කූතාඬි සංගීතය | ඇස පාදන රැස


කූතාඬි සංගීතය

 ඡායාරූපය:

කූතාඬි සංගීතය

මැක්සිම් ගෝර්කි ගේ ළමාවිය නවකතාවේ ට්සිගාන් යනු දෙමාපියන් නැති රූමත් තරුණයෙකි. ඔහු නැටුමට, ගායනයට දස්සය. ඔහුට ඉරිසියා කළ ගෝර්කි ගේ මාමලා දැරිය නොහැකි බරක් එසවීමට සලස්වා එයට යටකර ට්සිගාන් ව මරා දමති. ලස්සන ඇස් දෙකක් ඇති ට්සිගාන් (අහිකුණ්ඨිකයා) ගේ මරණය මගේ සිත පෙලූ අතර අහිකුණ්ඨික ජනයා දුටු අයුරු ඉන් පසු වෙනස් විය. ලෝකයේ මධ්‍ය ආසියානු සම්භවයක් ඇති ජනයා ඇති සෑම ප්‍රදේශයකම කූතාඬි ජනයා පැතිර වෙසෙති. ඔවුන් එක තැනක නිවසන්නේ නැත. තැනින් තැන ගමන් කරන ඔවුහු, පොළොව මහී කාන්තාව සූරා කෑමට හෙවත් කෘෂි කර්මාන්තයට හා කර්මාන්තයට එකඟ නොවෙති. දඹදෙණි කතිකාවතෙන් බැහැර කළ නර්තන හා වාදන සම්ප්‍රදාය පූජ්‍යස්ථාන ගත නොවී යම් තාක් දුරට රඳවා පවත්වා ගත් රොඩී ජනයා හා ඔවුන් අතර ඇති සම්බන්ධය පැහැදිලි නැතත්, සංගීතය සම්බන්ධයෙන් ඔවුන් අතර කුමක් හෝ සම්බන්ධයක් තිබිය යුතු බව හැඟී යයි.

ගායනය හා වාදනය, සංගීත භාණ්ඩ නිෂ්පාදනය සිය ජීවිකාවේ කොටසක් කරගත් ඔවුහු, විවිධ රටවලදී විවිධ නම් වලින් හැඳින්වෙන නමුත්, ඔවුන්ගේ ජීවන චර්යාව එතරම් වෙනස් එකක් නොවෙයි. සියලුම සුළු ජනවර්ග හා ආදිවාසී ජනකොටස් මුහුණ දෙන කොන්වීම් හා පීඩනයන්ට ලක්වෙන අහිකුණ්ඨික ජනයා සිය සංගීත භාවිතාව නිසා අවධානයට ලක්වුණේ ලචෝ ඩ්රෝම් (ගමන සීරුවෙන්) වාර්තා චිත්‍රපටය නිසාය. එහි අධ්‍යක්ෂක වරයා ප්‍රංශ ජාතික ටෝනි ගත්ලිෆ් ය. වයඹ දිග ඉන්දියාවේ රාජස්ථානයේ කල්බෙලියා ගෝත්‍රයේ සිට ස්පාඤ්ඤයේ ගිතානෝ ප්‍රජාව දක්වා දේශ දෙශාන්තරයන්ගේ ජීවත් වන විවිධ අහිකුණ්ඨික ගෝත්‍රයන් ගේ සංගීතය මඟින් ඔවුන් ලක්ව සිටින කොන් කිරීම, පීඩනය හා මුහුණ දෙන වධ වේදනාවන් ඇතුළත් ජීවිතය පිළිබඳ පොදු කතාවක් කියයි. එහි ඉදිරිපත් කරන්නෙක් නැත, සැහැලි, ගී, ගායනා, නර්තන හා වාදන අතර ඇතිවන සමෝධානය විසින් ඔවුන්ගේ කතාව ගලා යයි.

