සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම තියෙන්නෙ ජීවත් වෙන ප්‍රශ්නය

 ඡායාරූපය:

සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම තියෙන්නෙ ජීවත් වෙන ප්‍රශ්නය

අවුරුදු 22ක් පුරාම එකම ත්‍රීරෝද රථය කලින් කලට නඩත්තු කරමින්, දරුවන් තිදෙනෙකු සහ බිරිඳ පෝෂණය කරමින් ජීවත්වන මීනා මොහොමඩ් පණස් අට හැවිරිදිය. සෙමෙන් නමුත් පරෙස්සමට තම රථයේ යනෙන උදවියට සේවය සපයන ඔහු රටේ දේශපාලනය ගැන උනන්දුය. ජාතීන් අතර සමඟිය ගැන උනන්දුය. සැමට එකසේ ආදරේය. තම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සේම රටේ සහෝදර ජනතාවගේ ආරක්ෂාවද එකසේ ඔහුට වැදගත්ය.  අද ' කවුද ඔබ' සංවාදය ඔහුය සමඟය.  
මහත්තය තරුණ අය එක්ක පරිස්සමෙන් යන්න ඕන. මොකද ඒ අය වේගෙන් යනව. එක්කො මඟ දාල යනවා. හවසට යන අය නම් බීලා යන්නෙ. ඉතිං පරිස්සමක් නෑනෙ. මම වයසයි තමයි ඒත් මම හෙමීට ගියාට පරිස්සමෙන් යන්න ඕන තැනට එක්කන් යනවා. අපි එහෙම කරන්න ඕන අපේ මිනිස්සුන්ට. ඒක අපේ වගකීමක්.


ඒත් දැන් රටේ එහෙම එකක් නෑනෙ?


ඕක එකපාරට වුණු දෙයක් නෙමෙයි. හලාල්- හරාම් එක්ක, ව්‍යාපාර එක්ක වගේම මියන්මාරයේ වුණු සමහර දේවල් මේ රටට ආවෙ වැරදියට. එහෙම කළේ පොඩි පිරිසක්. මියන්මාරයට ගියාම එහේ අන්තවාදීන් මෙහේ අයට කිව්වෙ මුස්ලිම් අය වැඩි වේවි කියලා. ව්‍යාපාර සිංහල අයට වඩා උඩට ගනීවි කියලා. හැම හන්දියකම ලොකු කඩ වැටේවි කියලා. ඒ බොරුව මේ අය මෙහේ ගෙනත් රස්සාවල් නැති තරුණ අය කීපදෙනෙක් අතර කියලා ඇවිස්සුවා. ඉතින් ඒ අය ඇවිත් ගල් ගහලා ගිනි තිබ්බා.  ඒත් මේක අපි හැමෝම ආදරෙන් ඉන්න රට. ඒ බොරුව වැපිරුවෙ බලය නැතිවුණු සමහර අය. ඒත් මේ රටේ උගත් සිංහල මිනිස්සු ඔක්කොම ඉන්නෙ අපි එක්ක. අපිත් එහෙමයි.


කවුද බලය ගන්න මේව වැපිරුවෙ එතකොට?


මට අනුව නම් සිංහල බෞද්ධ අයගෙ ජන්ද කඩාගන්න ඒ පදනමෙන්ම හදාගත්තු පක්ෂයක් තමයි මේක මුලින්ම පැතිරුවෙ. මේ රටේ සිංහල බෞද්ධ මිනිස්සු තම තමන් කැමති පක්ෂ කීපයකට ජන්දය දුන්නා. ඒක කඩාගන්න ඕන වුණත් සිංහල බෞද්ධ පක්ෂයට ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මෙහෙම මුස්ලිම් විරෝධයක් බොරුවට ගෙනාවෙ.


ඔහොම කිව්වට මිනිස්සු ඕක පිළිගන්නෙ නෑනෙ?


ඔව්. මේ රටේ මිනිස්සු ඇත්තට කැමති නෑනෙ මහත්තයො. ඒ වගේම ඇත්තෙන් පාඩම් ඉගෙන ගන්නෙත් නෑ. මහන්සි වෙලා වැඩ කරනවට වඩා ආසයි බොරුවෙන් ජීවත් වෙන්න. මේ වයසක මම ත්‍රී වීල් එකක් පදින්නෙ පුළුවන්කමට නෙමෙයි. ජීවත් වෙන්න වෙන විදියක් නැති නිසා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම තියෙන්නෙ මේ එකම ප්‍රශ්නෙ. ඒත් පාලකයො එයාලගෙ වාසියට අපිව බෙදලා වෙන් කරනවා.  ඒ බොරු ජාතිවාදයට අපේ අයත් රැවටෙනවා. අන්තිමට දුක් විඳින්නෙ අපි.


පාලකයො එහෙම කරනව නම් දඬුවම් ලැබෙන්න ඕන නේද?


ඔව්. ඒත් මේ රටේ කවද්ද එහෙම වුණේ පාලකයන්ට? හැම නීතියක්ම පොඩි අපිට විතරයි. නමුත් අපේ ආගම අනුව දෙවියන් මේව ඔක්කොම බලන් ඉන්නෙ. ඒකයි මේ රටේ හැම පාලකයටම, ඒ වගේම කලින් අයට වුණත් නොහිතපු වෙලාවක ගෙදර යන්න වුණේ. දෙවියන් හරි දඬුවම් දේවි නීතියෙන් ඒ දඬුවම නොලැබුණත්.


ඇයි පාලකයො මේවට විසඳුම් නොදෙන්නෙ?


මට තේරෙන විදියට නම් මේ අයට කලින් අය කරගෙන යන්න දෙන්නෙ නෑ. මේ අය නීතිය ක්‍රියාත්මක කරාවි කියලා බයට තමයි මෙහෙම එක එක ප්‍රශ්න රට ඇතුළට ගේන්නෙ කියලා මට හිතෙන්නෙ. නැත්තම් මෙහෙම අපි අතර ප්‍රශ්න නැතුව ප්‍රශ්න ඇතිකරන්නෙ නෑනෙ. මේ අයටත් එහෙම උවමණාවක් නෑ කියලත් වෙලාවකට හිතෙනවා. මොනව වුණත් අන්තිමට තැලිල තැලිල මැරිල යන්නෙ අපි.


දේශපාලනේ නම් එහෙම තමයි. ඉතින් ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?


දරුවො දැන් ලොකුයි. ලොකු කරේම මේක දුවලා. දැන් පේනවත් අඩුයි. ඒක නිසා හවසට නතර කරනවා මේ ගමන. දරුවො ලයිට් බිල් වතුර බිල් ගෙවනවා. මම ඉතිරිවා බලාගන්නවා. නෝන එක්ක ජීවිතේ අන්තිම කාලේ ගෙවලා දානවා මේ විදියටම. ඕක තමයි ජීවිතේ.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?