වෙළඳ දැන්වීම්වලින් ලංකාව කියවීම

 ඡායාරූපය:

වෙළඳ දැන්වීම්වලින් ලංකාව කියවීම

අපි බොහෝ දෙනෙකු ලංකාව ගැන, එහි ජනතාව ගැන මහා විශ්ලේශණයන් කරන්නෙමු. පත්තරවල ලද ඉඩෙක හෝ  බ්ලොග් අඩවි පිරෙන්නට ඒ ගැන ලියන්නෙමු. සමාජ ජාලා පුරා තම මතය බෙදා හරින්නෙමු. පෝස්ටු ලෙස, කමෙන්ටු ලෙස, ඒත් මඳ යැයි සිතේ නම් පුද්ගලික පණිවිඩ ලෙස. ඉතා තාර්කික ලෙස ගොඩනැංවුණ අදහස්මාලාවෙක සිට විරුද්ධ අදහස් දරන්නාගේ මව් පිය ලිංගික සබඳතා විග්‍රහයන් දක්වා.  ඒ මත පිහිටා සිට විවිධ අනාවැකි කියන්නෙමු. තීන්දු තීරණ ගන්නෙමු.  

නමුත් එක මොහොතකදී මේ ශ්‍රේෂ්ට ජනතාව කිසිවෙකුට සිතාගත නොහෙන ප්‍රතිපලයක් කරා සිය හැසිරීම යොමු කරන්නෝ ය.

ඔවුහු මේ සඳහා ඇති තරම් උදාහරණ පසුගිය සති කිහිපය තුළ ලබා දුන්නෝ ය.  

ලාංකීය ජනතාව සිය තීන්දු තීරණ ගන්නේ යමක් විමසා බලා දුරදිග සිතා තමන්ට මෙන්ම අනුන්ටද යහපතක් වන්නාවූ ආස්ථානයකටැයි අප විශ්වාස කරන්නෙමු.  අඩු තරමින් තමන් හෝ එසේ‍ යැයි කියා සිතන්නට කියන්නට ආශා කරන්නෙමු.

එසේත් නොමැති නම් තම තීරණය දේශය වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් හෝ මතු පරපුර වෙනුවෙන් යැයි කියා හෝ අපටම කියා ගන්නෙමු.

කුටුම්භ ජීවිතයේ දී සිට සර්වජන ඡන්දය භාවිතා කිරීම දක්වා. සාහිත්‍යකරණයේ දී මෙන්ම ගෙවල් ගිනි තැබීම් වලදීත්.   

අප සියල්ලෝ එතරම් විචක්ෂණශීලී නම් අවබෝධයෙන් යුතු නම් දුර දකින්නවුන් නම් අපේ ජීවිත වල තෘප්තියක් නැත්තේ මන්ද? අප විසින් දහසකුත් බලා පොරොත්තු තබාගෙන සිටිනා දුවා දරුවන් මංමුලාවී යන්නේ මන් ද? අපේම ඡන්දයෙන් පත් වූ අයට සොරුන් යැයි දූෂිතයන් යැයි කියන්නට සිදුවී ඇත්තේ මන් ද?

සරළවම කියන්නේ නම්. අපේ මහාර්ඝ සිතුම් පැතුම් තුළින් මෙහෙයවෙන අපේ ජීවිතයේ අප ගන්නා තීරණ ගැන නිදි වර්ජිතව පසු විපරම් කරන්නට සිදුව ඇත්තේ මන් ද?
කාර්යාලයේදී සාකච්ඡා සම්මන්ත්‍රනවලදී සුරාසැල්වලදී මතු නොව නිදි ඇඳේදී  පවා.  

ඒ අපේ හැටිය. අප තීරණ ගන්නා හැටි ය. අප විසින්ම අපව රවටා ගන්නා හැටි ය.  

මේ අපේ හැටි බව දන්නා ඒ ගැන සවිඥානික දෙකොට්ඨාශයක් ගැන සටහන් කල යුතු ය. එක් පිරිසක් දේශපාලකයන් ය. දෙවැන්නෝ වෙළෙන්දෝ ය. වෙළඳ දැන්වීම් තනන්නෝ ය.  

දේශපාලකයන් ගැන බොහෝ දෙනා බොහෝ විට බොහෝ තැන්වල ලියා ඇති නිසාත් ලියනා නිසාත් ලියන්නට නියමිත නිසාත් මම දැන්වීම් දෙකක් දෙසට හැරෙමි.

එකක් පුවත්පත් දැන්වීමකි. උපකාරක පංතියක් ගැන වූ. ගුරුවරයා ටෙලිනාට්‍යය රචකයෙකි. උගන්වන්නේ නාට්‍ය හෝ රංගකලාව නොවේ. සිංහල හෝ සිංහල සාහිත්‍යය ද නොවේ. ගණිතය යි.

නමුත් පෝස්ටරය යටින් ඔහුව හඳුන්වා දී ඇත්තේ 'ජනප්‍රිය ටෙලිනාට්‍යය රචක'ලෙස ය.

ඉඳින් ගුරුවරයා හා විෂය අතර සම්බන්ධතාවය වෙනුවට ගුරුවරයා හා සමාජ ප්‍රතිරූපය පැමිණ ඇත.

දෙවැන්න. රූපවාහිනී දැන්වීමකි. කලකට පෙර විකාශය වූ.

සබන් වර්ගයක් ගැන.

ඒ දැන්වීමෙහි සබන් ගැන කිසිවක් සටහන් නොවුණි. ඒ වෙනුවට ඊට පෙර වසරේ එම සබන් වෙනුවෙන් තැනූ දැන්වීම සම්මානයට පාත්‍රවූ බව පමණක් සටහන් කෙරුණි.

දැන්වීමෙහි කියැවුණේ සම්මාන දිනූ දැන්වීම හිමි සබන් පාවිච්චි කරන්නැයි කියා ය.

මඳක් නැවතී සිතද් දී වැටහෙන්නේ අපේ විඥානයට නිවැරදිව කතා කර ඇත්තේ ඔවුන් යැයි කියා ය.

මන්ද අප සැම විටම තීන්දු තීරණ ගන්නෙ වැරැද්ද නිවැරැද් ද සොයා බලා නොව ඇසූ පමණින් දුටු පමණින් අපේම ආත්මාර්ථකාමී අදහස්වලින් ගිනිකන වැටෙමින් නිසා ය.

රැකියාවේ දී මෙන් ම දේශපාලනයේ දී ත්.

ආදරයේ දී මෙන් ම දේශප්‍රේමයේ දී ත්.

[අනිල් ෙහ්රත්]