බුදුහාමුදුරුවන්ට බුද්ධාගම ඉගැන්වීම | ඇස පාදන රැස


බුදුහාමුදුරුවන්ට බුද්ධාගම ඉගැන්වීම

 ඡායාරූපය:

බුදුහාමුදුරුවන්ට බුද්ධාගම ඉගැන්වීම

සමහර ඒවා මෘදුවට කීවාම තේරෙනවා. සමහර ඒවා ටිකක් දැඩිව කියන්න  ඕනේ. හැබැයි සමහර ඒවා ති‍ෙයනවා එහෙම බෑ. එල්ලලා දෙකක් දීලා කීවහමයි තේරෙන්නේ. ඒත්, බුදු දහම හෝ බුද්ධ ශාසනය කියන්නේ එල්ලලා නෙළලා අවබෝධ කරනවන එකක්වත්, එවැනි දේ තුළින් ආරක්ෂා කර ගත යුතු හෝ එකක් නොවේ. නමුත්, මේ කතාවත් සමහර අයට මෘදුවට කීවහම තේරෙනවා. සමහර අයට ටිකක් දැඩිව රළුවට. ඒත් සමහර අයට පොල්ලක් අරගෙන ඔළුවට ගහලා කීවත් තේරෙන්නේ නෑ.

මෙලෙස දේවල් අවබෝධ කර ගැනීමේ හැකියාව හෝ විභවය අඳින ඇඳුම, කතාකරන භාෂාව, උපදින කුලය, ජනපදය හෝ පවුල අනුව තීන්දු වෙන්නේ නෑ. කවුරුහරි හිතනව නම් ටයි කෝට් දාන අයට වඩා හොඳට ජාතික ඇඳුමක් ඇන්දම බුදුදහම වැටහෙනවා කියලා, එහෙම නැත්තං ටයි කෝට් අඳින මිනිසුන්ට වඩා හොඳට භික්ෂූන්ට දහම අවබෝධ වෙනවා කියලා ඒක සත්‍යයක් නෙවෙයි. පුද්ගලයෙක් භික්ෂුවක් විය යුත්තේ ද භික්ෂූන් සැමවිටම දේශනා කළ යුත්තේ තථාගත දහම මත පමණක් වුවද, ඇතැමුන්ගෙන් සිදු වන්නේ එය නොවන බව දක්නට අසන්නට ඇති දේවල් සහ ඒවායේ හිටපු පාත්‍රවර්ගයා දැක්කහාම ප්‍රත්‍යක්ෂ වෙනවා.

භාවිතාවෙන් අවුන්සයක්වත් නැති වුණාට, අපේ රට ධර්මිශ්ඨ සමාජයක්, ධර්ම රාජ්‍යයක් වාගේ කතා මෙට්‍රික් ටොන් ගණනින් රැව්පිළිරැව් දුන් රටක්. ඒ හැම වෙලාවකම වගේ, අපිට අනෙකෙක් ඉන්නා බවත් අනෙකා සුන්නද්දූලි කිරීමෙන් පමණක් මේ ස්වර්ග රාජ්‍යය නිර්මාණය කරගත හැකි බව ඇතැම් දෙනෙක් විශ්වාස කළා. අදත් එසේමයි. නමුත්, එවැනි සමාජයක් වෙනුවෙන් අවශ්‍ය කරන අංගෝපාංගයන් ගැනවත්, හරය ගැනවත්, පවත්නා සත්‍යය බාධාවන් ගැනවත් පයිසෙකට මායිම් කළේ නෑ.

ජාතිය හෝ ආගම රැක ගැනීම හෝ ප්‍රවර්ධනය කිරීම හෝ කියා මිනී මැරීම, දේපළ විනාශ කිරීම, කඳු පිටින් මළ කඳන් ගොඩගැසීම, ඇළ දොළ ගංගා රත්පැහැ ගැන්වීම බුදු දහමේ ඉගැන්වීම නොවේ. එවැනි ඉගැන්වීමක් කිසි ආගමික ශාස්තෘන් වහන්සේ නමක් දේශනා කරාවි යැයි මිලි තත්ත්පරයකට හෝ සිතීමට පවා නොහැකියි. මේ වෙනකොට සිංහල දෙමළ මුස්ලිම් කවුරු වුණත් අපේ රටේ පුරවැසියන්ට තියන භයානකම අභියෝගයක් තමයි අරක්කු, සිගරට්, මත්කුඩු වගේ සාම්ප්‍රදායික මත්ද්‍රව්‍ය සහ ටැබා වගේ විකල්ප මත්ද්‍රව්‍ය. ඒ වෙනුවෙන් ගෙවන මුදල, ගෙවන ශ්‍රමය සහ විඳින විඳවිල්ල ගැන අපිට කිසි වගක් නෑ. ඒත්, ධර්මරාජ්‍යයක් හදන්න උවමනායි කියලා අධිෂ්ඨාන කරන ඇතැම් අය කරන්නේ, කසිප්පු පොට්, බාර්, රා තැබෑරුම් පහුකරගෙන ගිහිං මුස්ලිම් එකෙකුගේ බේත්තෙල් කඩේකට හරි රෙදි කඩේකට හරි ගහලා එන. බුද්ධ දේශනාවේ වඩාත්ම වැදගත් වටිනාකමක් තියන දේ තමයි ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් පැවැත්ම සහ පිළිවෙත. හැබැයි අපේ නැත්තේම ඒ කෑල්ල. හරක් මස් කඩ වහන්න කියලා ගිණි තියාගත්තා, රටඅරක්කු බාර් වහන්න කියලා කටගොන්නක් කසිප්පු බී‍ෙගන ගිහිං ගල් ගැහුවා.

අම්පාරේ කඩේ වඳ පෙත්තක් තිබුණා කියලා නටපු නඩේ අනිත් එවැනි නඩ වගේම නොකරපුම දේ තමයි බුද්ධ දේශනාව අනුගමනය කිරීම. එක අතකින් ගුලියත් අනෙක් අතෙන් හුළුඅත්තකුත් අරගෙන කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ආකිමිඩිස් වගේ දුවන්න පටන් ගත්තේ ඒ නිසා. දැන් වෙනකොට වගේ වගක් නැති  හලාල් හුටපටේ, අලූත් අවුරුද්ද කිට්ටු වෙනකොට එන කඩ විරෝධය, රෙදි විරෝධය වගේ මේ හැම එකක්ම එහෙමයි. මේ නුවණින් නොවිමසීමේ ගතිය සමාන වෙන්නේ තමන්ගේ බිරිඳ මැදපෙරදිග ගෘහසේවයට පිටමං කරලා කඩුවක් අරගෙන ගිහිං මරක්කලයට කොටන බේබද්දෙකුගේ හැසිරීම නොවේද? කරුණාකර වසලකම වෙනුවට මනුස්සකම තෝරාගන්න.

ආගමේ හෝ ජාතියේ නාමයෙන් මිනීමරලා ආගම උත්කර්ෂයට නැංවීම වඩාත් සමීප වන්නේ දෙව්දත් දහමට මිස තථාගත දහමට නොවන බවත් ඒ හැඟීම බුදුන් මරා බුදු බව අත්කර ගැනීමට වෑයමට සමානයි. මෛත්‍රීය පංචශීලය ධම්මපදය ත්‍රිපිටකය වැනි බෞද්ධයා හික්මවන කිසි තැනක මෙවැනි දේ පසසා නැහැ. දහමට පිටුපා දහම රැකිය නොහැකි බව පමණක් කිව යුතුයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන ආගමක්, මේ දක්කන්නේ කොහෙටදැයි හැඟෙන විට දැනෙන්නේ සංවේගයක් මැයි.

 [භාරත තෙන්නකෝන්]

මාතෘකා