අලි ෆර්කා තුරේ | ඇස පාදන රැස


අලි ෆර්කා තුරේ

 ඡායාරූපය:

අලි ෆර්කා තුරේ

අජිත් කුමාරසිරි ගිටාර් වාදනය කරනු ඇසූ මුල්ම අවස්ථාවේ සිහියට පැමිණියේ අලි ෆර්කා තුරේ ගේ ඩිබේ නම් වාද්‍ය ඛණ්ඩයයි. මිනිස් මනස් ඉන්ද්‍රියය ගැන කවර ප්‍රවේශයකින් බැලුවද ඒවායේ සමාප්ති නිගමනයන් සමාන විය යුත්තේ ඒවායින් විශ්ලේෂණය කෙරෙන්නේ එකම ප්‍රස්තුතයක් බැවිනි. ගිටාරය කොහේ වාදනය වුවත් එහි සිරුර සමානය. එහි තත් හා ස්වර ස්ථානයන් සමානය. අලංකාර උපදවන ආකාරය වෙනස් වන නමුත් මූලික ස්වර ස්ථාන කෙසේවත් වෙනස් වන්නේ නැත.ඩෙසර්ට් බ්ලුස් නමින් හැඳින්වෙන අලි ෆර්කා තුරේ ගේ ගීත, ඒවායේ මෝහනීය, පුනරාවර්තනීය බව නිසා ලෝ ප්‍රකටය.
මාලි යනු සහරාව ඉම වූ බටහිර අප්‍රිකාවේ ඉතා දුගී, කුඩා රටකි. එයට පහතින් ඇති ඝානාවේ හෝ අයිවරි කෝස්ට් හි ඇති කුඩා කොකෝවා වතුවල වැඩ කිරීමෙන් ස්වර්ග සම්පත් ලැබිය හැකි යයි කියා මාලියානු ළමුන් දේශසීමා හරහා කුට්ඨනය ඉමිහිරි චොකලට් නිසා ඇති වෙන කල් කදුරු රසයකි. අලි ෆර්කා තුරේ මාලියානු සංගීත කරුවෙකි. ඔහුටිම්බක්ටුවේ උපන්නෙකි. මළ දරුවන් නවයකට පසු උපන් දහවෙනි දරුවා වන අලි ඉබ්‍රහිම්, ඔහුගේ කවට නම වන ‘තුරේ’(බූරුවා) ලෙස නම් කෙරෙන්නේ ඇස්වහ කටවහ දුරු කිරීමේ කෙමක් වශයෙනි. බූරුවා උගේ දැරීමේ ශක්තිය හා මුරණ්ඩු කම නිසා සුවිශේෂ වන සත්ත්වයෙකි.
අලි ෆර්කා තුරේ,බොනවිස්ටා සෝෂල් ක්ලබ් වැඩසටහන හා එකතුවීමට සිටි නමුත් කියුබාවට ඇතුල්වීමේ අවසරය නොලැබුණු සංගීත කණ්ඩායමේ එක අයෙකි. ඔහු අනෙකුත් බටහිර අප්‍රිකානු සංගීතකරුවන් මෙන් සංගීත පරම්පරාවක සාමාජිකයෙකු නොවේ. ඔහුගේ සංගීත සගයෙකු වන ‘කොරා’ සංගීත භාණ්ඩය වාදනයේ විශාරදයෙකු වන තොමානි ඩයබටේ ඔහුගේ ‘හත්මුතු’ පරම්පරාවේ හැත්තෑ දෙනෙකුගේ නම් සඳහන් කිරීමට සමත් බව කියවේ. කොරා තත් භාණ්ඩයකි, එය හාර්ප් තත් භාණ්ඩයේ මුත්තා යැයි කියවේ, එනයින්, එය පියානොවේ කිරිකිත්තා විය යුතුය.
සිය සංගීත දිවිය බටහිර අප්‍රිකානු සංගීත භාණ්ඩ ඇසුරේ වර්ධනය කරගන්නා අලි ෆර්කා, ඝානාවේ ටැක්සි රියදුරෙක් ලෙස අවුරුදු විසි ගණනක් වැඩ කරමින් ගිටාර වාදනය ප්‍රගුණ කළ බව ප්‍රවාද ගතව ඇත. ඔහු මාලි අගනුවර වන බමාකෝ හි ඇති ගුවන්විදුලි විකාශනාගාරයේ සේවයට බැඳී මියැසි රචනාවන් හා පටිගත කිරීම් කළේය. ඇමෙරිකානු සෝල්, බ්ලුස් හා ෆන්ක් ගැන ඔහු දරන අදහස, ඒවායේ මූලය බටහිර අප්‍රිකානු සංගීතය බවයි. 1980 ගණන් වල සිටම තමා උපන් නියෆන්කේ හි ගොවිපලක් ආරම්භ කළ ඔහු පසුව එහි නගරාධිපති වූවේය. වාරිමාර්ග හා කෘෂිකර්ම සංවර්ධනය ඔහුගේ පුද්ගලික ධනය යොදවා සිදුකළේය. අලි ෆර්කා තුරේ ගේ මැටි ශබ්දාගාරය විශිෂ්ට එකක් යයි කියවේ, ස්වදේශීය මැටි වාස්තු ශිල්පය අනුව ඉදිකළ එහි ශබ්ද ගුණය අප්‍රිකානු ආත්මය තුළ නින්නාද දෙනු වැනි යයි මිතුරෙක් වරක් මා හා කීවේය.
යුසුෆ් න්ජෝරේ අයිවරි කෝස්ට් හි කොකෝවා වවන ප්‍රජාවන් ගේ සංවර්ධනය ගැන, වැඩ කරන මගේ මිතුරෙකි. ඔහු මා හා වරක් කීවේ, බොකෝ හරාම් අන්තවාදීන්, මාලි හි ක්‍රියාකාරී වීමට පටන්ගත් වහාම ඔවුන්ගේ ඉලක්කය වූයේ, සංගීතකරුවන්, කතන්දර කියන්නන්, චිත්‍රශිල්පීන් වැනි වෙනස් සිතීමක් ඇති, සංස්කෘතික බැඳීම් තනන්නන් බවයි. ‘කොණක ඉඳන් මරන්න ගත්තා,’ ඔහු කීවේය. ‘මේ තමයි රටක අධ්‍යාත්මික නැංගුරම්, ඒ අයව නැති කළාම අනිත් ඕනම අන්තවාදී අදහසක් විචාරයක් නැතිව තහවුරු කරන්න පුළුවන්.’
2006 අවුරුදු 67ක් වූ අලිඉබ්‍රහිම් ෆර්කා තුරේ 2006, මාර්තු 8 වෙනිදා නින්දේම මියගොස් සිටියේය. ඔහුගේ සමහර සංගීත නිර්මාණ තල්වින් සිං අතින් ඉලෙක්ට්‍රොනික සංගීතය ලෙස ප්‍රතිනිර්මාණය වී ඇත. ඒවාට ළඟ ළඟ සවන් දෙන විට මියැසි-අන්තර-මියැසියක් ඇසෙන්න ගනී. එය ඉන්ද්‍රිය රහිත අවකාශයක ස්පර්ශ කළ නොහැකි ස්ඵන්දයක් ලෙස දැනෙන්න ගනී. අන්තවාදයට එරෙහිව ඒ ස්ඵන්දය ලොව පුරා ඇසෙන්න සැලැස්විය යුතුය.