අං පාරේ පරාටා කඩේ ගිනි තැබූහ

 ඡායාරූපය:

අං පාරේ පරාටා කඩේ ගිනි තැබූහ

හරක් මස් හොද්දකුත් එක්ක පරාටා කෑ සිංහලබෞද්ධයා වඳ කිරීමට දැම්මා කී පෙත්ත එක්ක හොද්ද පොලීසි ගියේය. කෙසේ හෝ රස පරීක්ෂක වාර්තාවෙන් ඔප්පු වී ඇත්තේ ඒ වඳ පෙත්ත පිටි ගුලියක් කියාය. දැන් සතුටුය. සබා තොමෝ සතුටින් විසිර ගියහ. කඩේ බාබකිව්ය. සිංහලයාටද මුස්ලිම් එකාටද ලැබුණ දෙයක් නැත.

කවුරුත් දන්නා ආගමක්වත් ජාතියක්වත් නැත. මන්න අතට ගන්නා මුස්ලිම් උන්ද සිංහල උන්ද දන්නේ අනිත් එකා කපා ජාතිය ආගම රැකගන්න ඕනෑ කියා පමණි. සාමයේ ආගම හා අවිහිංසාවේ ආගම තම තමන්ගේ කන්‍යාභාවය රැකගැනීම සඳහා සංසර්ගයේ යෙදුණාහ.

ජීවිත නැති විය. දේපළ නැති විය. වගේ වගක් නැත. තවත් කතාව කපන්නය. කොටන්නය. මරලා හෝ රැකගන්නය. ජාතියත් ආගමත් සර්පයාත් සරමත් වැරදි කොනින් අල්ලා නොගන්න කියා කතාවක් ඇත. දැන් සනීපය. සර්පයා දස්ට කර අවසන් ය. සරම බිම ය. රටම හෙළුවෙන් ය. සිංහලේ අයියලාගේද මරක්කලේ අයියලාගේද සන්නද්ධ ගොංපාට් වල පිහිටෙන් අවසානයේ ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ සරම ගැලවුණේ ශ්‍රී ලංකාවේ ය.

රුවන්ඩාවේ හුටු ටුට්සි ගෝත්‍රික ගැටුම නිසා දහස් ගණනක් අහිංසකයෝ මියගියාහ. උන් ගහගත්තේ උපන් ගෝත්‍රය නිසාය. අපි උන්ට කියන්නේ ගෝත්‍රික මෝඩයන් කියාය.හිට්ලර් මිලියන් ගණන් යුදෙව්වන් සමූලඝාතනය කළේය. හිට්ලර්ට අපි කියන්නේ ම්ලේච්ඡයෙක් කියාය. ඉන්දියාවේ හින්දු මුස්ලිම් උන් ගහගත්තේය. දකුණු ඉන්දියාවේ උන් ලංකාවේ උන්ට ගහන්නේ රාවණාගේ රටේ උන් කියාය. අපි කොහොමත් කියන්නේ දකුණු ඉන්දියන් කාරයො නං උපන්ගෙයි මෝඩයන් කියාය.

සුද්දන් විසින් කල්ලන්ට නොසෑහෙන්න වද දුන්නේ උන්ගේ හමේ පාට කළු වීම නිසාය. අපි උන්ට කිව්වේ තිරිසන්නු කියාය. ශුද්‍ර ජනයා තළා පෙළූ බ්‍රාහ්මණයන්ට බුදුන් කිව්වේ වසලයන් කියාය.

හැබැයි ජාතිය වර්ගය ආගම මත මිනිමරාගන්නා ලෝකේ අනිත් උන්ට ගෝත්‍රිකයො, ගොන්නු, මෝඩයො, බූරුවො, ම්ලේච්ඡයො, තිරිසන්නු, කාලකන්නි මස්වැද්දො කියා හෙළාදකින අපි., විහිළු කරන අපි, සාප කරන අපි, අපේ රටේ ජාති දෙකක් මරාගන්නා විට ඒ මරාගන්නා උන්ව වීරත්වයෙන් පුදති.

