දියුණු රට වල ෆේස් බුක් නෑ

 ඡායාරූපය:

දියුණු රට වල ෆේස් බුක් නෑ

වෙනදාට මං ඇහැරෙන්නේ උදේ පාන්දර එකොළහට. ඒත් අද උදේ පාන්දරින් ඇහැරුනේ දන්නැති සින්දුවක් කන ගාවින් ඇහුන නිසයි. එලාම් ටෝන් වෙනස් කරපු පින්වතාගේ පරම්පරාවටම සෙත් පතමින් ෆෝන් එක පොළොවේ ගැසීමට සැරසී නිදිමතෙන්ම සොයා බැලූවිට එය තිබුණේ නැත.
ඇස් ඇර බලන විට මගේ ඇඳත් නැත. මා සිටියේ කබල් පැදුරකය. තවත් පැදුරු අකුලා කාමරයේ බිත්තියට හේත්තු කර තිබුණි. මේ මොන  විකාරයක්ද කියා කාමරෙන් එළියට ගිය විට දැකගන්න ලැබුනේ අපේ ගෙදර නොවේ. එක බිත්තියක රතුපාට පසුබිමක කන්නාඩි දැමූ මනුස්සයෙක් හිනාවෙලා ඉන්නා රාමු කරන ලද ඡායාරූපයකි.
අම්මෙ මේ මොකාද මේ..?
"තොට පිස්සුද බූරුවො කෑගහන්න. මැරෙන්න ඕන වෙලාද. අපිවත් එක්ක මරාගන්නද හදන්නෙ. කටවහපන්.... "
කියා අම්මා දත්මිටි කමින් මගෙ කට  අතින් වැහුවාය.
"මොකක්ද අම්මෙ මේ වෙලා තියෙන්නෙ මට මුකුත් මතක නෑනෙ"
උබට කොහෙ මතක තියෙන්නද දරුවො. අවුරුදු ගානක් සිහිය නැතුව ඉඳලා උඹ ඊයෙනෙ ඇහැරුනේ. අද තමයි උඹ සාමාන්‍ය තත්ත්වෙට ආවෙ.
අනේ මට මතක නෑනෙ අම්මෙ. මොකක්ද එතකොට මට උනේ. කවුද අර ලොකු පොටෝ එකේ ඉන්නෙ.
දරුවො, කෑගහන්න එපා. ඒ අපේ ශ්‍රේෂ්ඨ නායක රාජසිංහ උත්තමයා..
මොකක්...!! එතකොට කෝ ලංකාවෙ ජනාධිපති...
පුතේ.. දැන් ඉස්සර තිබුණ දුප්පත් හිඟන ලංකාව නෙමෙයි. දැන් අපි සුපිරි දියුණු රටක්. අපිට න්‍යෂ්ටික බලෙත් තියනවා.. අපේ ශ්‍රේෂ්ඨ නායකතුමාගෙ වැඩ තමයි මේ..
"කෝ මගෙ ෆෝන් එක.. මට බලන්න ඕනෙ මොකද උණේ කියලා"..
මොන ෆෝන්ද දරුවෝ.. අර පේන රේඩියෝ එකයි. ආණ්ඩුවෙ පත්තරෙයි විතරයි අපිට තියෙන්නෙ දැන්.
මොන විකාරයක් ද අම්මෙ ඒ..
කෑගහන්නෙපා මෝඩයො එකපාරක් කිව්වම. උඹව ඇවිල්ලා හමුදාවෙන් අරන් යයි..
මො... මො.. මොකක්...
ඔව් පුතේ.. ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න තහනම්. හමුදාවෙන් අරන් යයි. එහෙම තමයි දියුණු රටවල්.  උඹ එළියට එහෙම යන්නෙපා උඹෙ කොන්ඩෙ වැවිලා හොඳටම. ශ්‍රේෂ්ඨ නායකතුමාගෙ විදිහට කොන්ඩෙ කපන්න ඕනෙ. නැත්තං උඹව හිරේ දායි දැක්කොත්..
අනේ අම්මෙ විහිළු නොකර කියන්නකො අප්පා.. මට මුකුත් හිතාගන්න බෑ..
දරුවෝ.... ඔයාට සිහිය නැතුව ඉන්න කාලෙ අපි චීනෙ, උතුරු කොරියාව වගේ දියුණු රටක් උනා.. දැන්  අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා සල්ලි නාස්ති කරන්නෙ නෑ.. ඉන්නෙ එක ශ්‍රේෂ්ඨ නායකතුමා විතරයි.
අපිට තියෙන්නෙ එතුමටයි ආණ්ඩුවටයි මුකුත් නොකියා එතුමා කියන ඕනම දෙයක් කරගෙන ඉන්න. ළඟදිම අපි ඇමරිකන් කාරයන්ට ගහනව කියලා නායකතුමා කිව්වා. ඉස්සර වගේ ඡන්ද නෑ දැන්. අපි ඔක්කොම පැය 16 ක් විතර වැඩ කරනවා. ඔය ප්‍රතිවිප්ලව කාරයො ඕව කඩාකප්පල් කරන්න හදනවා. උන්ට එහෙම අහුවෙන්නෙපා උඹ. ඔය උද්ගෝෂණ වැඩවර්ජන කරපු උන්, ඡන්දයක් ඕනෙ කියපු, හොරෙන් පත්තර බෙදපු උන් ලක්ෂ පහක් විතර මැරුණා.තව ලක්ෂ ගාණක් හිරේ. සමහර උන්ව බල්ලන්ට කන්නත් දැම්මා. හොඳ වැඩේ උන්ට...
ඒක මාර වැඩක්නෙ අම්මෙ, එතකොට මාධ්‍ය නිදහස..
අම්මා චටාස් ගා මගේ කන හරහා පාරක් ගැසුවාය..
තොට එකපාරක් කිව්වා නේද හරකො කටපියන් ඉන්න කියලා.  උඹට ඕනෙ බෙල්ල කපාගෙන මැරෙන්නද..
මොන නිදහසද, තව මොනවද අපිට ඕනෙ. කූපන් එකට කෑම ඇඳුම් හම්බෙනවා..
කවද ඉඳන්ද මෙහෙම උනේ එතකොට.
ඇයි බං උඹට මතක නැද්ද. අවුරුදු ගානකට කලින් ෆේස්බුක් තහනම් කළාම කිව්වා අපි සමාජ ජාලා නැතුව චීනෙ වගේ දියුණු වෙනව කියලා. උඹ ඒකට උද්ගෝෂණ කරන්න ගිහින් තමයි ඔලුවට පාරක් වැදිලා සිහිය නැතුව හිටියෙ.
දැන් බලපන්කො අපි කොච්චර දියුණුද කියලා.. ඉස්සර වගේ නෙමෙයි.
එකපාර දොර කඩාගෙන ගේ ඇතුලට ආවේ හමුදා නිලධාරීන් හතරපස් දෙනෙකි..
කවුද මූ..??
අම්මා මගේ ඉදිරියට පැන තුවක්කුවේ එල්ලී. මේ මගෙ පුතා කියා කිව්වාය. හමුදා නිලධාරියා
අම්මාගේ මූණට තුවක්කුවෙන් පහර දුන්නේය.
 කෝ මුගෙ අයිඩෙන්ටිය ගනින්..
තමුසෙලා කොහොමද වොරන්ට් එකක් නැතුව එහෙම ගෙවල් වලට එන්නෙ. එළියට බහිනව ඉස්සෙල්ලා. පොලිසිය නැතුව හමුදාව කොහොමද ගෙවල් ඇතුළට පනින්නෙ.
මං කියාගෙන ගියෙමි.
ඩෝං..
මාගේ පපුව පසාරු කරගෙන උණ්ඩයක් කිඳා බැස්ස අතර.. බුදු අම්මෝඕඕඕඕ.. කියාගෙන මම බිම වැටුනෙමි.
මොකද ළමයො කෑගහන්නෙ.. දීපිකා උඹව බඳින්න බෑ කිව්වද.
අම්මා මගේ ඉස්සරහ මගේ කරෙන් හොල්ලමින් අසයි..
වටපිට බැලුවෙමි. මා හීනයක් දැක ඇත.
පසෙකින් ජංගම දුරකතනය තියෙයි.
එහි ඊයේ රෑ බැලූ මහින්ද අමරවීර මහතාගේ කතාවේ වීඩියෝව නැවතී ඇත.

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා