අහස යට

 ඡායාරූපය:

අහස යට

අළුපාට මීදුම මැද්දෙන් සුදුම සුදුපාට ඇඳුමත් ඇඳගෙන කළු සුදු සමසමව තියෙන කොණ්ඩෙ උඩට පීරල කළුපාට බෑග් එක අතින් අරගෙන හන්දිය මැද්දෙන් ඇවිත් පොඩි ඉස්කෝලෙ ගේට්ටුව හරහට දාල තියෙන උණ බම්බු දෙක ගලවල පැත්තකින් තියනවා. ඊට පස්සෙ එයාගෙ කන්තෝරු කාමරේ දොර ඇරල කළුපාට බෑග් එක මේසේ උඩින් තියල හැම පන්ති කාමරේකටම එබිල බලනවා. ඒ ඊයේ රෑ පන්ති කාමරවල බල්ලො බළල්ලු අපිරිසිදු කරලද බලන්න. වටයක් ගිහිල්ල ආපහු ස්කෝලෙ ගේට්ටුව ළඟ තියෙන කණ්ඩිය උඩට වෙලා බලාගෙන ඉන්නවා.
සපත්තු දාපු ඈයෝ නම් කවුරුත්ම නැහැ. ඉඳල හිටල කෙනෙකුගෙ පුංචි කකුල් රබර් සෙරෙප්පු කුට්ටමකින් වැහිල  තිබුණත් අනික් හැමෝගෙම වගේ දෙපා නිරුවත්.  ලොවි , කජු පුහුලන්, මාදං. බෝවිටිය කහට නැත්නම් අඩුම ගානේ රබර් කිරි කහට ටිකක්වත්  සුදු ගවුමෙ, සුදු කමිසෙ නැති කෙනෙක් හිටියොත් ඒ කලාතුරකින්ම තමයි.
‘මොකද ඔය ළමය පහුගිය දවස්වල ඉස්කොලේ ආවෙ නැත්තෙ’ කණ්ඩිය උඩ ඉදන් ලොකු මහත්තයා අහනවා.
‘අපේ ගොයම් කැපුව ලොකු මහත්තයා, ඒකයි ස්කෝලෙ නාවේ’ එක් කෙනෙක් කියනවා.
‘අපේ අම්මයි , තාත්තයි අත්තමට ගියා.  මම නංගිවයි මල්ලිවයි බලාගෙන ගෙදර උන්නා’ තව කෙනෙක්ගෙ උත්තරේ.
‘අලුත් රබර් කට්ටියෙ කැපුම් දැම්මා’
ඒව ළමයින්ට ඉස්කෝලෙ නෑවිත් ඉන්න  සාධාරණ හේතු බව හිතල ලොකු මහත්තයා නිහඩ වෙනව.
ඒවෙද්දි ගුරු මණ්ඩලේම ඇවිත්.
කම්බියෙන් එල්ලල තියෙන රේල්පිලි කෑල්ලට යකඩ කෑල්ලෙන්  ටාං ටාං ගාල දෙපාරක් ගහල  පන්සිල් අරගෙන පන්තිවල වැඩ පටන්ගන්නවා. ස්කෝලෙ හාමිනේල එක හුස්මට පාඩම් කියා දෙනවා. ලොකු මහත්තයා පැයකට හමාරකට පාරක් පන්ති කාමරේ දොර ගාවින් යද්දි හැමෝම මීක් නැතිව ඉන්නව.
ඉස්කෝලෙ දවසෙ වැඩ අහරවෙන්න ආයිත් රේල් පීල්ල  නාද කරනව.
පොත් මිටි අතින් ගත්තු කෙල්ලො කොල්ලො සී සී කඩ දුවනවා. සමහරු ස්කෝලෙ පිටිපස්සෙ දං කැලේට රිංගනවා. තවත් අය ඉස්කෝලෙ අයිනෙන් ගලා බහින පුංචි දොළපාරේ දංඩි පැටවු අල්ලනවා. පොත් පත් ටික ගෙදර තියල  උයල තියෙන දේකින් බඩ පුරවගෙන ආයිත් ස්කෝලෙ ඉස්සරහ තියෙන කුඹුරට නැත්නම් ඉස්කෝලෙ අයිනෙ තියෙන මදටිය ගහ ළග බෝල ගහන්න ගන්නව.
මේ ඔක්කොම බලා ඉන්න ලොකු මහත්තයා ඇඳිරි වැටීගෙන එද්දි ගේට්ටුවෙ උණ බම්බු දෙක දාල පුරුදු විදිහට මඟතොට ඉන්න අයත් එක්ක ආගිය දේවලුත් කතාකරල ගෙවල් පැත්තට ඇවිදිනවා.
මීට දශක තුනකට විතර ඉස්සර දවසක ලොකු මහත්තයා ගෙදර ගිහින් රිදුම් පිරිමදින්න ස්තෝප්පු කෑල්ලෙ හාන්සි පුටුවෙ ඇලවුණා. වෙනදට වැඩිය වෙනසක් දැකපු ඉස්කෝලෙ හාමිනෙයි, දරුවො තුන්දෙනයි ලොකු මහත්තයව ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් හෙව්ව. අද වගේ නෙමෙයි ගමටම තිබුණේ එක කාර් එකක් විතරයි.
මුළු ගමම එකපාර නතරවුණා.  පුංචි උන්ගෙ විලාපය ස්කෝලෙ පිටිපස්සෙ කන්දෙ හැපිල දෝංකාර දුන්නා. ගමේම මිනිස්සු ලොකු මහත්තයගෙ නිසල දේහය ළඟ හඬා වැටුණා.
රතුපාටින්  දිලෙසෙන කාර් එක ඇවිත් කොන්ක්‍රීට් තොරණ ඉස්සරහ නතර කෙරුවා. දුඹුරු පාට ඇඳුමක් ඇඳන් හුන් කෙසඟ මනුස්සයා දුවගෙන ඇවිත් මහ පත යකඩ ගේට්ටුව ඇරල හිස පාත් කරල ආචාර කෙරුව. ප්‍රින්සිපල් සර්ගෙ කාර් එක ඔපීස් කාමරේ ළග නතර කෙරුවා. පියන් ළමය ඇවිත් දොර ඇරල සර්ගෙ බෑග් එක කාමරේට උස්සන් ගියා.
ගේට්ටුව ළග එකම  කලබැගෑනිය. ඉස්කූල් බස්, වෑන්, දෙමාපියන්ගෙ වාහනවලින් ආපු ළමයි පාර දෙපැත්තෙ පොදි ගැහිල. මහ ගේට්ටුව එක්කම තියෙන පුංචි දොරෙන් එයාලටත් වැඩිය ලොකු බෑග් පිටේ බැද ගත්තු ළමයි සුදුපාට කොක්කු පේළියක් වගේ ප්‍රාථමික විද්‍යාලයට ඇතුළු වෙනවා.
ස්ටාෆ් රූම් එක ඇතුලේ එක එක වෙලාවට එක එක ගුරුමණ්ඩල රැස්වෙනව. පැයකට හමාරකට පාරක්  ඔෆිස් කාමරෙන් එළියට එන ප්‍රින්සිපල් සර් රතුපාට කාර් එක දිහා බලල පොඩිවුන්ගෙන් හානියක් වෙලා නැහැ කියල ස්ථිර කරගෙන ආයිත් කාමරේට රිංගනව.
චූන්පාන් වෑන් එකේ වගේ සද්දයක් ආපුවම ළමයි එක පිම්මට ගේට්ටුව ළඟට දුවනව. ස්කොලෙ වැඩ අහවර වුණත් ළමයින්ගෙ වැඩ අහවර වෙලා නැහැ. ගේට්ටුව ළඟ පිරිල ඉන්න අම්මල ළමයින්ගෙ අතින් ඇදගෙන ශිෂ්‍යත්ව පන්තිවලට  දුවනවා.
හිර ගෙදර වගේ ලොකු තාප්පෙකින් ඉස්කෝලෙ වට වෙලා.  දංඩි පැටවු අල්ලපු දොළපාර ටවුමෙම කුණු වතුර ගලා බහින  කළුපාට කුණු ඇළක් වෙලා. පිටපස්ස පැත්තෙ තිබුණ දංකැලේ අද කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා. එල්ලෙ ගහපු කුඹුරු යාය පුරන්වෙලා, ඒ  මැද්දෙ උපකාරක පන්තිවල බෝඩ් ගහලා.
ලොකු මහත්තයගෙ ඉස්කෝලෙට වැඩිය ප්‍රින්සිපල් සර්ගෙ ස්කෝලෙ  කැත වෙලා.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?