දම්මි - සුගත්ලා සහ ජයලත්ලා

 ඡායාරූපය:

දම්මි - සුගත්ලා සහ ජයලත්ලා

ඒ        සුන්දර මනුස්සයව මට මුලින්ම හම්බවුණේ අපේ අම්මගෙ මහගෙදර ඇඳක් යට තිබිච්ච පොත් පුරවපු ට්‍රන්ක පෙට්ටියක් ඇතුළෙන්. එතකොට මට වයස අවුරුදු 10ක් විතර ඇති. ශ්‍රී සඟරා, ෆිල්ම් ෆෙයාර් සඟරා, අපේ අම්මා සහ එයාගෙ සහෝදරියන්ගෙ පාසැල් කාලෙ සමරු පොත්, එක්ක මේ සුන්දර මනුස්සයගෙ ගැහැණු ළමයි පොත තිබුණා. ඒ ට්‍රන්ක පෙට්ටියෙ තියෙන දේවල් කියවන්න ඕනෙ හොරෙන් කියන එක හේතුවක් නැතුවම මම තේරුම් අරන් හිටියා. ඒක මගෙ අම්මා සහ ඇගේ  සහෝදරියන්ට අයිතිවෙලා තිබුණු අතීත බාලිකා ලෝකය. පිරිමියෙක් සහ දරුවෙක් වීම නිසා ඒ ලෝකෙ ඇතුලෙ ඉඳලා අහුවෙලා ඒ අයව අවුල් කරන්න සහ ඒ සුන්දර ලෝකය අහිමි කරගන්න අකමැති නිසා මම ඒ ලෝකෙට ගියෙ ඉතාම රහසින්. මම මේ කියන සුන්දර ලියන්නව මට මුලින්ම මුණ ගැහුණෙ ගැහැණු ළමයි හරහා.
ඒ පොත මාව සම්පූර්ණයෙන වශී කරගත්තා. මම වැඩියක්ම පිස්සු වැටුනෙ ඒකෙ සෝමා කියන නංගිගෙ චරිතයට. පස්සෙ මම කරුණාසේන ජයලත් මහත්මයගෙ පොත් එකින් එක හොයාගෙන කියවන්න පටන් ගත්තා. මොකක් හරි හේතුවකට ජයලත් මහත්මයගෙ පොත් පාසැල් දරුවන්ට කියවන්න නුසුදුසුයි වගේ දෙයක් ඉස්කෝලෙදි මම අත්විඳලා තිබුණා.
වතාවක් නමයෙ හෝ දහයෙ පංතියෙ ඉඳිද්දි ජයලත් මහත්තයගෙ ‘කුල කුමරිය’ කතාව ඉස්කෝලෙ පුස්තකාලෙන් මට ගෙදර ගෙනියන්න දුන්නෙ නැහැ. ඒ වෙනුවට වෙන පොතක් තෝරගන්න කියලා ඒ පොත පුස්තකාලය භාරව හිටපු සර් ලාච්චුවෙ දාගත්තා.
ජයලත් මහත්තයා තමන්ගෙ පොත්වලින් ගොඩක් වෙලාවට අල්ලන්නෙ පහළ මධ්‍යම පාංතික තරුණ ජීවිත එක්ක ප්‍රේමයේ ගණුදෙනුව. ඔහු ඉතාම සුනම්‍යව ස්ත්‍රීත්වය තුළට කිඳා බහිනවා. ගැහැණු ළමයි එකේ කුසුම් වෙන්න කිසිම ලියන්නෙකුට ලේසි නැහැ. අනික ඔහු චරිතත් එක්ක සරළ වෙනවා, බොළඳ වෙනවා, ගලනවා.
