යක්දෙස්සියන්ගේ සබත් දින සිහිනය | ඇස පාදන රැස


යක්දෙස්සියන්ගේ සබත් දින සිහිනය

 ඡායාරූපය:

යක්දෙස්සියන්ගේ සබත් දින සිහිනය

සබත හෙවත් උපෝස්ථ දිනය වන්නේ සතියේ සත්වෙනි දිනයයි; එනම් ඉරිදා දිනයයි. බයිබලීය උත්පත්ති කථාව ඔබ විශ්වාස කරන්නේ නම් දෙවියන් දින සයක් මුළුල්ලේ ලෝකය මැවීම සඳහා වැඩ කළ බවත්, සත් වෙනි දින දෙවියන් විවේක ගත් බවත් කීමට හැකිවනු ඇත. සැබවින්ම මේ සමඟින් ඔබට දෙවියන්ගේ සර්වබලධාරීත්වය සම්බන්ධයෙන් නැතිනම් ලෝකය කෙතරම් සංකීර්ණදැයි යන්න සම්බන්ධයෙන් හොඳ අදහසක් ගැනීමට හැකිවනු ඇත. සරළ සංසන්දනයකදී සිතාගත හැකි කරුණ වන්නේ එක්කෝ සර්වබලධාරී දෙවියන්ට පවා නිර්මාණයට දින සයක් ගත වන තරමට ලෝකය සුවිශාල සහ අති සංකීර්ණ වන බවයි. එසේත් නැතිනම් දෙවියන් වහන්සේගේ සර්වබලධාරීත්වයටද සීමාවන් පවත්නා බවයි. වෙනත් ලෙසකින් දක්වන්නේ නම් දෙවියන් සර්වබලධාරී වන්නේ නිරපේක්ෂ තලයකදී නොවේ.
තම දර්ශනයට නීට්ෂියානු ආභාෂය කුලවද්දාගනිමින් 'බ්ලැක් සබත්' හෙවිමෙටල් කණ්ඩායම අසා සිටින්නේ "දෙවියන් මිය ගොස්ද?" යනුවෙනි. අඳුරේ අතරමංව, ආලෝකය නොපෙනෙන දුරක සිටිනා කථා නායකයා පවසන්නේ රාත්‍රිය පසුකර යෑමට පියා, සහෝදරයා, නිර්මාපකයා සහ ගැලවුම්කරුවා පිළිබඳව වන භක්තිය, විශ්වාසය තමන්ට උපකාරී වන බවයි. මෙම ගීතයේ කවරයේ ෆ්‍රෙඩ්‍රික් නීට්ෂේ සිටින්නේ සැබවින්ම අහඹුවකින් නොවේ.
දෙවියන් සැබවින්ම මියගොස්ද යන ප්‍රශ්නය නැඟීමට ඔබ සැබවින්ම දෙවියන් සිටිනා බව හෝ අඩු තරමින් සිටි බව විශ්වාස කල යුතුවේ! අඩු තරමින් දාර්ශනික තලයකදී වුවද එය වෙනස් නොවේ.
අදේවවාදියෙකු වූ නීට්ෂේ දෙවියන් මිය ගොස් ඇත යනුවෙන් පවසන්නේ දෙවියන් සිටින්නේද හෝ සිටියේද යන දේවධාර්මික පර්යාවලෝකයක හිඳ නොවේ. ඔහු සරලවම පෙන්වා දෙන්නේ බටහිර ශිෂ්ටාචාරයන් එතෙක් දෙවියන් මත ගොඩනැංවූ සදාචාරයන්, හර පද්ධතීන්, අගයන්, පාලනයන් සහ දේශපාලනයන් පවා තවදුරටත් දෙවියන් පාදම කොට නොගැනීම යහපතකට වඩා අයහපතක් ඇති නොකරනු ඇතිද යන්නයි. පැරණි පද්ධතිය යල් පැන ගොස් ඇතැයි තීරණය කරන්නේ නම් එම රික්තකය පි‍රැවීමට නව පද්ධතියක් අවශ්‍ය වේ.
දාර්ශනිකයින් සහ නිදහස් චින්තකයින් නව උදාවක අරුණලු සමඟින් සතු‍ටු වනු ඇති වුවත්,  එම නව උදාව පැමිණෙනු ඇත්තේද යම් යම් අවදානම් සමගින් බව බැහැර කළ හැකි නොවේ. යම් විටක නව උදාව මගින් සමස්ත විශ්වයම ආකූලත්වය වෙත යෑමටද හැකියාව තිබේ. අනෙක් අතට විශ්වයේ ස්වභාවයම ආකූලත්වය බව ඔබ විසින් හඟින්නේ නම්, සැබවින්ම ස්වච්ඡන්දතාවය යනු ශූන්‍යය බව වැටහීම කෙතරම් විශාද ජනක සිතුවිල්ලක්ද යන්න බැහැර කළ හැකි නොවේ.
නාස්තිකවාදයට සැබවින්ම නීට්ෂේ බිය වූ බව නොකිවමනායි.
සමස්ත විශ්වයේම ඇත්තේ සංවිධිත ප්‍රක්‍රමයක් නොව පූර්ණ ආකූලත්වය යැයි පිළිගැනීමට හැකිනම්, ක්ෂුද්‍ර තලයේදී පෘතුවිය මත ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා වෙහෙස මහන්සි විය යුතුද? පූර්ණ ආකූලත්වය බිය විය යුතුද? සැබවින්ම පූර්ණ ආකූලත්වයෙන් පිරි ලෝකයකට බිය නොවී සිටීමට හැක්කේ ඇනාර්කිස්ට් කෙනෙකුට නැතිනම් ස්වාර්ථවාදියෙකුට පමණක් විය හැක. පූර්ණ ව්‍යාකූලත්වයෙන් පිරි විශ්වයක ක්‍රමය පිළිබඳ නොතැවී ජීවිතය සැබවින්ම විඳීමට නම් දාර්ශනික 'ඇනාර්කිස්ට්' වරයෙකු වීම අවශ්‍ය වන බව න්‍යායානුකූලව කීමට ඩයොනීසියානුවෙකුට හැකිවනු ඇත.
ව්‍යාකූලත්වය ඔබව තැති ගන්වන සුළුද? එසේ නම් හෙක්ටර් බෙර්ලියෝස්ගේ යක්දෙස්සියන්ගේ සබත් දින සිහිනයට (The dream of the witches' sabbath) සවන් දෙනු. ඔබව බියපත් කරවන්නා වූ සංගීත සංයෝජනයන් තුළින් එක් මොහොතකදී ඔබට ව්‍යාකූලත්වයේ සුන්දරත්වය දැනෙනු ඇත. ආතර් සී ක්ලාක් මුහුදු පත්ලේ ඇති ව්‍යාකූත්වයෙන් පිරි ලෝකයේ කලබලය යක්දෙස්සියන්ගේ සබත් දින සිහිනයට සමාන කරන්නට යෙදුණේ හුදු අහඹුවකින් නොවේ. ආතර් සී ක්ලාක් මැවූ ෆ්‍රෑන්ක්ලින් අවසානයේ මුහුදු පත්ලේ ව්‍යාකූලත්වය වටහා ගන්නේද, එයට පෙම් බඳින්නේද අහඹුවකින් නොවේ.

[අරමානිස් බලසේක්කු]