ජාතිවාදයේ ආගම්වාදයේ වීරයන් නැත. ඉන්නේ මෝඩයන් පමණි. ප්‍රශ්නයකට විසඳුම ලෙස යුද්ධය තෝරාගන්නා උන් වීරයන් වන්නේ නැත. උන් මෝඩයන් පමණි. සන්නද්ධව ප්‍රශ්නවලට විසඳුම් හෙව්වේ ගෝත්‍රිකයෝය. බුද්ධිමත් දියුණු ජාතියක් ප්‍රශ්නවලට විසඳුම් හොයන්නේ සාකච්ඡාවෙන් ය.රෝහිණී ගංගා අර්බුදයේදී ශාක්‍ය කෝලිය වරුන්ගෙන් බුදුන් ඇහුවේ වඩා වටින්නේ ගංගා දියද මනුෂ්‍ය ජීවිතද කියාය.

ඔබ කැමති ජාතියක සංස්කෘතියක ජීවත් වීමට, ඔබ කැමති ආගමක් ඇදහීමට ඔබට පූර්ණ නිදහසක් ඇත. ඒ අයිතියම අනෙකාටත් ඇත. ප්‍රශ්න  ඇති වීම මනුෂ්‍ය සමාජයක සාමාන්‍යය. නමුත් ඒවා විසඳීමට නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඇත. හරක් මස් හොද්ද සමග පරාටා ගත් සිංහල බෞද්ධයා මුස්ලිම් එකාගේ කඩේ ගිනි නොතබා වඳ පෙති ගැන නීතියට පැමිණිලි කළා නම් මේ ගැටලුව නැත. ත්‍රී රෝද රථය අනතුරට ලක්කළ සිංහල තරුණයා අල්ලා මුස්ලිම් තරුණයන් විසින් ඌට නොගහා නොමරා පොලීසියට බාර දුන්නා නම් අද එයට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයන් මියයන්නේවත් දේපළ ගිනිගන්නේවත් නැත.

ඒ වගේම රටක රජයක ප්‍රධාන වගකිම වන්නේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවය. ගැටලුවක් ඇති වූ වහාම රටේ වගකිවයුතු දේශපාලන අධිකාරියේ වගකීම වන්නේ එය ඔඩුදුවා ලේගැලීමට ප්‍රථම නැවැත්වීමය. නමුත් මහනුවර ගැටලුවේදී රජයේ ක්‍රියාකලාපය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. පහුගිය ආණ්ඩුව දර්ගා නගරයේදී හැසිරුණු ආකාරයට නොදෙවනිව ව්‍යසනකාරී වාතාවරණයක් ඇති වීමට ගිනිපුපුරු ඇවිලෙද්දී රජය ගත් පියවරවල සාර්ථකත්වය, දිගනට තෙල්දෙණියට ගියා නම් බලාගත හැක. මහජන දේපළ ගිනි තබනතුරු පොලීසිය සිදුකළේ කුමක්ද කියා මහජනතාව ප්‍රශ්න කරති.

කතාව ආසියාවේ ආශ්චර්යය වන්නටය. ලෝකෙටම කේන්ද්‍රය වන්නටය. දැනුම බෙදන්නය. හැබැයි වැඩ රුවන්ඩාවේ ගෝත්‍රිකයන්ටත් අන්තය. ප්‍රශ්න විසඳන්නේ මන්නෙන් ය. ආණ්ඩුව, විපක්ෂය, දේසපාලකයන් නිදිය. ජාතිවාදීන්ටම ගිය රටය.

නැවතත් මතක් කරමි. ඔබ ජාති ආගම් වාදය අවුලන්නේද, ඒවා පෝෂණය කරන්නේද , ඒවා දිහා නිහඬව බලා ඉන්නේද නම් ඔබ මිනීමරුවෙකි. අනාගත ලේ හැලීමක වගකීම අනිවාර්යයෙන් ඔබ බාරගත යුතුය. ඒ මැරෙන හැම අහිංසකයෙකුගේම මරණවල වගකීම ඔබ බාරගත යුතුය. ඒ සාපයෙන් ඔබට මියයන තාක් ගැලවීමක් නැත.

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා