා

 ඡායාරූපය:

අද දවසේ කම්කරුවා

කම්කරුවා යනු කවරෙක්ද යන්න අද බොහෝ අපහැදිලි තත්වයක් ඇත. අද කම්කරුවාගේ අර්ථ දැක්වීම තුළම සමස්ත කම්කරු පන්තිය කුඩාවී ඇත. කය වෙහෙසා රළු වැඩ කරන පුද්ගලයකුගේ චිත්‍රයක් කම්කරුවා යන වදන ඇසූ පමණින් ඔබට හැඟී යනු ඇත. නමුත් දශක කිහිපයකට ප්‍රථම වූ කම්කරුවාගේ ස්වරූපය හා අද කම්කරුවාගේ ස්වරූපයේ යම් වෙනස්කම් ඇත.  මනෝභාවිකව තමන් කම්කරුවන් යැයි කියන්නට අකමැති වන පුද්ගලයන් රැසක් අද සමාජයේ ඇත. ඒ කම්කරුවා යන්නෙහි වූ පුළුල් අර්ථකථනය ලඝුකර බරවැඩ කරන පුද්ගල රූපයක් කම්කරුවා ලෙස ආදේශ කිරීම නිසාය. ඒ අර්ථයෙන් ගත් කල එංගලන්තය වැනි රටක කම්කරු පක්ෂයක් තිබිය නොහැක. නමුත් අප කම්කරුවන් අර්ථ දක්වන්නේ නිසි ලෙස නොව ආයතන ව්‍යුහයන්ගේ කම්කරු ප්‍රභේදයන්ට අනුරූපව බව ඉතා පැහැදිලිය. කම්කරුවා යන වචනයට සීමා නොවී ශ්‍රමිකයා යන පුළුල් වචනය දෙස බැලීම තුළ කම්කරු පන්තියේ සැබෑ බලය විග්‍රහකළ හැකිය. ශ්‍රමය සපයන්නා ශ්‍රමිකයාය. ශ්‍රමය යනු භාණ්ඩ හා සේවා උත්පාදනය සඳහා යොදවන මිනිස් කායික හා මානසික ශක්තීන්ගේ එකතුවයි. ඒ සඳහා දායකත්වය දක්වන පිරිස ශ්‍රමිකයෝ වෙති. ඒ අනුව ගත් කල ඔබට හැඟෙන සංවර්ධන වැඩබිමක බර උසුලන්නා පමණක් නොව ඔබද කම්කරුවෙකු බව වටහාගත හැකිය.  
ආයතන ව්‍යුහය තුළ විධායක, අර්ධ විධායක, විධායක නොවන හා කම්කරු ලෙස විවිධ ලෙස ඛණ්ඩනය කර දැක්විය හැකිය.මෙම ඛණ්ඩනය තුළ කම්කරුවන් ලෙස දකින්නේ කායික ශ්‍රමයෙන් දායක වන්නන් පමණක්ය. නමුත් මානසික ශ්‍රමයෙන් දායකත්වය දක්වන ශ්‍රමිකයාට ඔහු කම්කරුවකු නොවන බවට මානසික අල්ලසක් ලැබී ඇත. ඔවුන් කම්කරු අරගලයෙන් වෙන්ම යන්නේ එබැවින්ය. නූතන ආර්ථිකය තුළ දැනුම පදනම් වූ අර්ථ රටාවක් දෙසට ලෝකයම ගමන් කරමින් ඇත. පරිඝනක මෘදුකාංග නිර්මාණය කරන සමාගමක සිය දහස් ගණනකට තමන් කම්කරුවන් යැයි හැෙඟන්නේ නැත. ඒ ඔවුන්ගේ කායික දායකත්වය අඩු නිසාය. මෙසේ මානසික දායකත්වය දක්වන ශ්‍රමිකයන්ගේ ක්‍රියාකාරිත්වය මත නූතන කම්කරු අරගල දියත් වනු ඇත. අපට හුරු පුරුදු වතුකම්කරුවන්, වරාය කම්කරුවන්, රෝහල් සුළු සේවකයන්ගේ කම්කරු අරගල යම්කිසි ආකාරයේ වෙනසකට බඳුන් වන්නේ පසුගිය සමයේ අදූරදර්ශී පාලනය තුළ නිරන්තරයෙන් සටනක් හෙද, ගුරු සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ, වෛද්‍යවරුන්ගේ වෘත්තීය අරගල නිසාය. නමුත් ඉදිරි දශකය තුළ සුපිරි වෙළඳසැල් සේවකයින්, අලෙවි නියෝජිතයින්, ගිණුම් නිලධාරින් මෙන්ම පරිඝනක මෘදුකාංග නිර්මාණකරුවන්ගේ වෘත්තීය අරගලද දකින්නට ලැබිය හැකිය. ඒ රටේ ආර්ථිකය ගමන් කරමින් ඇති දිශානතිය නිසාය.  
රටේ කම්කරු නීති ගැන මේ සියලු පිරිස් අතර ඇති දැනුම ඉතාමත් අල්පය. තමාට සිදුවී ඇති අසාධාරණය ගැන තේරුම් ගන්නට හෝ සොයා බලන්නට උගත් නූගත් භේදයකින් තොරව ජනතාව දැනුවත් නැත. බොහෝ පිරිස් තමාට වන අසාධාරණය විඳ දරාගෙන සිටීමට පෙළඹී ඇත. ආයතනයක දියුණුව රඳා පවතින්නේ එහි සේවකයන්ගේ කැපවීම මතය. නමුත් එම කැපකිරීමට සාධාරණය ඉටුවන අවස්ථාව ඉතා අල්පය. අද දවසේ ආයතන කළමනාකරණයේදී ඉතා සූක්ෂ්ම භාවිතා යොදාගනී. එක් එක් පුද්ගලයන්ගේ හැකියාව වෙන් වෙන්ව මිල කිරීම තුළින් සේවකයන් අතර පැහැදිලි බෙදීමක් ඇති කරයි. හැකියාව, ඵලදායිතාව සහ ප්‍රතිඵලවලට අමතරව එක් එක් පුද්ගලයන්ගේ අභිලාෂය සහ අභිමතාර්ථ ඉතා සූක්ෂ්ම ලෙස කළමනාකරණය කරනු දක්නට ලැබේ. මෙය දේශපාලනික හැකියාව (Political Skills) ලෙස හඳුන්වමින් කෙනෙකුට යම් තනතුරක් හෝ වරප්‍රසාදයක් පෙන්වා ඔහු ඒ සඳහා පෙළඹවීම තුළින් සමාගමේ අරමුණු ජය ගැනීමයි. මෙහිදී ආත්මාර්ථකාමීන් පිරිසක් ඉහළට නඟින අතර ඔවුන් සෙසු සේවකයන් පාගා දැමීමට මෙන්ම පාවා දීමටද මැලිවන්නේ නැත.  
වර්තමානයේ ශ්‍රමිකයන්ගේ අපේක්ෂාව ක්ෂණික දියුණුවය. කලකට පෙර වරායේ විදුලි බල මණ්ඩලයේ, තෙල් සංස්ථාවේ රැකියා සෙවූ තරුණයන් උත්සාහ කරන්නේ කොරියාව වැනි රටවලට යෑමටය. එය ඉතා පැහැදිලි වූයේ නිල් බළකායට පැමිණි පිරිස් වරායේ රැකියා ඉවතදා කොරියානු රැකියා ඉල්ලීමත් සමඟය. මෙසේ කම්කරුවාගේ සිදුවන වෙනස්කම් සමාජය නව මානයකට ගෙනයනු ඇත. දැඩි මර්දනයක් හෝ පීඩනයක් ඇති නොවන්නට කම්කරුවන්ගේ නැගිටීමක් වන්නට ඇති ඉඩකඩ ඉතා අල්පය. නමුත් ලංකාව තුළ ඉතා සවිමත් කම්කරු නීති පද්ධතියක් ඇත. නූතන ශ්‍රමිකයාට සිය වරප්‍රසාද ඉල්ලීම වෙනුවෙන් අරගල කරන්නට සිදුවනු ඇත්තේ නීතිය ඉදිරියට යෑමෙන්ය. මන්දයත් පසුගිය සමය තුළ ලබාදුන් ආදර්ශය තුළ උද්ඝෝෂණ මඟින් ලබාගත් සුවිශේෂි දෙයක් නැති බැවින්ය. එබැවින් වෘත්තීය සමිති යොමුවන විකල්පය උසාවි වෙත යොමුවීම විය හැකිය. නමුත් රටේ නීතිය යාවත්කාලීන වන්නේ ඉතා මන්දගාමී වීම තුළ සමාජ අසහනයක් ගොඩනැගීමටද ඉඩක් ඇත. අවසාන වශයෙන් මැයි දිනය නම් සුපුරුදු දේශපාලයන්ගේ වහසි බස් දොඩන දිනයක් මිස කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන සිනක් නම් නොවනු ඇත.

මාතෘකා