ඔහු එක්තරා යුගයක ප්‍රේමය කියන සංස්කෘතික නිර්මිතයේ ශ්‍රී ලාංකික සංස්කාරකවරයෙක්. ප්‍රේමය යනු මෙවැනි දෙයක් කියලා කලාව විසින් වර නගනවා. චිත්‍රපටි, පොත්, සිංදු, කවි හරහා මිනිස්සු ප්‍රේම කරන්න ඉගෙන ගන්නව.  ආදරය කරන මිනිස්සු තමන්ගෙ ආදරයත් එක්ක හැසිරෙන්න ඕනෙ විදිය,  එහි ස්වරූප දකිනවා සහ අත්හදා බලනවා. ශ්‍යාම් සෙල්වදොරෙයිගෙ ෆනී බෝයි කියවන තුරුම තමන් තවත් පිරිමි කෙනෙකුට ආකර්ෂණය වීම අවුල් සහ තමන්ට පිස්සු කියලා හිතාගෙන හිටි බව වරක් මගෙ සමකාමී මිත්‍රයෙක් කිව්වා. ඔහු ඊට කලින් ඒ සම්බන්ධ ශාරීරික හා මානසික අවශ්‍යතා වලින් එහා ගිය සංස්කෘතිකමය නිරාවරණයකට ලක්වෙලා හිටියෙ නැහැ. ඔහුට ආදරයේ මුල් පොත වුණේ ෆනී බෝයි. ඒ වගේ එක්තරා යුගයකම ලංකාවෙ ආදරයේ පොත් වෙලා තිබුණෙ කරුණාසේන ජයලත් මහත්මයගෙ පොත් කිව්වොත් මම වැරදි නැහැ කියලා හිතනවා.
ඔහුගෙ ගොළු හදවතේ දම්මි, සුගත් හරහා ගීත, චිත්‍රපට, ටෙලි නාට්‍ය ගණනාවක් බිහිවුණේ මම මේ කියපු කාරනාව නිසා. ඔහු දැනෙන්න ලිව්වා සහ තමා අවට ඒ මොහොත ස්පර්ෂ කළා. දම්මිලා, කුසුම්ලා, සෝමෙලා හරහා ඒ මොහොතේ ආදරය ස්පර්ෂ කරමින් පරමාදර්ශ නිෂ්පාදනය කළා. ඔහුගෙ කතා ඇතුළෙ අපිට මුනගැහෙන්නෙ ඉවසන, පරිත්‍යාග කරන, දයාවන්ත ආදරවන්තයො. අහිමි වීම හමුවෙ බොන, චොර වෙන, අනන්තයටම බලන් ඉන්න පෙම්වත්තු. ඒ ආදර කතා  අතිශය දැනෙන සුළුයි.
දම්මි වෙරළු දෙන මොහොත වගේ සදාතනික සාහිත්‍ය මොහොතවල් සිංහල සාහිත්‍යයෙ අඩුයි.
මගෙ මුල් පාසැල වෙච්චි කළුග්ගල බොස්කෝ එකේ පරණ පැවිලියන් එක ගාවදි අපේ අම්මා කියපු කතාවක් මට මතක් වෙනවා. " ගොළු හදවත ෆිල්ම් එක ශූට් කරලා තියෙන්නෙ මෙහෙ, අර දම්මි වෙරළු දෙන සීන් එක..." ඒ වෙලාවෙ අපේ අම්මගෙ ඇස් දිලිසුන හැටි මට තවම මතකයි. කරුණාසේන ජයලත් කියන්නෙ සිංහල සාහිත්‍ය ඇතුළෙ  සදාකාලික ආදරවන්තයා. ඔහුට පස්සෙ මහේෂ් රත්සර මද්දුමාරච්චි, චන්දි කොඩිකාර, ජයන්ත කළුපහන, එඩ්වඩ් මල්ලවාරච්චි, සුජීව ප්‍රසන්න ආරච්චි වගේ ගොඩක් දෙනෙක් ඒ පාරෙ ගියත් ඒ කිසිම කෙනෙක්ට ජයලත් මහත්තයා තරම් අව්‍යාජ වෙන්න බැරි වුණා කියලයි මට හිතෙන්නෙ.