නවකතා උතුම්ම උතුම් කෙටි කතා ඊට යටින් කවි?

 ඡායාරූපය:

නවකතා උතුම්ම උතුම් කෙටි කතා ඊට යටින් කවි?

කවුරුහරි මගෙන් ඇහුවොත් මගෙ ප්‍රියතම සාහිත්‍යකරුවා ගැන, පාරටම මගෙ ඔළුවට එන කීපදෙනා අතරින් ඉහළින්ම ඉන්න කෙනෙක් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්. ඔහුගෙ නාට්‍ය, කවි මම කියවලා නැහැ. කියවලා තියෙන්නෙ සුරංගනා කතා විතරයි. බයිබලය ලඟට ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වුණ සාහිත්‍ය කෘති අතර ඔහුගේ සුරංගනා කතා තියනවා. බයිබලය ආසන්න වශයෙන් භාෂා තුන්සීයකට පරිවර්තනය වෙලා තියෙද්දි ඇන්ඩර්සන්ගෙ සුරංගනා කතා භාෂා එකසිය පනස් ගණනකට පරිවර්තනය වෙලා තියනවා.  

ඇන්ඩර්සන්ගෙ කතාවල සාරය සහ මැජික් එක විශ්ලේෂණය කරලා බැලුවොත් බැලූ බැල්මට පෙනෙන කාරනා කිහිපයක් තියනවා. ඔහුගෙ කතා සරළයි. ප්‍රීතිමත් අවසානයකින් යුක්තයි, පැහැදිලිව හඳුනගන්න පුලුවන් වීරයෙක් හෝ වීරවරියකගෙන් සමන්විතයි. ඒ හැමෝම සිහිනයක් හඹා යනවා සහ එය අත්පත් කරගන්නවා. ජනප්‍රියවෙන ඕනෑම කලාකෘතියක මූලිකවම අඩංගු වෙන කාරණා ඒ. ඇන්ඩර්සන් ලියන සුරංගනා කතා හුදු ජනප්‍රියත්වයෙන් නතර නොවී අමරණීය වෙනවා. ඒ ඇයි? ඇන්ඩර්සන් හරියටම මනුෂ්‍යත්වයේ නිල අල්ලන නිසා. කැතකම, දුප්පත්කම, ගැහැනුකම, අසරණකම වගේ මනුෂ්‍යත්වය වැටෙන, දියවෙන තැන් අල්ලලා ඔහු කෙලින් හිටවනවා.  

ඔහුගෙ කතාවල කුමාරයෙක් වෙන්න නියමිත ගෙම්බො, හංසයෙක් වෙන්න හීන දකින තාරාවො, කුමාරයා සපත්තුවක් ගෙනත් කකුලට දාලා රජ මැදුරට ගෙනියනකල් ගෙදර දැලි ඉඳුල් හෝදන කෙල්ලො, වගේ ඕනෑම සමාජයක බහුතර පිරිසකට තමාව අදාල චරිතයට අනන්‍ය කරගෙන පොඩි හීනෙකට යන්න පුළුවන් කවුළු ඇන්ඩර්සන් හදනවා. ඔහුගෙ සුරංගනා කතා ළමයින්ට කිව්වට මට නම් හිතෙන්නෙ ඒවා ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ප්‍රභලව වැඩ කරන කතා. ඒ කතා ඉතා පැහැදිලි දාර්ශනික ගැඹුරකින් යුක්තයි. ඇන්ඩර්සන් තමා අවට සමාජයේ චරිත හා සිදුවීම් වෙනත් කාල්පනික අවකාශයක අතිශය හැඟුම්බර විදියට මවලා ඒ චරිත හා සිදුවීම් වලට සැබෑ ජීවිතයෙදි හිමි නොවන සිහින වරප්‍රසාද හිමි කරලා දෙනවා. ඒක මහ රැවටීමක් කියලා කෙනෙක්ට කියන්න පුළුවන් වුණත් ඔහු සිහින ලුහුබඳින්න සහ නොවැටී ඉන්න මිනිස්සුන්ට කියලා දෙන්නෙක් විදියටයි මට දැනෙනෙන්නෙ.  

ඇන්ඩර්සන් තමන්ගෙ සමනලයා කියන සුරංගනා කතාවෙ සමනලයා ලවා කියවන "නිකම්ම ජීවිතේ මදි, කෙනෙක්ට ඕනෙ වෙනවා ඉර එළිය, නිදහස සහ පොඩි මලක්..." කියන දෙබසෙන් සමනලයගෙන් එහාට ගිහිල්ලා මනුස්ස ජීවිතේ අවශ්‍යතා ගැන සංකීරණ කතාවක් කියනවා. ආහාර, නිවාස, ඇඳුම් වලින් විතරක් තෘප්තිමත් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මිනිසා. ඔහුගේ කායික සහ මානසික අවශ්‍යතා සරළ උපමා තුනකින් ඇන්ඩර්සන් අල්ලනවා. කාටද සොබා දහම, නිදහස සහ ආදරය ගැන හීන නැත්තෙ? තවත් තැනක ඇන්ඩර්සන් කියනවා " බස අසමත්වන තැනින් සංගීතය උපදී " කියලා. මේ වගේ දාර්ශනික වෙන ගමන්ම අතිශය සරළ යෙදුම් ඇන්ඩර්ස්න්ගෙ ලියවිලි වල සුලබයි. ඒත් අදටත් ජනප්‍රිය සුරංගනා කතාකරුවාගෙන් එහාට ඇන්ඩර්සන්ව කියවනවා අඩුයි.  

ඒක මම හිතන්නෙ සාහිත්‍ය ඇතුලෙ මුල් බැහැපු අවුලක්. නවකතා උතුම්ම උතුම්, කෙටි කතා ඊට යටින්, කවි ඊටත් යටින්, අනික් ඒවා එච්චරටම ගණන් ගන්න ඕනෙ නැහැ වගේ එකක් අදටත් ස්ථාපිත වෙලා. ඒ වගේ අවකාශයක ඇන්ඩර්සන් වගේ කෙනෙක්, අපේ වගේ රටක කියවන අය අතරෙ සීරියස් නොවීම දුකක්. ඇන්ඩර්ස්න්ගෙ කතා සමාජයක සාමූහික මතක ඔස්සේ එන ජනකතා එක්ක ලොකු සමාන කමක් තියනවා.

ඇන්ඩර්සන්ගෙ කතාවල තියෙන්නෙ ජනකතාවල රිද්මය. ජාතක පොතේ එන කතාවල තාලයක් සමහර කතා කියවද්දි යටින් ඇහෙනවා. ඇන්ඩර්සන්ට සියවස් ගණන් පරණ යුරෝආසියානු ජනකතා බලපාන්න ඇති කියලා නොහිතන එක වලක්වන්න බැහැ. මොනවා වුණත් ඇන්ඩර්සන් කියන්නෙ නිසි තැන අහිමි කරපු දාර්ශනිකයෙක්. ඔහු අච්චුවට බහින්නෙ නැතුව නිදහසේ සුරංගනා කතා ලියපු එක ඊට හේතු වෙන්න ඇති. ඒත් ඔහුගේ ලිවීම අමරණීය වෙන එක නවත්තන්න සාහිත්‍ය අඩිරූල් වලට බැහැ.

[ඉසුරු චාමර සෝමවීර]