ඒ අතරේ රෝමානි ජනයා යුරෝපයේ ඇති වූ විවිධ පාලන තන්ත්‍රයන් විසින් පීඩනයට හා හිංසනයට ලක් කළ ආකාරය, රුමේනියාවේ චව්චේස්කු ගේ පාලන කාලය හා සම්බන්ධ ගීයක් විසින් ඉතා හැඟීම් බර ලෙස විස්තර කෙරේ. මධ්‍ය ආසියානු හා බෝල්කන් කලාපයේ රෝමානි ජනයා ගේ ජනප්‍රිය සංගීත භාණ්ඩයක් වන්නේ සන්තුරියයි. එය ඉන්දියාවේ ජනප්‍රිය හා විශිෂ්ට සංගීත කරුවෙකු වන රවී කුමාර් ශර්මා ගේ වාද්‍ය විශාරද බව ප්‍රකට කරවන සන්තූර් වාද්‍ය භාණ්ඩය මයි. එකවර ජන හා සම්භාව්‍ය සම්ප්‍රදායන් ගේ නිතර යෙදෙන වයලීන, වියෝලා, උකුලෙලේ, ගිටාර ආදී තත් භාණ්ඩ සමූහයක් බුහුටි ලෙස වාදනය කරන ජිප්සී සංගීත කණ්ඩායමක් සතු අන්තර් සමායෝජනය හා ස්වයංසිද්ධ බව නිරීක්ෂණය කිරීම අපූර්ව අත්දැකීමකි.

එහි හංගේරියානු දුම්රියපලක් අසළ, සැමියාගෙන් වෙන්ව යන තරුණ බිරිඳ හා කුඩා දරුවා ගේ දර්ශනය ඉතා ප්‍රබල එකකි. කුඩා දරුවා අහිකුණ්ඨික කණ්ඩායම වෙත කාසි කීපයක් දිගුකර යමක් වාදනය කරන මෙන් ඉල්ලා සිටියි. අහිකුණ්ඨික කණ්ඩායම ඔහු වෙත සිනහ පාන්නේ සමච්චලයට දෝ යයි සිතෙන නමුත්, ඔවුන් ඔහුගේ කාසි ආපසු දී විනෝද ජනක සංගීත ඛණ්ඩයක් වාදනය කරති. කුඩා දරුවා සිය මව වෙත දිවගෙන ගොස් ඒ අනුව ළමා නැටුමක් පායි. හැඬුම්බර මවගේ මුහුණේ සිනහවක් මතු වෙයි.

අහිකුණ්ඨික ජනයා හා ඔවුන්ගේ චර්යාවන් වෙත නිර්දය සෝපහාසික දෘෂ්ටියක් එල්ල කරන හන්ගෙරියානු සිනමාකරු එමීර් කුස්තුරිකා ගේ ‘බ්ලැක් කැට් වයිට් කැට්’ සිනමා කෘතිය, ඔවුන් හා බැඳී ඇති ගූඪ හා ලෙල්ලට-කටුවට නැති ස්වභාවය එළිදරව් කරයි. එහි තරුණ පෙම් යුවලක් හා ඔවුන් වටා ගොඩනැගෙන සිද්ධි දාමයක් ප්‍රහසනාත්මක අයුරින් ඉදිරිපත් කිරීම නිසා යළි යළිත් නැරඹිය හැකි චිත්‍රපටියක් බවට පත් වෙයි.

අහිකුණ්ඨික ජනයා ගැන හා ඔවුන්ගේ සංගීතය පිළිබඳ විශිෂ්ටතම කියමනක් මතුවන්නේ සංගීත විචාරකයන් අතරින් නොවේ. ලෝ ප්‍රකට ටින්ටින් කතා මාලාවේ ‘කැස්ටර්ෆියෝරි එමරල්ඩ්’ කතාවේ, සාමාන්‍යයෙන් පුද්ගලික හැඟීම් ප්‍රකාශ නොකරන‘ටින්ටින්’, එක් රැයෙක අහිකුණ්ඨික සංගීතයට ඇහුම්කන් දෙයි. ඔහු ස්නොවී හා මෙසේ කියයි. ‘අහන්න ස්නොවී, හොල්මන් වෙන සංගීතයක් නේද?’

[හෂිත අබේවර්ධන]